දිස්ත්‍රික් රැසක ලොකු ලූණු වගාව අනතුරේ – ගොවියා වහ බොයි (PHOTOS)

මාතලේ, පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්ක වල ලොකු ලූනු වගාවේ අස්වනු නෙලීමට ආසන්නව තිබියදී පසුගිය දිනවල ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ලොකු ලූණු වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය බව ගොවීන් පවසනවා.සිය කනකර බඩු උගසට තබා බැංකුවලින් ණය ලබාගෙන මෙවර ලොකු ලූණු වගාව ආරම්භ කළද අවසානයේදී ස්වභාවික ආපදා නිසා තම වගාව විනාශ වී ලූණු ගොවියා ණයකරුවන් බවට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වනවිට  ණය ගෙවා ගැනීමට නොහැකිව හබරණ ප්‍රදේශයේ ගොවියකු සියදිවි හානිකරගෙන ඇති බවද අප වාර්තාකරු සඳහන් කළා.

දඹුල්ල – ගලේවෙල, සීගිරිය ආදී ප්‍රදේශවල මේ දිනවල ලොකු ලූනු වගා බිම් විශාල වශයෙන් විනාශ වී ඇති අතර, හබරණ – පලුගස්වැව, ගල්කිරියාගම, දේවහුව ප්‍රදේශවලද ලොකු ලූණු වගාව සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

මේ හේතුවෙන් තමන් වගාවන් සඳහා ලබාගත් ණය ගෙවාගැනීමට රජයෙන් වන්දි මුදලක් හෝ බැංකු ණය ගෙවීමට යම්කිසි සහන කාලයක් ලබා දෙන ලෙස ගොවීන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් ගොවීන්ට කිසිදු සහනයක් නොලැබීම හා මේ සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තකුගේ අවධානය යොමු නොවීම බලවත් කණගාටුවක් බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන ජනතා නියෝජිතයා වන අතර ඔහු තවමත් රජයේ නිලධාරියකුට මේ සම්බන්ධයෙන් දැනුම්දීමක් කර නොමැති බවත් ගොවීන් කියාසිටියා.

වසර ගණනාවක සිට සිදුකරගෙන ආ ලොකු ලූණු වගාව මේ වනවිට විනාශ වීමේ තර්ජනයට ලක්වන්නේ යම්කිසි ආකාරයකින් දේශීය ගොවිතැන විනාශ කිරීමේ අරමුණින්ද යන්න සැකයක් පවතින බවත් ගොවීන් පවසනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here