එංගලන්තය ඇඹුල්දෙණියට ඇඹරෙයි!

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී  ලංකා ටෙස්ට් තරග සංචාරයේ දෙවැනි තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (24දා) තරගය නතර කරන අවස්ථාව වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්තය කඩුලු 9කට ලකුණු 339ක් ලබා සිටියේය. ඒ අනුව එංගලන්තය ශ්‍රී  ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 42ක් පසුපසින් සිටී.

මෙම තරගයේදී කඩුලු 2කට ලකුණු 98ක පසුවෙමින් තුන්වැනි දිනය ඇරඹූ එංගලන්ත ඉනිමේ ඊයේ දිනයේ බිඳවැටුණු පළමු කඩුල්ල බවට පත්වෙමින් ජොනී බෙයාස්ටෝ ලකුණු 28කට දැවී ගියේය. එහිදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් බෙයාර්ස්ටෝ සහ ජෝ රූට් යුගලය ලකුණු 111ක් එක්කර තිබීම විශේෂත්වයකි. කෙසේ නමුත් ඉන් අනතුරුව ඩැනී ලෝරන්ස්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ ලබා නොදුන් ඇඹුල්දෙණිය විසින් ලෝරන්ස් ලකුණු 3කට දවාගනිද්දී එංගලන්ත නායකයා සමඟ පිටියේ එක්වූ ජොස් බට්ලර් 5 වැනි කඩුල්ල වෙනුවෙන් තීරණාත්මක සාර්ථක සබඳතාවක් ගොඩනැඟීය. බට්ලර් ලකුණු 55කට දැවී ගියේ මංගල තරගයට ක්‍රීඩා කරන රමේෂ් මෙන්ඩිස්ගේ පළමු ටෙස්ට් කඩුල්ල බවට පත්වෙමිනි. සෑම් කරන්ද ලකුණු 13ක් ලබා සිටියදී ඇඹුල්දෙණියගේ 5 වැනි ගොදුර බවට පත් විය. එය ඇඹුල්දෙණිය ටෙස්ට් තරගයක ඉනිමක කඩුලු 5ක් දවා ගත් 3 වැනි අවස්ථාව බවට පත්විය. 

එංගලන්ත ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැඟීමට නායක රූට් සහ ඩොම් බෙස් සමත් වූ අතර, ලකුණු 32ක් ලබා සිටියදී ස්ලිප්හි පන්දු රකිමින් සිටි තිරිමාන්න අතට උඩපන්දුවක් ලබා දෙමින් බෙස් දැවී යෑමත් සමඟින් එම සම්බන්ධතාව බිඳ වැටිණි. 8 වැනි කඩුල්ල ලෙස මාක් වුඩ්ට ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණි. 

මෙහිදී තම ටෙස්ට් දිවියේ 19 වැනි ශතකය වාර්තා කළ එංගලන්ත නායක ජෝ රූට් ලකුණු 186කට දුවද්දී දැවීගියේ ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටි ඕෂධ ප්‍රනාන්දුගේ විශිෂ්ට පන්දු රැකීම හේතුවෙනි. 

කෙසේ වෙතත් ටෙස්ට් දිවියේ ඉනිමකදී හොඳම පන්දු යැවීම සටහන් කළ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 132කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් වූවා සේම එක් තරගාවලියකදී එකම ආරම්භක පිතිකරු යුගලය නොකඩවා ඉනිම 3කදී දවා ගැනීමේ දුර්ලභ වාර්තාවක් හා එක් තරගාවලියකදී නොකඩවා ඉනිම තුනකදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් කිසිවකුට ලකුණු 10ක් ලබාගැනීමට පෙර දවා ගැනීමටද ඇඹුල්දෙණිය සමත්වීම විශේෂත්වයකි.

මේ අතර ක්‍රව්ලි, ලෝරන්ස්, කරන්, බෙස් හා වුඩ්ගේ උඩපන්දු රැකගැනීමට තිරිමාන්න සමත්වූ අතර, එහිදී ශ්‍රී ලංකා පන්දු රකින්නකු උඩපන්දු 5ක් ලබාගත් පළමු අවස්ථාව මෙය වීමද කැපී පෙනේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී  ලංකා පිල තම පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 139.3කදී සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව වූයේ 381කි. එහිදී තම ටෙස්ට් දිවියේ 11 වැනි ශතකය වාර්තා කළ ඇන්ජිලෝ මැතිව්ස් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 110ක් රැස්කර ගත්තේය. පළමු ටෙස්ට් ශතකය පෙනෙන මානයේ සිටියදී අවාසනාවන්ත ලෙසින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 92කට දැවී ගියේය. තම වගකීම මැනෙවින් ඉටුකළ දිල්රුවන් පෙරේරා ටෙස්ට් දිවියේ 7 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 67ක් ලබා ගත් අතර, වැඩ බලන නායක දිනේෂ් චන්දිමාල් ටෙස්ට් දිවියේ 20 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 52ක් ලබා ගත්තේය.

එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 6ක් දවා ගත් අතර, ඉනිමකදී කඩුලු 5ක් දවාගත් ලොව වැඩිම වයසැති ක්‍රීඩක වාර්තාවද ඇන්ඩර්සන් නමට ලියැවිණි.