යහපාලන ආණ්ඩුව වගේ අපි රණවිරුවන් හෑල්ලු කරන්නේ නෑ..

යහපාලන ආණ්ඩුව පසුගිය කාලේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් රටේ රණවිරුවන් හෑල්ලුවට ලක් කළද වත්මන් ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටිමින් අද (19දා) රණවිරු දිනය අති උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නා බව පොදුජන පෙරමුණ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (18දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව පැවැසීය.

යහපාලන ආණ්ඩුව පසුගිය කාලය පුරා රණවිරුවන්ට අභූත චෝදනා නඟමින් රණවිරු මනස විකෘති කිරීමට පියවර ගත් බවත් එක්සත් ජාතීන්ගේ සමුළුවේදී රටට හතුරු ගිවිසුම්වලට සම අනුග්‍රහය දෙමින් රටේ ත්‍රිවිධ හමුදාව පාවාදුන් බවත් මහාචාර්යවරයා කීය.

ත්‍රිවිධ හමුදාව වසංගත සමයේදී සෞඛ්‍ය අංශ සමඟ එක්ව නිරෝධායන ක්‍රියාවලියේදී කටයුතු කළ ආකාරය පිළිබඳව මතක් කළ මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැන්නකි.

නිරෝධායන මධ්‍යස්ථානවලට නිරෝධායනය වීමට අකැමැත්තක් දැක්වූවන් අන්තිමේදී පිටවී ගියේ හමුදාවට ගෞරවය පුද කරලා. සමහරුන් කියා සිටියේ හමුදාව රෑ නිදි නොලබා කොත්තමල්ලි කෝප්පය තමන් ගාවට ගෙන දෙමින් නොමඳව ඔවුන් රැකගත් බවයි.

මෙරට හමුදාව රටේ දුෂ්කර අවස්ථාවලදී තම සහාය නොමඳව ලබා දෙන්න කටයුතු කළා. යහපාලන ආණ්ඩුව විදේශීයන්ගේ තෘප්තිය උදෙසා කළ කටයුතු වර්තමානයේදී නිෂ්ඵල වුණේ නැහැ.

අද වන විට රටේ ආර්ථිකය ටිකෙන් ටික විවෘත කරමින් සිටිනවා. එදා නොවැම්බර් 16 වැනිදා මේ රට වෙනුවෙන් දැවැන්ත වරමක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබාදුන්නා.

මහ බැංකු බැඳුම්කර කොල්ලය, පාස්කු ප්‍රහාරය යන සිදුවීම් නිසා පිළිකුලට පත් එවක යහපාලන ආණ්ඩුව නැවත කැඳවීමක් අවශ්‍ය වන්නේ නැහැ.

මැතිවරණයක් අවශ්‍යයි. කල්දැමීම එතරම් උචිත වන්නේ නැහැ. ලබාදෙන සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වී මැතිවරණයක් පැවැත්වීමට බලයක් ඇත්තේ මැතිවරණ කොමිසමට බව මතක් කළ යුතුයි. විපක්ෂය මැතිවරණවලට බයවෙලා දිගින් දිගටම මැතිවරණ කල් දැම්මත්, ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු වෙනවා.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ මැතිවරණ අපේක්ෂක සංජීව එදිරිමාන්න, නීතිඥ සාගර කාරියවසම් මහත්වරුද අදහස් දැක්වූහ.

සංජීව එදිරිමාන්න මහතා

මැයි 18 මෙරට ඓතිහාසික දිනයක් සමරන මොහොතක් වෙනවා. මේ රටේ ජනතාවට අලුත් හුස්මක් ගන්න වාතාවරණය සකස් කරලා අවුරුදු 11ක් වෙනවා.

සැනසීමෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන්න හැකි වුණා. එවක යුද සමයේදී හා වත්මන් වසංගතය හමුවේ විපක්ෂය ක්‍රියාකළ ආකාරය ගැන කතා කළ යුතු වෙනවා.

ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකියි කිව්වා. ඒ තුළින් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය බිඳ දමන්න කළ හැකි සෑම දෙයක්ම කළා. පී.සී.ආර්. පරීක්ෂණයේ සිට ප්‍රතිකාර ක්‍රමය දක්වාම ඊට සහාසික අන්දමින් කටයුතු කළා. ජනතාව එදා යුද සමයේ සිදු වූ මරණ ගණනත්, වර්තමානයේ වසංගතය නිසා සිදු වූ මරණ ගණනත් සැඟවූ බව කියමින් අසත්‍ය ප්‍රකාශ සමාජ ගත කරලා ජනතාව බිය වද්දන්නට කටයුතු කළ බව කිව යුතුයි. එදා සිට මේ දක්වාම විපක්ෂය විසින් සිදු කළේ මඩ ගැසීම පමණයි.

අපි කියනවා ලෑස්ති වෙන්න කොරෝනා වයිරසය හමුවේ විපක්ෂයේ ක්‍රියාපිළිවෙතට ජනතාව විසින් හොඳ පිළිතුරක් ඉදිරි මැතිවරණයේදී ලබා දෙනවා.

නීතිඥ සාගර කාරියවසම් මහතා

ජනාධිපතිවරණය නවමු මාවතකට ගෙන ගියා. පෝස්ටර්, කටවුට් වැනි ප්‍රචාරක කටයුතුවලින් වැළැකී පරිසර හිතකාමී අයුරින් කටයුතු කිරීමට කටයුතු කළා. ඒවාගේම විරුද්ධ පක්ෂයට අවලාද කියන සංස්කෘතිය පවා වෙනස් කරනු ලැබුවා. තම ප්‍රතිපත්ති මාලාව එළි දක්වලා ශක්තිමත් නායකත්වයක් ගෙනගියා. කැබිනට් මණ්ඩලය 30 නොවෙයි 15 දක්වා අඩු කිරීමට කටයුතු කළා. ජනාධිපති වැය ශීර්ෂය අවම කරන්න කටයුතු කළා. ජනාධිපති කාර්ය මණ්ඩලය 250ක් දක්වා අඩු කළා. ජනපති ආරක්ෂක බළ ඇණිය අඩු කළා. ජනාධිපතිතුමන් ගමන් කරන අවස්ථාවේදී මහමඟ ජනතාවට අවහිරයක් නොවන අයුරින් සාමාන්‍ය ලෙස ගමන් කරනවා. නව වාහන ගෙන්වීම් මේ වන විට මුළුමනින්ම නතර කර තිබෙනවා. අධි සුඛෝපභෝගී වාහන අවම කළා. වත්මන් ජනාධිපතිතුමා ක්‍රියාවෙන් ඔප්පු කළා කෝටි ගණන් වැය කරලා වෙනම මාලිගා හැදුවේ නැහැ. තමන්ගේ නිවෙසේ සිටම කටයුතු කළා. ආයතන ප්‍රධානීන්ගේ වැටුප් අවම කළා. පාතාලය හා මත්කුඩු ජාවාරම් ආදිය රටින් තුරන් කරන්න කටයුතු කරමින් යනවා.

රුවන්ත නිතුල්ගස්පිටි