චම්පික තවත් අමාරුවේ – ඔහුට විරුද්දව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සාක්‍ෂි දෙයි!

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේදී තමන් අසලට පැමිණි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ‘ඇවන්ගාඩ්’ නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව සාක්ෂි තියෙනවා නම් ඔහුව අත්අඩංගුවට ගන්නැයි පැවැසූ බව හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (30දා) ප්‍රකාශ කළේය.

පසුගිය රජය සමයේ විභාග වූ නඩු සමාලෝචනය කිරීමට අදාළ සාකච්ඡාවේදී ඇවන්ගාඩ් නඩුවට අදාළව නිශ්ශංක සේනාධිපති හට පිටරට යෑමට එක්තරා නිලධාරියකු අවසර දී ඇති බවත් ඒ නිලධාරියාගේ සේවය අත්හිටුවිය යුතු බවත් සාකච්ඡා මේසයට අතින් ගසමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවැසූ බවද සුහද ගම්ලත් මහතා සාක්කි දෙමින් සඳහන් කළේය.

හිටපු සොලිසිටර් ජනරාල්වරයා මේ බව සඳහන් කළේ ඇවන්ගාඩ් සමාගමේ මුහුදු ආරක්ෂක සේවාවන් පසුගිය රජය සමයේදී බලහත්කාරයෙන් නාවික හමුදාවට අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහතා එම කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුර සාක්කි විමසූ අවස්ථාවේදීය.

මෙහිදී සුහද ගම්ලත් මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදුකරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා විසිනි.

කොමිසමේ සභාපති විශ්‍රාමික ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරියේ මෙම හරස් ප්‍රශ්න ඇසීම සිදුකෙරිණි.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා විසින් සාක්ෂිකරුගෙන් විමසා සිටියේ කැබිනට් ඇමැතිවරයකුට මෙවැනි ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීමට බලයක් තිබේද යන්නයි.

ඒ සම්පූර්ණ ක්‍රියාදාමයම වැරැදියි. ඒ ක්‍රියාදාමය කාගේ මඟපෙන්වීම යටතේ වුණාද කියලා දන්නේ නෑ. යුක්තිය පසිඳලීමේ කාර්ය දේශපාලනීකරණය කිරීම සඳහා එමඟින් යම්කිසි මඟපෑදීමක් සිද්ධ වුණා යැයි ඊට පිළිතුරු දෙමින් සුහද ගම්ලත් මහතා කොමිසම හමුවේ කීය.

සභාපති විනිසුරුවරයා _ ඒ ක්‍රියාදාමය ලෙස හැඳින්නුවේ කුමක්ද?

සාක්ෂිකරු – දේශපාලනඥයන් පිරිසක් වටකරගෙන රාජ්‍ය නිලධාරීන් ගෙන්වලා නඩුවල තත්ත්වය විමසන එක.

සභාපති විනිසුරුවරයා _ ඔබට මතක විධියට කවුද පැමිණි දේශපාලනඥයන්

සාක්ෂිකරු – හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් තමයි පැවැත්වුණේ. අර්ජුන මහෙන්ද්‍රනුත් මගේ ඉස්සරහ වාඩි වෙලා හිටියා.

අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ හරස් ප්‍රශ්න ඇසීම් හමුවේ හිටපු සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සාක්කි දෙමින් මෙසේ කීය.

අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡා තුන හතරකට මට ආරාධනා ලැබුණා. මේ නඩු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව කැඳවීමේ ප්‍රවණතාවක් තිබුණා. මීට කලින් එහෙම වුණේ නෑ. මීට පස්සේ වෙන්න ඕනෑත් නෑ. විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලනඥයන් ඉන්න තැන්වලට කැඳවන්න ඕනෑ නැහැ නඩු ගැන වෙන්නේ මොනාද අහන්න.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතුළු දේශපාලනඥයන් රැසක් මැදි කරගෙන නිලධාරීන් ගෙනැල්ලා නඩුවල තත්ත්වය මොකද්ද කියලා ප්‍රශ්න අහනවා. කොහෙන් හොයාගත්ත ක්‍රියාපටිපාටියක්ද කියලා මම දන්නේ නෑ. ඒවා වැරැදි වැඩ.

එක්තරා සාකච්ඡාවකදී එක් ඇමැතිවරයකු නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාරගෙන් විමසුවා මේ ඇවන්ගාඩ් නඩුව ගැන ඔබේ මතය මොකක්ද කියලා. මේ වගේ සාපරාධී අපරාධයක් කරලා මෙවැනි මිනිසුන් නිදැල්ලේ ඉන්න හැරිය නඩුවක් මා ජීවිතේට දැකලා නැති බව ඔහු එවෙලේ පැවැසුවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ, නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න පුළුවන් කියා කිව්වා.

එවිට මා කිව්වා මා ඊට එකඟ වන්නේ නැහැ කියා. මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ ප්‍රතිපාදන අනුව බලන්න. ගිනි අවි ආඥා පනත යටතේ නඩුවක් පවත්වාගෙන යන්න කරුණු නැති බව මා පැවැසුවා. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් අවසාන මතය විමසුවා. එවකට නීතිපති යුවන්ජන් විජයතිලක මහතා මේකට නඩුවක් ගෙනියන්න බැරි බව දැනුම් දුන්නා.

මෙහිදී වගඋත්තරකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවැසුවේ මෙම කොමිෂන් සභාව පත් කළ අධිකාරි පත්‍රය ප්‍රකාරව රාජ්‍ය නිලධාරියකු නොවන අයකුගේ පැමිණිල්ලක් භාරගෙන විමර්ශන කිරීමට කොමිෂන් සභාවට බලයක් නැති බව ප්‍රකාශ කළේය.

තම සේවාදායකයා වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අදාළ තීරණය තමන් හට තවම ලැබී නැති බව පැවැසූ ජනාධිපති නීතිඥවරයා කොමිෂන් සභාවේ කාර්යභාරය/ ක්‍රියාපටිපාටිය පැහැදිලි කිරීමකින් තොරව විමර්ශන තවදුරටත් ඉදිරියට කරගෙන යා නොහැකි යැයිද කොමිසමට දැනුම් දුන්නේය.

එමෙන්ම ජූලි 02 දින කොමිසමේ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන්නැයි ලේකම්වරයා විසින් තම සේවාදායකයාට දැනුම්දීමක් කර තිබෙන අතර මෙහි අධිකාරි පත්‍රය ප්‍රකාරව එවැනි ප්‍රකාශ සටහන් කිරීමට ප්‍රතිපාදන නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ පිළිබඳ නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කළේය.

ඊට පිළිතුරු දුන් සභාපති විනිසුරුවරයා පැවැසුවේ පෙර තීරණ එපරිදිම ක්‍රියාත්මක වනු ඇති බවය.

මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ චානක ද සිල්වා සහ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ යන මහත්වරුන් කරන ලද ඉල්ලීම සලකා බලා හරස් ප්‍රශ්න විමසීම සඳහා කාලයක් ලබාදීමට කොමිසම එකඟ විය.

16 වැනි වගන්තිය යටතේ කොමිසමට කැඳවූ එහෙත් ඊයේ (30දා) දින පෙනී සිටීමක් නොකළ ශානි අබේසේකර, අලුත්ගේ සෙනරත්, වසන්ත නවරත්න බණ්ඩාර, ජනක බණ්ඩාර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග යන අය වෙනුවෙන් හරස් ප්‍රශ්න නොමැති බවට කොමිසම තීරණය කරන බව සභාපති විනිසුරුවරයා දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු ජූලි මස 16 දින තෙක් කල් තැබිණි.

– mawbima