දියණියගේ වියෝව දරාගත නොහැකිව ඩ්‍රැකියුලාවකු වූ පියා..

සීතල පවනැල්ලට එතුණු පිණි බිඳු ගෙන ආවේ පාලුවකි. ඒ පාලුවත් සමගම අඳුර වෙලා ගත්ත මාවතක්‌ දිගේ,බියෙන් තැති ගෙන දිව යන තරුණිය පසු පස හඹා යන ඩ්‍රැකියුලා ලේ පිපාසයෙන් මත් වී ඇත. යුරෝපයේ රිදී තිරය තුළින් ලෝකය පුරා වැපිර වූ, භයන්කර සිනමා උමතුව ‘ඩ්‍රැකියුලා’ය රසිකයෝ බොහොමයක්‌ ඒ භයන්කර සිනමා රසය වටා අදටත් රොද බැඳගෙන සිටිති.

සිනමාපටවලට පමණක්‌ සීමා වුණු “ඩ්‍රැකියුලා” සංකල්පය සියවස්‌ ගණනාවක්‌ පුරාවට ඈතට දිව ගිය මිත්‍යා විශ්වාස මත පදනම් වී තිබුණි. යම්කිසි දරුණු රෝගයකින් මිය යන මිනිසුන් යළිත් මළවුන්ගෙන් නැගිට පැමිණ තමන්ගේ රුධිරය උරා බී තමන්ව ද මළවුන් වෙතට ඇදගෙන යන මතවාදයක්‌ එකල මිනිසුන් අතර පැවතිණි. මෙම මිථ්‍යා විශ්වාස පදනම් කරගෙන,එකල ලියෑවුණු පොත් පත් මෙන්ම කට කතා ද පදනම් කරගෙන, මෙම ඩ්‍රැකියුලා චිත්‍රපට සංකල්පය බිහි වී ඇත.

එහෙත් චිත්‍රපටවලට පමණක්‌ සීමා වුණු භයන්කාර ඩ්‍රැකියුලා නොව සත්‍ය ලෙසම ජීවත් වන ඩ්‍රැකියුලාවකු පිළිබඳව තොරතුරු මෑතකදී තුර්කියෙන් වාර්තා වුණි.

විසි තුන් හැවිරිදි විවාහක පුද්ගලයෙක්‌ වූ ඔහු තම කුළුදුල් සිව් මස්‌ වයසැති දියණියගේ හදිසි වියෝවයෙන් පසු, දිගු කාලීනව අඩපණව රෝගාතුර වී සිටියේය. යළිත් තරමක සුවයට පත් වුණු ඔහු, තමාගේ ශරීරයේ පපුවේ, උදරයේ, අත් බාහු කපා ගනිමින් රුධිරය පානය කිරීමට ඇබ්බැහි වූයේය. අනතුරුව ප්‍රබල රුධිර පිපාසිතයෙක්‌ වූ ඔහු පසුව රුධිරය පානය කිරීමට නොහැකි අවස්‌ථා වලදී අඩපණ වී, හුස්‌ම පවා හිර වෙන්නට පටන් ගති.

පසුව, මහා මාර්ගයේ ගමන් ගන්නා මිනිසුන්ව ද හපාකමින් රුධිරය පානය කිරීමට යොමු වූයේය. එම නිසාම ඔහුව කීප වතාවකම පොලිස්‌ අත් අඩංගුවට ද පත් වී ඇති අතර, ඔහුගේ පියා ඒ සෑම විටම ඔහුව ඇප මත නිදහස්‌ කරගෙන ඇත්තේය, එමෙන්ම ඔහුට වුවමනා රුධිරය බ්ලඩ් බෑන්ක්‌ එකෙන් මිලදී ගැනීමට ද පියා යොමු වී තිබුණේය.

වෛද්‍යවරු පවසන අන්දමට, ඔහු සිය දියණියගේ මරණයෙන් පසු, තද බල ලෙසට කම්පනයට පත් වී ඇති අතර, එම කම්පනය දරුණු මානසික විකෘති තාවයක්‌ බවට පත් වී ඇත.

අනතුරුව දරුණු මෘගයකුගේ සිතුවිලිවලින් මනස නිරන්තරයෙන් කැළඹෙන අතර ඔහු රුධිර පිපාසිතයෙක්‌ බවට පත් වී ඇති අතර මෙම රෝගී තත්වය දීර්ඝ කාලීනව මනෝ චිකිත්සක ක්‍රම මගින් සුව කිරීමට හැකි බව පැහැදිලි වී ඇත.

මනෝ චිකිත්සක ප්‍රතිකාර අතරතුර ඔහු තරමක්‌ සුවයක්‌ ලබා සිටි නිසාම, ඔහු නිදැල්ලේ සාමාන්‍ය මිනිසෙක්‌ ලෙසට සැරි සරන්නට වුවද, මිනිසුන්ගෙන් හඹා එන රුධිරයේ සුවඳින් ඔහු යළිත් රුධිර පිපාසිතයක්‌ බවට පත් වූයේය. ඒ අතරතුරේ ඔහු ඔහුගේ ළඟම මිතුරෙක්‌ව ද ඝාතනය කර සිය රුධිර පිපාසය, සංසිඳවා ගත්තේය. ඔහුගේ මානසික විකෘතිතාව දිනෙන් දින තුර්කි වැසියනට ගෙන ආවේ මරණ බියකි නිසාම ඔහුව ඉක්‌මනින් පොලිස්‌ අත් අඩංගුවට පත් වීය.

ඔහුගේ පියාගේ කට උත්තරයට අනුව, ඔහුගේ ළමා විය ඉතාමත් දුක්‌ කම්කටුළු මැදින් ගෙවී ගොස්‌ ඇත. ඔහුගේ මව වෙනත් විවාහයකින් පවුල තුළින් ඈත් වී සිටි අතර, ඔහුගේ පියා රැකියාව සමග කාර්ය බහුල වී සිටියේය. ඒ කාලය තුළ ඔහු අසල් වාසීන්ගේ නිවෙස්‌වල ඇති දැඩි වී ඇති අතර ඒ කාලය අතරේ ඔහු ඔවුන්ගේ තාඩන පීඩනවලට නිරන්තරයෙන් ලක්‌ වී ඇත. ළමා වියේ මෙන්ම යොවුන් වියේදී ද ඔහුට අවැසි නිසි අධ්‍යාපනයක්‌ ඔහුට නොලැබුණේය. ඒ සියලු හේතූන් පදනම් කරගෙන වයස අවුරුදු දහ හතරේදී, ඔහු අධික ලෙස මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණේය.

ඔහුගේ මනස තුළ තෙරපෙන දහසක්‌ පීඩනයන් සමග, ජීවිතයේ සහන් එළිය ඔහු සිය සිඟිති දියණිය වෙතින් ලැබුවද, දියණියගේ වියෝවෙන් පසු ඔහුගේ මනස යළිත් විකෘති භාවයට පත් වී ඇත. ඒ නිසාම ඔහු මිනිස්‌ සිතිවිලි වලින් මිදී, මෘග මනසක්‌ ඇති පුද්ගලයෙක්‌ බවට පත් විය.

මිනිසෙකු, මිනිසෙකු ලෙසට ජීවත් කිරීමේ පදනම, වන්නේ ඔහුගේ සුන්දර ළමා කාලයයි. දරුවන්ට අවැසි ඔවුන්ගේ ලෝකය, ඔවුන්ට අහිමි කිරීම තුළින්, මෙවැනි මෘගයන් බිහිවීම පුදුමයක්‌ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here