මැතිවරණ නිල තේමා ගීත සටනේ ජය කාටද? පෙරමුණ ගත් ගීත සියල්ල මෙන්න!

2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලට බලපෑමක් එල්ල කරන්නට රට තුල පවතින කොරෝනා වසංගත තත්වය සමත් වූ බව නොරහසක්. විශාල මහජන රැස්වීම්, පෙළපාලි, ගෙන්ගෙට යාම් ආදිය මෙන්ම පෝස්ටර්  කටවුට්ද අඩු වී ඇති අතර එහි සාධනීය කරුණු පිළිබඳවද කතිකාවක් ආරම්භ වී තිබෙනවා.

කෙසේ වෙතත් ගතානුගතික ප්‍රචාරණ ක්‍රමවේදවලින් මිදී සමාජ මාධ්‍ය ජාල හරහා බොහෝ දේශපාලකයින් සිය මැතිවරණ ප්‍රචාරණය සාර්ථකව සිදුකරමින් සිටින අතර අපේක්ෂකයින් වියදම් කරන මුදලට සාපේක්ෂව ලැබෙන ප්‍රථිපලය පිළිබඳවද ඔවුනට අවබෝධයක් ගන්නට හැකියාව ලැබීම මේ ක්‍රමයේ සුවිසේෂි ප්‍රතිලාභයක්. උදාහරණයක් ලෙස යම් අපේක්ෂකයකු පෝස්ටර් කටවුට් හෝ පුවත්පත්, රුපවාහිනී, අත් පත්‍රිකා යනාදී ප්‍රචාරණ ක්‍රම භාවිතා කරද්දී එම පණිවුඩ පුද්ගලයින් කොපමණ ප්‍රමාණයක් අතරට කියාද කී දෙනකු රුපවාහිනී වීඩියෝව නැරඹුවාද යන්න නිශ්චිතව කිව නොහැකි වුවත් Youtube, facebook වැනි සමාජ මාධ්‍ය හරහා අදාළ දැන්වීම කී දෙනකු නැරඹුවාද එයට ලැබෙන ප්‍රතිචාර කෙසේද යන්න නිශ්චිතවම දන ගැනීමට හැකියාව පවතිනවා.

මේ අනුව අප විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නිල තේමා ගීත අතරින් වැඩිම දර්ශන වාර ප්‍රමාණයක් හිමි තේමා ගීත පිළිබඳව සොයා බැලීමක් සිදු කරනු ලැබූ අතර වැඩිම පිරිසක් නරඹා ඇති නිල තේමා ගීතය වන්නේ විමල් වීරවංශ මහතාගේ තේමා ගීතය වන අතර දර්ශන මිලියනය අභිබවා ගොස් තිබෙනවා. විමල් වීරවංශ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් අංක 19 යටතේ මැතිවරණයට ඉදිරිපත් වනවා.

දෙවන වැඩිම නැරඹුම් ප්‍රමාණය වන 664,000 ක නරමුම් වාර ප්‍රමාණයක් ලැබී ඇත්තේ මාතර දිස්ත්‍රික්කය අංක 08න් නියෝජනය කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ නිල තේමා ගීතය සඳහායි.

තෙවන තැන හිමිකරගත් සජිත් ප්‍රේමදාස මහතාගේ තේමා ගීතය දර්ශන වාර 442,000ක් පසුකර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා මෙවර  කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉරිදිපත් වන්නේ සමගි ජන බලවේගය යටතේයි.

අංක 08න් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන නලීන් ප්‍රනාන්දු මහතාගේ නිල තේමා ගීතයට ගීතය දර්ශන වාර 177,000ක් පසු කොට තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් අංක 18 යටතේ මැතිවරණයට ඉදිරිපත් වන විජේදාස රාජපක්ෂ මහතාගේ නිල තේමා ගීතය සඳහා දර්ශන වාර 123,000 ක ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

මාතර දිස්ත්‍රිකයේ තරුණ අපේක්ෂක නිපුන රණවක මහතාගේ නිල තේමා ගීතයට දර්ශන වාර 71,000ක් පසුකොට තිබෙනවා.

නාමල් රාජපක්ෂ මහතාගේ නිල තෙම ගීතය 57,000ක නැරඹුම් වාර ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අංක 08 නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අංක 17 යටතේ මැතිවරණයට ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල තේමාගීතය මේ වනවිට දර්ශන වාර 57,000ක ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.