ගම සමඟ පිළිසඳරට බැල්ම හෙලූ උකුස්සාට පෙනුන ජනපති රේගුවට දුන්න රතු එලිය!

“ගම සමග පිළිසදරක්” වත්මන් ආණ්ඩුවේ ජනප්‍රිය වැඩසටහනක් ය.

ජනාධිපති තුමාද මේ වැඩසටහනට බොහෝ සේ උනන්දුය.

ගමින් ගමට, දොරින් දොරට, ගලින් ගලට, දොලින් දොලට, කන්දෙන් ලන්දට, පැන පැන ඇවිද ගොස් ගමේ ජනතාව සමඟ කතාබහ කරමින් ඔවුන්ගේ දුක සැප බලමින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්නට ජනාධිපතිතුමා ද හරි කැමති ය… හරි උනන්දු ය…

ජනාධිපතිතුමා යන යන තැනට ඉහළ ආකාසෙන් පියඹා ගොස් ඒ සියල්ල දැකබලාගන්නට උකුස්සාටද ඇත්තේ පුදුමාකාර කිතියක් ය… උනන්දුවක් ය…

පහුගිය දොහක ජනාධිපති ගම සමග පිළිසඳරක යෙදෙන්නට තෝරා ගත්තේ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවට අයත් යට්ටපාන නම් ගම්මානය ය.

ජනාධිපතිතුමා ඒ ගමට ගියේ උඩින් ය. උකුස්සා ද ගියේ උඩින්ය. ඒ යට්ටපාන ගමේ ජනතාව සමග ජනාධිපති කරන කතාබහ නරඹන්නට ය.

ඒ කතාබහ අතරතුර ඔහු රටටම දැනෙන කතා දෙකක් කීවා උකුස්සාට මතකය…

එකක් මේ දිනවල උණුසුම්ම මාතෘකාව වන වරායේ නැගෙනහිර ජැටිය ගැන ය. අනෙක් කතාව අපේ රටේ රේගුව ගැන ය…

ජැටිය ගැන කතාව පැහැදිලි කිරීමක් ය. රේගුව ගැන කළේ එක්තරා අනතුරු ඇඟවීමක් ය.

උකුස්සාට මතක පරිදි  රේගුව ගැන කතාව මෙසේ ය…

“මේ රටේ ජනතාව මට රට භාර දෙනකොට බලාපොරොත්තු උන දෙයක් තමයි දූෂණය පිටු දැකීම.

දූෂණ ගැන හුඟක් චෝදනා තියෙන තැනක් රේගුව. මේ චෝදනා හුඟක් ඒවා ඇත්ත.

මම එතන හදන්න හමුදා නිලධාරියෙකුත් පත් කළා. නමුත් සාර්ථක වෙලා නෑ.

ඉදිරියේදී මට ඒ ගැන දැඩි තීන්දු ගන්න වෙනවා.

ඉන්න නිලධාරීන් ඔක්කොම ඉවත් කරලා හරි මම ඒක හදනවා…”

ජනාධිපතිගේ එම ප්‍රකාශය නිසා උකුස්සා තැති ගත්තේය… තැති ගත්තේ යම් යම් දූෂිතයින් සැලකිය යුතු පිරිසක් සිටියත් අවංකව සේවයට කැප වුණු ‘‘මහත්තුරු” පිරිසක් ද රේගුව තුළ සිටින බව උකුස්සා දන්නා නිසාය.

තව මොහොතකින් උකුස්සාට මෙසේ ද ඇසෙන්නට විය…

“රේගු නිලධාරීන් ඔක්කොම දූෂිතයෝ කියලා මම කියන්නේ නැහැ. හොඳ නිලධාරීන් ඉන්නවා. අවංක අයත් ඉන්නවා. හැබැයි ටිකයි. ඒ අය තමයි මේ දූෂිත නිලධාරීන් ගැන තොරතුරු අපට හොයලා දෙන්නේ…”

උකුස්සාට සැහැල්ලුවක් දැනෙන්නට පටන් ගත්තේය.

ඌ පපුව පිරෙන්නට හුස්මක් ගත්තේය. දෙවරක් අත් තටු ගසා හිස් අහස් තලයට ගොඩ වුනු උකුස්සා යට්ටපාන ගම වටා රවුමක් කැරකී ඉහළ ආකාශයට නැග යළි පවනට බඳු වේගයෙන් පැමිනෙන්නට වූවා ය.

ජනාධිපතිවරයාගේ යට්ටපාන ප්‍රකාශය සමාජ ගත වන්නට ගතවූයේ සුළු වෙලාවක් ය.

මාධ්‍ය තුළින් ප්‍රචාරය වූයේ කතාවේ උණුසුම්ම කොටස ය. රේගුවට බැණවැදුණු කොටස ය.

අවංක නිලධාරීන් ගැන කියූ කොටස නිසැක ව ම ප්‍රධාන කතාවෙන් ඉවත් කරන බව උකුස්සා දැන සිටියා ය.

රාජ්‍ය වුවත් පෞද්ගලික වුවත් අපේ රටේ මාධ්‍ය වල හැටි එහෙම ය.

ජනාධිපති රේගුවට බැණවැදුණු කොටස පමණක් ශ්‍රවණය කළ වැඩි දෙනා තැති ගත්තෝ ය.

තැති ගත් බොහෝ දෙනා අතර අද කතාබස්  බොහෝය. කසුකුසු බොහෝ ය.

ඒ අතර රේගුව ගැන හොඳ කතා, නරක කතා, රස කතා, තිත්ත කතා, කැත කතා, ලස්සන කතා, පරණ කතා, අලුත් කතා කප්පරක් ය…

මේ කප්පරක් කතා අතර පරණ කතා වලට උකුස්සා ද හරි කැමතිය. මන්ද රේගුව අපේ රටේ පැරණිතම වෘත්තියක්, රජ කාලේ සිට පැවත එන්නක් වන නිසා ය.

ප්‍රවීණ නාට්‍ය නිශ්පාදක දයානන්ද ගුණවර්ධනයෝ සිය “මධුර ජවනිකා” නාට්‍යයේ රේගුවේ වැදගත්කම අප අතීතය සමඟ මුසු කොට අතිශයෝක්තියෙන් ප්‍රතිනිර්මාණය කළ අයුරු උකුස්සාට ද මතක ය… හරි රසවත් ය…

දේශ ගවේෂකයකු වන “ඉබන් බතූතා” ලංකාවට පැමිණෙන විට මැද්දට පැන පාස්පෝට් – වීසා ඉල්ලන්නේ රේගු නිලධාරියෙක් ය.

නාට්‍යයේ බතූතා පී. කේ. තිලකරත්නය. රේගු නිලධාරියා බන්දුල විජේවීර ය…

එපමණක් ද..? නැත…

ෆාහියන් හිමි එන විට පාස්පෝට් ඉල්ලන්නේද රේගු නිලධාරියා ය. වස්කෝද ගාමා එනවිට හරස් වන්නේ ද ඔහු ය.

වස්කෝද ගාමා ලෙස ජැක්සන් රඟපෑ භූමිකාව හරි අපූරු බව උකුස්සාට මතකය…

නාට්‍යයේ එළාර ආවේ රේගු නිලධාරියාට හොරෙන්ය…

දයානන්ද ගුණවර්ධනයෝ මේවා කීවේ රේගු රාජකාරිය ඒ තරම්ම වැදගත් යැයි කියන්නට ය. පරණ යැයි කියන්නට බව උකුස්සාගේ හැගීමය.

කෝට්ටේ හා උඩරට රාජධානි සමයේ ද රේගු රාජකාරි කළ, රජුගේ නිලධාරීන් ගැන කතා බොහෝ ය.

රජු ගේ කැමැත්ත අනුව කෙරුණු රේගු කටයුතු නීතියකට හරවා පනතකට ගෙන අපට හඳුන්වා දුන්නේ සුද්දෝ ය.

ඒ මීට වසර දෙසීයකට පමණ පෙර බව උකුස්සා ට මතකය…

එවන් අතීත උරුමයක් සහිත වෘත්තියක “වර්තමාන රෙජීමය” දූෂිත හොර ගුහාවක් ලෙස අර්ථ දක්වන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙළඹුණේ ඇයි…

උකුස්සා මතකය අවුස්සන්නට වූයේ ඒ ගැන ය…

ඒ ගැන පරණ කතා නම් බොහෝය. සාක්ෂි සාධක කප්පරක් ය… දිග ඇරියොත් තෝම්බුවක් ය. ලිව්වොත් වංශකථාවක් ය…

උකුස්සා එහි මෑත කාලීන අතීත සාක්ෂි සාධක පමණක් මෙසේ මතක් කරන්නට කල්පනා කළේ ඒ නිසාය…

ඒ සදහා රේගු ඉතිහාසයේ එක්තරා  හැරවුම් ලක්ෂයකින් කතාව අරඹන්නට උකුස්සා කල්පනා කළේය.

හැරවුම් ලක්ෂය අපට දකින්නට ලැබුනේ 2015 වර්ෂයේ අලුත් යහපාලන ආණ්ඩුවේ ආරම්භයත් සමඟ ය.

රේගු පුරාණයේ ඉතා සීමිත අවස්ථා කීපයක් හැරුණු විට අන් සෑම අවස්ථාවකම රේගුවට ප්‍රධානියකු, එසේ නැතිනම් රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු පත් වූයේ රේගුව අභ්‍යන්තරයෙන්ය. නැතිනම් පරිපාලන සේවයෙන්ය. ඊට බාහිරින් රේගුවට ප්‍රධානියකු පත් කළේ විශේෂ හේතුවක් ඇති විට පමණක් ය.

2015 යහපාලන ආණ්ඩුව යටතේ මුදල් ඇමතිවරයා ලෙස තේරී පත් වූ රවී කරුණානායගම් සතුවද බොහෝ විශේෂ හේතු ඇත්තේ ය. වි‍ශේෂ හේතු පමණක් නොව, ඔහුට සුවිශේෂ හේතුද බොහෝ ඇත්තේ ය.

ඔහු ට ව්‍යාපාරික බලවතුන් බොහෝ ය. ව්‍යාපාරික හිතවතුන් ද බොහෝ ය. එපමණක් ද….? ඔහුට ව්‍යාපාර ද ඇත්තේ ය.

ඒ නිසා රවී කරුණානායගම් ඇමතිට රේගුව සම්බන්ධයෙන් විශේෂ හා සුවිශේෂ හේතු බොහෝය.

විශේෂ හේතු මත ඔහු රේගුවට චූලානන්ද පෙරේරා නම්  ඔහුට හිතවත් රේගු අධ්‍යක්ෂ  ජෙනරාල්වරයකු පරිපාලන සේවය තුළින් තෝරා ගත්තේය.

ආයතනය තුළින් අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත්වන විට ඔහු එන්නේ පහළ නිලධාරීන් ගැන සියලු අල ගිය තැන් මුල ගිය තැන් හොඳින් දැන කියාගෙන ය.

දූෂිතයෝ කවුද, අවංක නිලධාරීන් කවුද, වැඩ්ඩෝ කවුද, වැඩ බැරි ටාසන්ලා කවුද, කියා හොඳ හැටි දැන කියාගෙන ය.

නව අධ්‍යක්ෂ ජෙනරාල් චූලානන්ද පෙරේරා ට එවන් දැනුමක් රේගුව ගැන නොමැති ය.

එවිටදී රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තීන්දු තීරණ ගන්නේ ඊට පහළින් සිටින අතිරේක රේගු  අධ්‍යක්ෂ ජෙනරාල්වරු පස් දෙනාගේ සහයෝගයෙන් ය.

එවකට සිටි නිලධාරීන් පස්දෙනා අතර අයථා රේගු කියුම් කෙරුම් ගැන නම්දැරූ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනකු ද විය.

චූලානන්ද පෙරේරා ගේ අගසව් දෙනම වූයේ මේ දෙදෙනා ය.

එක් අයෙක් තාරක සෙනෙවිරත්න ය. අනෙක් රුසියා rajendranරාජේන්ද්‍රන්  නම් වූ බව උකුස්සාට මතකය.

ඒ දෙදෙනාට ම සරිලන මරු පහේ තවත් බඩුවක් ඊට යටින් සිටියේය. ඔහු රේගු අධ්‍යක්ෂ සමන් ද සිල්වා නම් ය.

උකුස්සාගේ ගණන් මිනුම් නිවැරදි නම් රේගුවේ සමස්ත සේවකයන් දහසකට මදක් වැඩිය.

ඒ අතර රේගු අධ්‍යක්ෂවරු ද විස්සක් පමණ ය.

සමන් ද සිල්වා සමඟ තවත් දෙතුන් දෙනෙකු චූලානන්ද පෙරේරා ගේ කවයේ සාමාජිකයන් බවට පත් විය.

කෙලින්ම සබඳතා නැතත් ඉහළ නිලධාරීන්ගේ කටයුතුවලට නියමින් සහ අනියමින් සහාය දුන් හත් අට දෙනෙක් ද මෙම 20 දෙනා අතර සිටි බව උකුස්සාට මතක ය.

මේ 20ක් පමණ වූ නිලධාරීන් අතරද  රාජකාරිය දේවකාරියක් ලෙස සැලකූ නිලධාරීන්ද නොසිටියා නොවේ.

එහෙත් මුදල් ඇමතිවරයා, මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් දෙතුන්දෙනෙක්, මුදල් අමාත්‍යංශයේ කිහිප දෙනෙක්, රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් හා අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් දෙදෙනෙක්, රේගු අධ්‍යක්ෂවරුන් හතර පස් දෙනෙක් ඇතුළුව සාදාගත් බලඇණියේ බලය ඉක්මවා යන්නට තරම්, අවංක නිලධාරීන් ටික දෙනාගේ හැකියාව බල සම්පන්න වූයේ නැති තරම් ය.

ඒ නිසා අවංක නිලධාරීන් බොහෝ දෙනෙකුට සිදු වූයේ සිදු වනදේ නොදැක්කා මෙන් ඉන්න ය.

ඉතාම ටික දෙනෙක් අයුක්තියට එරෙහිව තම තනතුරු වල හා රාජකාරියේ බලය පාවිච්චි කරමින් සටන් වැදුණා ය කිව්වොත් නිවැරදිය.

ඇමතිවරයා ඇතුළු ඉහත කියැවුණු නිලධාරි මණ්ඩලයේ ලාභදායි පළමු මෙහෙයුම වූයේ 2016 වසරේදී වසරේ දී පටන් ගත් ප්‍රාඩෝ (prado) වංචාවය.

වංචාවට අසූ වූ ප්‍රාඩෝ රථ සංඛ්‍යාව 900කට මදක් වැඩි ය. එ මගින් රජයට අහිමිකළ බදු මුදල රුපියල් මිලියන 7200කටත් වැඩි ය.

අවාවාසිය රජයට ය. වාසි ය ඇමතිවරයාගේ, ව්‍යාපාරිකයින්ගේ පටන් ම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ඇතුළු ව මේ දූෂිත නිලධාරීන් පැලැන්තියට ය.

රේගු ආඥා පනතේ 163 වගන්තියට අනුව ඇත්තේ අධ්‍යක්ෂ ජනරාල් වරයා සතු බලය ය. 164 වගන්තිය යටතේ ඇත්තේ මුදල් ඇමතිවරයා සතු බලය ය.

අධ්‍යක්ෂ ජනරාල් එම වගන්ති දෙකේ ම බලය අභිමත පරිදි පාවිච්චි කරන්න පටන් ගත්තා ය.

අයථා ගනුදෙනු විමර්ශනය කරන විශේෂ විමර්ශන ඒකකය විසුරුවා හැරියා ය.

අන්තිමට නඩු නඩුත් හාමුදුරුවන්ගේ ය. බඩුත් හාමුදුරුවන්ගේ ය. තීන්දුවත් හාමුදුරුවන්ගේ ය.

මේ දූෂිත එකමුතුව මගින් කළ වාණිජ මෙහෙයුම් එකක් දෙකක් නොවේ ය.

කුප්‍රකට කරුන්කා වංචාව සිදු වූයේ ද මේ කාලයේ ය.

කුප්‍රකට එතනෝල් වංචාව ද මේ කාලයේ සිදු වූ තව එකක් ය.

කුප්‍රකට ෆාම් ඔයිල් වංචාව සිදු වූයේ ද මේ කාලයේය.

අන්තිමේ මේ ඇමති හා ගෝල බාල පරම්පරාව තම තමන්ගේ නම පවතින පරමාදර්ශී ගනුදෙනුවක් ද කලෝය.

තම ව්‍යාපාරික හිතවතුන්ට ලංකාව වෙත ඇති තරම් සීනි තොග ගේන්නට ඉඩ හැරියාය.

ගෙනල්ලා වරායේ පුරවා තබන්නට උපදෙස් දුන්නාය.

ඒ වන විට රජය අය කරන සීනි බද්ද කිලෝවට රුපියල් 30ක් ය.

ඇමති ගැසට්ටුවක් මගින් එම බද්ද සත 25 ක් දක්වා පහත දැම්මා ය.

ගජමිතුරන්ට වහ වහා වරායේ තිබූ සීනි තොග ශත 25 ක් බැගින් වූ බද්දට නිදහස් කරගන්නට ඉඩ පාදා දුන්නා ය.

ඇමතිත් ගොඩය. ව්‍යාපාරිකයොත් ගොඩ ය. රේගු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කණ්ඩායමත් ගොඩ ය.

රජයට අයවිය යුතු මහජන මුදල් සම්භාරයක් මේ අයුරින් ගසා කන කාපාලුවන්ට විරුද්ධව ඒක වෘත්තීය සමිති නඩු මඟට බැස්සේ මේ අවස්ථාවේ දී බව උකුස්සාට මතක ය.

කොතරම් හරිහම්බ කළත් ඒත් මදි ය… ඒ කිසි සතුටක් නැති ය. සිතට නිවනක් නැති ය. ආසාව තව තවත් හම්බ කරන්න ට ය.

ඇමති රවී ඇතුළු කණ්ඩායම බාගෙන කන වල ඉහගෙන කන්නට කල්පනා කළේ ඒ අනුවය…

ඒ අනුව පටන් ගත් අලුත්ම සෙල්ලම ‘‘ග්ලෝබල් පාර්ක්’’(global park)ය.

ග්ලෝබල් පාර්ක් යනු සාමාන්‍ය වෙළඳ බඩු කන්ටේනර් ගාල් කිරීමේ පර්යන්තයක් බව සැබෑ ය.

එහි අයිතිකරුවා රවි කරුණානායගම් ම බව බොහෝ දෙනකු එදා දැන සිටියේ නැත.

මෙම කන්ටේනර් පර්යන්තය වෙත යැවුණේ ප්‍රතිඅපනයනය සඳහා ගෙන්වන බඩු භාණ්ඩ ය.

එතනට යන කන්ටේනර් පරික්ෂා පරික්ෂා කිරීම හෝ විමර්ශනය කිරීම විමර්ශන නිලධාරීන්ට තහනම් ය.

ඒ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අණ ය.

බදු නො ගෙවා රජයට වංචා කරමින් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරමින් හොරබඩු වරාය හරහා ලංකාවට ආවේ ඔහොම ය. අපි මෙහෙන් අපනයනය කළ නොහැකි හොරබඩු කිසිදු බාධාවකින් තොරව රටින් පිට කෙරුනේ ද ඔහොම ය.

ඒ යහපාලන ආණ්ඩුවේ හොඳම හොඳ මුදල් ඇමතිවරයා ගේ කියුම් කෙරුම් ය.

ප්‍රති අපනයනයේ මුවාවෙන් ලංකාවට ගෙන ආ මිලියන දහස් ගණනක විස්කි ඇතුළු රට මත් පැන් වර්ග american water ඇමරිකන් වෝටර් බවට පත්වී රටින් පිටව ගියේ මේ ග්ලෝබල් පාර්ක් හරහා ය.

කන්ටේනරයක් පස්සේ පන්නාගෙන ගොස් පරික්ෂා කර මේ වංචාව හෙළිදරව් කෙරේ රේගු විමර්ශන නිලධාරී අමරසිංහ මහත්තයා ය.

ඔහු නොවන්නට මේ ගනදෙනු තවමත් රහසක් ය.

කීර්තිමත් සිලෝන් ටී වලට කසල තේ කවලම් කර පිටරට යැවූනේද ග්ලෝබල් පාර්ක් හරහා ය.

කරැංකා ගම්මිරිස් වැනි ගණුදෙනු කෙරුනේ ද මෙතනය.

රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ සිටින වැදගත් අවංක මහත්තුරුන්ට චූලානන්ද පෙරේරා වාතයක් ම විය.

අවංක නිලධාරීන් හා වෘත්තීය සමිති එකමුතු වී ජනාධිපතිවරයා වෙත මේ අවනඩුව දිගින් දිගටම ගෙන යාම හේතුවෙන් චූලානන්ද පෙරේරා ට එම මගුල් කෑම අහවර කරන්නට ද සිදුවිය.

අවනඩුව දුරදිග යාම හේතුවෙන් චූලානන්ද ට පමණක් නොව, ඇමැති රවි කරුණානායගම් ට ද මේ මුදල් ආකරය බාරදී සමු ගන්නට සිදු විය.

අනතුරුව මුදල් ඇමැති මංගල සමරවීර ය. මංගල රේගු අධ්‍යක්ෂ වරයා ලෙස මීළඟට පත්කළේ ලංකාවේ සිටි කීර්තිමත් ම දිසාපතිවරයක්වය.

ඕ හිටපු වව්නියාව දිසාපති පී එස් එම් චාල්ස් නම් වූවා ය.

ඇයට ද අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් වරු දෙනෙකුගෙන් ඔළුව බේරා ගත නොහැකි වුණේය.

ඇයව නොමග යවන්නට ද මේ සුර චෞරයෝ හපන්නු වූ බව උකුස්සාට මතකය.

අතිරේක රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා හා වෘත්තිය සමිති ඇයගේ සහයට ඉදිරිපත් වූහ. ඇයව ජාවාරම් කරැවන්ගෙන් ගලවා ගත්හ.

ඒ අනුව මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාරයේ කාපාළුවන්ට මෙන් ම රේගුවේ ශූර චෞරයන් ට චාල්ස් නම්මවා ගත නොහැකි විය.

එනමුත් චාල්ස් ද රේගුවේදී අසාර්ථක විය.

ඇමති මංගල ඇයගෙන් බලාපොරොත්තු වී තිබූ ඉලක්ක ඇයට වෙන වෙන කාරණා නිසා සපුරා ගත නොහැකි විය.

සාමාන්‍යයෙන් රටේ ජාතික ආදායමෙන් 57% රජයේ සපුරා ගන්නේ රේගු බදු ආදායමෙන් බව සැබෑ ය.

ඇමති මංගල රේගුවෙන් ඊට වඩා ඉහළ ප්‍රතිඵල බලාපොරොත්තු විය.

අධ්‍යක්ෂ ජෙනරාල්වරියට ද ඉලක්ක කරා ළං වෙන්නට නොහැකි විය…

ඇමති මංගල චාල්ස් නෝනා වෙත බැණ වදින්නට පටන් ගන්නේ ඒ අනුව බව උකුස්සා ට මතකය.

අන්තිමේ ආණ්ඩුව මාරු විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ රේගුව දූෂණ වංචා වලින් මුදවා ගන්නට කල්පනා කළේය…

රේගුව ගොඩ ගන්නට නම් හමුදා නිලධාරියෙක් පත් කළ යුතු යයි ජනාධිපති සිතන්නට ඇත.

ජනාධිපති ගේ තෝරාගැනීම වූයේ යුද සමයේ සටන් බිමේ වීරෝදාර සෙන්පතියකු වූ විජිත රවිප්‍රිය මහතා ය.

යුද්ධ සමයේ අටවෙනි කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වූ රවිප්‍රිය මහතා ත්‍රස්ත නායක ප්‍රභාකරන් ගේ අවසන් ගමන සම්බන්ධයෙන් ද හොඳ සාක්කි කාරයෙකු බව කවුදෝ කියනවා උකුස්සාට මතක ය.

ඔහුට ද රනබිමේ කළ විස්කම් රේගුවේ කරන්නට නොහැකි විය.

රේගුවේ රාජකාරි ඔහුට අළුතින් ඉගෙන ගත යුතු විය.

ඔහුගේ ගුරුවරයා වූයේ රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න ය.

අවසානයේ විජිත රවිප්‍රිය ද අසාර්ථක විය. එනමුත් මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න ගේ බලාපොරොත්තු ටික ටික ඉටු වන බව උකුස්සා දැක්කේය.

පසුගිය දිනවල මහා පරිමාණයෙන් සිදු වූ සීනි ගනදෙනුව සම්බන්ධ බදු මුදල් වංචාවට රවිප්‍රියලා සම්බන්ධ නැතත් ඒ කළු පැල්ලමින් රවිප්‍රිය ට ද ගැලවෙන්නට බැරි විය.

ඒ හා සමඟම අපේ රටේ දල ජාතික ආදායමෙන් 57% හොබවන රේගු බදු ප්‍රතිශතය ජයගැනීම ඔහුගේ යුගයේදී හීනයක්ම විය.

රජයට මහා පරිමාණයෙන් ආදායම් ලැබෙන වාහන ආනයනය, අමතර කොටස් ආනයනය, ඉලෙක්ට්‍රොනික උපකරණ ආනයනය, ටයර් ආනයනය  ආදී සියලු සියලු ආදායම් මාර්ග කොරෝනා නිසා ඇණහිටියේ ය.

ආදායම් ලබන්නට හැකි මාර්ග සියල්ල වැසී ගිය කල මොන දක්ෂ සෙනෙවියා පැමිණියත් කළ හැකි දෙයක් නැති තරම් ය.

කළ හැකි දෙයක් වූවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් ගේ  උපදේශකයා  සුනිල් ජයරත්න වීම තුළ හොඳ මිනිසුන් ලෙස නම් දරා සිටි අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් වරු පසු බැස්සේය.

ලාල් ගජධීරලා නායකයා ගෙන් ඈත් විය. අර්ථනායක වැන්නන් නිෂ්ක්‍රීය විය.

යහපත් මිනිසෙකු වූ සේනානායක ද පසු බෑවේ ය.

අවසානයේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට හොඳ කණ්ඩායමක් නොමැති විය.

කොරේනා ව්‍යසනය නිසාහරි ආදායමකුත් නැති විය.

ආධායමකුත් නැති, කණ්ඩායම් සහයෝගයකුත් නැති ආයතනයක රණවිරුවෙකුට වුව කළ හැකි දෙයක් තිබිය නොහැකිය.

රේගුවේ ස්වර්ණමය යුගයන් සනිටුහන් කළ රේගු අධ්‍යක්ෂවරුන් ගැන බොහෝ කතා උකුස්සා අසා තිබේ ය.

ඇතැමුන් ජේ.  එල් ජේ පෙරේරා කෙනෙකු ගැන කියයි. තවත් අය වරුසමාන මහත්මා කෙනකු ගැන කියයි.

තවත් අය කරුණාරත්න කෙනෙක් ගැන කතා කරයි.

රේගුවේ වැඩ පෙන්නූ මේ බොහෝ දෙනා අති දක්ෂ පරිපාලන නිලධාරීන් බව කියන්නේ ඉතිහාසය ය.

ඉතිහාසය අනාගතය සඳහා පාර කියා දෙනු ඇති බව උකුස්සාගේ අදහසය.

ජනාධිපතිතුමාගේ අදහස නොව, ආවේගය නිවැරදි බව උකුස්සාගෙ මතයයි.

දයානන්ද ගුණවර්ධනයෝ රේගුවේ ඉතිහාසය ගැන මධුර ජවනිකා නාට්‍ය යේ අතිශයෝක්තියට නගා තිබුනේ යම් සේ ද…

එසේම ජනාධිපති ගෝඨාභය ඔහුගේ අදහස ද අතිශයෝක්තියට නැගුවාට සැක නැත…

‘‘රේගුවේ ඔක්කොම අයින් කරල හරි මම ඕක හදනවා…‘‘

ඒ අතිශයෝක්තිය බව නිසැක ය.

එහෙත් එතුමා ඉන් අනුමාන කළේ අනෙකක් බවද නිසැක ය.

රේගුව තුළ සමස්ත සමස්ත සේවකයන් ගණන නිලධාරීන් 1000කට ටිකක් වැඩි ය.

එය ඇතුළේ ආචාර්ය උපාධි ලාභීන් (පී එච් ඩී) දෙදෙනෙකු ය.

ශාස්ත්‍රපති උපාධිධාරීන් (එම් ඒ/ එම් එස් සී) 400 ක් ය.

ඉංජිනේරුවන් සියයකට ටිකකුත් වැඩි ය.

නීතිඥයින් (එල්. එල්. බී) තිස් ගණනක් ය.

නිසැකයෙන් ම ජනාධිපතිවරයා මේ බැව් නොදැන සිටියා යැයි කිව නොහැකි ය.

උගතුන් ගැන වියතුන් ගැන වෘත්තීයවේදීන් ගැන මේ රටේ කොයි නායකයාටත් වඩා හැඟීමක් වත්මන් ජනාධිපතිතුමන් සතු බව නොකිවමනා ය. එබඳු මානව සම්පත්කින් පොහොසත් රාජ්‍ය ආයතනයක් ගොඩ ගැනීමට කළ කළ යුතු හොඳම දේ ජනාධිපතිතුමා නොපමාව කරනවා නිසැකය…

අපට ඇත්තේ එතුමන්ගේ කතාවල වාක්‍ය කොටස් පමණක් ගෙන් විමසා බලන්නට නොව, ඒ කතාවේ සමුදයාර්ථය ගෙන අපේක්ෂා සහ සහගත ව විමසා බලන්නට ය.   

###උකුස්සා