විදුලි බිඳවැටීම් දන්වන්න දුන් දුරකතන අංකත් බිද වැටේ

දින කිහිපයක් තිස්සේ සිදු කෙරෙන විදුලි සේවක වර්ජනයට මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නැහැ. මේ හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයකින්ම විදුලි බිදවැටීම් වාර්තා වන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ. අම්පාර, දියතලාව, ගාල්ල සහ අරලගංවිල යන ප‍්‍රදේශ ඒ අතරට අයත්. මීට දින 4 කට පෙර අම්පාර, වීරගොඩ ප‍්‍රදේශයට බිඳ වැටුණු විදුලිය මෙතෙක් යථාතත්ත්වයට පත් කර නැහැ.

දියතලාව ප‍්‍රදේශයටද පෙරේදා (16) සවස සිට විදුලිය බිඳවැටී තිබෙනවා. කෙසේවෙතත් හදිසි විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විදුලිබල අමාත්‍යාංශය දුරකතන අංක දෙකක් හඳුන්වා දුන්නද ඒවා සම්බන්ධ කර ගත නොහැකි බවයි නෙත් ශ‍්‍රාවකයින් දැනුම් දුන්නේ. 1987 හෝ 1901,  එම දුරකතන අංක දෙකයි.

අපිද මෙම දුරකතන අංක දෙකට ඇමතුම් ලබාගත්තා. ඒ අනුව 1901 දුරකතන අංකයට ඇමතූ අවස්ථාවේ ද ප්‍රතිචාර ලැබුණේ නැහැ. 1987 අංකයට අවස්ථා රැසකදි ඇමතුම් ලබාගත්තද කිසිවෙකුත් ඊට ප‍්‍රතිචාර දැක්වුයේ නැහැ. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් විදුලිබල අමාත්‍යාංශය දැනුවත් කළා. එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන පැවසුවේ මෙම ගැටලූව සම්බන්ධයෙන් සොයා බලා වහාම පියවර ගන්නා බවයි.

විදුලිය බිඳ වැටුණු ප‍්‍රදේශ පිළිබඳ තමාද තොරතුරු දැන ගත්තේ නෙත් නිවුස් මගින් අද (18) උදෑසන සිදුකළ අනාවරණයෙන් පසුව බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව අදාළ ප‍්‍රදේශවල විදුලිය යථාතත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා බවද ඔහු කියාසිටියා. ඇතැම් ප‍්‍රදේශවලින් නෙත් නිවුස් ඇමතූ ශ‍්‍රාවකයින් ප‍්‍රකාශ කළේ සිදුවූ විදුලි බිඳවැටීම් යළි යථා තත්ත්වයට පත් කිරීමට දීර්ඝ කාලයක් ගතවන බවයි.

ඔබේ ප‍්‍රදේශයේත් විදුලිය බිද වැටී ඇත්නම් ඒ පිළිබද තොරතුරු නෙත් නිවුස් වෙත ලබාදිය හැකියි. 077 902 18 24 අංකයට එම තොරතුරු වයිබර් කල හැකි ද වනවා. මේ අතර විදුලි වර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදුවන බවත් කිසිඳු සේවකයෙකු අද දිනයේද සේවයට වාර්තා කර නොමැති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ගැටළුව විසඳීමේ අරමුණින් කම්කරු අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරු 2.30 ට විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here