වැලිසර කඳවුරේ සියලුම නාවික සෙබළුන් වෙනත් කඳවුරු වෙත මාරු කර යවයි!

වැලිසර නාවික හමුදා කඳවුරේ සිටින නාවික හමුදා නිලධාරීන් නිරෝධායනය සඳහා වෙනත් කඳවුරු වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් ද මේ වන විට ආරම්භ කොට තිබෙනවා.
ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුර ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය භට පිරිස් අනුයුක්ත කිරීම සිදු කරන බවත් මේ සියලු කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන සමඟ සම්බන්ධීකරණය සිදුකරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ.

මේ අතර 11 වන විජයග්‍රාහී සැමරුමේ පෙළපාලිය සඳහා පෙරහුරුවකට සහභාගිව සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික සෙබළුන් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ දෙවන PCR පරීක්ෂණයේ වාර්තාවන් මේ දක්වා ලැබී නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.

මෙම නාවික හමුදා සෙබළුන් දෙදෙනා ඇතුළු කණ්ඩයමක් ඉකුත් අප්‍රේල් මාසයේදී නිවාඩු ගොස් යලි කඳවුරු වෙත කැඳවා තිබු අතර ඔවුන්ව මරදාන ප්‍රදේශයේ පිහිටි ස්ථානයක මාසයකට අසන්න කාලයක් නිරෝධායනයට ලක් කොට සිටි අයවලුන් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. 

එලෙස නිරෝධායනයට ලක් කොට තිබු පිරිස විජයග්‍රාහී සැමරුම් පෙළපාලියට අනුයුක්ත කිරීමට පෙර PCR පරීක්ෂණයට භාජනය කළ අතර එහිදී මෙම සෙබළුන් දෙදෙනා පමණක් කොරෝනා ආසාදිතයින් ලෙස හෙළිවී තිබුණා.

මෙම සෙබළුන් පුරා මාසයක කාලයක් නිරෝධායනයට ලක් කොට තිබීම සහ ඔවුන්ට පිටත සමාජයට නිරාවරණය නොවී තිබීමේ පසුබිමක් තුළ කොරෝනා ආසාදිතයින් බවට පත්වීම ප්‍රහේලිකාවක් වන නිසා ඔවුන්ගේ ජෛව සාම්පල් යලිත් වතාවක් PCR පරීක්ෂණයන්ට යොමු කොට ඇති බවත් එහි ප්‍රථිපල අද වන විටත් නොලැබුණු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.