Flash Back රොෂාන්ගේ හෙළි නොකළ ආදරේ හෙළිවෙයි?

හෙළි නොකළ ආදර කතාවක් රොෂාන්ටත් තියෙනවද?

තියෙනවා. ඒක හරිම සුන්දර කතාවක්.

එහෙනම් ඇයව හා හා පුරා දුටු දිනයේම මේ කතාව පටන් ගනිමු
අපි දෙන්නම එකම පාස‍ලේ. මට මතක හැටියට මම හතර වසරේ ඉද්දී තමයි ඇය එක වසරට ආවේ. එතකොට තමයි මුලින්ම දැක්කේ. හැබැයි එහෙම කිව්වට වැරදියට වටහා ගන්නා එපා. මම ඇයට පෙම් කළේ නව යෞවනයෙක් විදියට. ඔයා ඇහුවේ මුලින්ම දුටුව දවසනේ. මුලින්ම දුටුව දවස තමයි ඒ.

ඉතින් ඊට පස්සේ මොකද වුණේ?
අපි මිනිස්සු හොඳයි නරකයි කියලා හිතින් වර්ග කරනවනේ. ඒකට ගැහැනු පිරිමි භේදයක් නැහැ. ‘මෙයා හොඳ කෙනෙක්, මෙයා  නරකයි. මට හිතට අල්ලන්නෙ නෑ’ කියල අපි හිතනව. එහෙම හිතල තමයි අපි කෙනකුට ළංවෙන්නෙ. යාළුවෝ විදියට ළංවෙන්නේ අපිට හොඳ අය. අපිට හිතට අල්ලන්නෙ නැති අයට අපි ළංවෙන්නෙ නැහැ. මේ කියන ගෑනු ළමයවත් මුලින්ම දැකපු දා ඉඳල මට හිතුණේ මෙයා හොඳ කෙනෙක් කියලා. ඇත්තටම ඒ ළමයා හරි ලස්සනයි. හරි හොඳයි.

ඒ විශේෂත්වයද කාලය විසින් ආදරයකට හැරෙව්වෙ?
ඔව්. කාලයත් එක්ක වයස 15, 16, 17 විතර වෙද්දී අපි ළමාවියෙන් යෞවනය කරා එද්දී මුලින්ම ආදර හැඟීම් හිතට එනවා. ඒ කා‍ලේ වෙද්දී මටත් අර ගෑනු ළමය ගැන ආදර හැඟුම් ඇතිවුණා. නිතර එයා දකින්න, එයා ළඟ ගැවසෙන්න ආස කළා. එයා ඉස්කෝලෙට ආවේ නැති දාට ලොකු පාළුවක් දැනුණා.

ඒ ආදරය ප්‍රකාශ කළේ නැද්ද?
එච්චර ආත්ම ශක්තියක් තිබුණේ නැහැ. හැබැයි මම මගේ ආදරේ ගීතවලින් ඇයට ප්‍රකාශ කළා. ඒ දවස්වල මම පාස‍ලේ ජනප්‍රිය වෙලා හිටියේ ගී ගයන්න. ගුරුවරු නැති වෙලාවට පන්තියට වෙලා යාළුවෝ වට කරගෙන ගී ගැයුවා. විවේක වේලාවට පිට්ටනියට වෙලා යාළුවෝ වට කරගෙන ගී ගැයුවා. ඔය වෙලාවට ඇය පෙනෙන මානෙක හිටියොත් මගේ ගීත වෙනස් වෙනවා. ටී.එම්.ගේ ‘මුළු ලොවම නැති වුණත්’, මිල්ටන්ගේ ‘සුළඟේ පාවි’ ගීත දෙක ඉබේම මුවගට එනවා. මම මේ ගීත දෙක ගයන්නේ ඇයටමද කියලා එයාට දැනුණද කියලත් මට හිතෙනවා.

ඇයට එය දැනුණු  බව රොෂාන්ට දැනුණද?
එක දවසක් මට ඒ ළමයගෙ පන්තිය ඉදිරියේ කොරිඩෝව දිගේ යද්දී එයා මට ලස්සන ‘පික්චර් ‍පෝස්කාඩ්’ එකක් දුන්නා. මම ‘තැන්ක්යු නංගි’ කියලා ඒක ගත්තා. හැබැයි එයා එහෙම කළේ ඇයි කියල නම් මට අදත් ප්‍රශ්නයක්.

ඒ සුන්දර ආදර කතාව දුක්බර නිමාවක් වුණේ කොහොමද?
හැමදාම මම ඇය ගැනම හිතුවා. ඒත් ඒ ආදරය හිතේම තියාගෙන හිටියා. ඔය අතරේ ඇයව දකින්න නැතුව ගියා. හොයල බලද්දී ඇය පාසලෙන් ඉවත්වෙලා වෙන පාසලකට ගිහින්.

ඉන් පස්සේ ඇයව දැක්කෙම නැද්ද?
කාලෙකට පස්සේ අහම්බෙන් දැක්කා. එදා ඇය මට සුහඳව හිනාවුණා. ඒකට හේතුව පරණ මතකය නමෛයි. ඒ වෙද්දී මම ජනප්‍රිය ගායකයෙක් වෙලා හිදීම. ඇය විතරක් නමෛයි ඇය අසල සිටි ඇගේ සැමියත් ඒ වෙලාවේ මට සුහදව හිනාවුණා.

ආරියවංශ කුලතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here