නැඟෙනහිර ජැටිය අදානි සමාගමට දෙන්න තීරණය කළේ මෛත්‍රි මුලසුන දැරූ කැබිනට් රැස්වීමේදියි!

කේරළ වරායත් පාලනය කරන්නෙත් ඉන්දියාවේ අදානි සමාගම බවත් කේරළ වරාය අපේ වරායට වඩා සංවර්ධනය වුවහොත් කොළඹ වරායට විශාල පහරක් වෙන නිසා ඉන්දියාව සමඟ සාකච්ඡා කර අදානි සමාගමටම අපේ වරාය සංවර්ධනය කිරීමත් භාරදීමට යහපාලන සමයේදී තීරණය කළා යැයි හිටපු පළාත් සභා මන්ත්‍රි ආචාර්ය කිත්සිරි මංචනායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (24දා) පිටකෝට්ටේ පිහිටි ‘සිරිකොත’ එ.ජා.ප. පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින්ය.

වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද පැවැසීය.

අපේ යහපාලන ආණ්ඩු සමයේදී කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයට ආයෝජකයෙක් ගෙන ඒම සඳහා ඉන්දියානු රජයත් ජපන් රජයත් සමඟ MOC  එකක් අස්සන් කළා. 51%ක් ශ්‍රී ලංකා රජයට හෙවත් වරාය අධිකාරියටත් ඉතුරු 49% ජපානය සහ ඉන්දියාව ඒකාබද්ධව නම් කරන ඉන්දියන් සමාගමකට ලබාදෙන විධියටයි ඒක අස්සන් කළේ. ඉන්දියාව විසින් ඒ සඳහා නම් කර තිබුණේ ඉන්දියාවේ අදානි සමාගමයි. අදානි සමාගම කියන්නේ ඉන්දියාවේ තියෙන විශාල සමාගමක්. දැනටමත් ඉන්දියාවේ වරායවල් දහයක් පමණ ඔවුන් යටතේ පාලනය වෙනවා. ඒ වගේම ක්වීන්ස්ලන්තයේත් වරායක් ඔවුන් පාලනය කරනවා. ඒ වගේම අදානි සමාගම කියන්නේ නොයෙකුත් මහා පරිමාණ ව්‍යාපෘතිවලට නම් දරපු සමාගමක්.

අපේ රටට ළඟින්ම තිබෙන කේරළ වරාය සංවර්ධනය කිරීමේ කටයුත්තත් අදානි සමාගම විසින් සිදු කරනවා. කොළඹ වරාය ලෝකයේ තරගකාරී වරායක් කිරීමට නම් ශීඝ්‍රයෙන් දියුණු කළ යුතුයි. ඒකට විශාල මුදලක් අපිට අවශ්‍ය වෙනවා. මේ කොළඹ වරාය හා සමගාමීව ඉන්දියාව වගේ රටක තවත් වරායක් සංවර්ධනය වෙනවා නම් ඒක අපිට පහරක් වෙන්න පුළුවන්. කේරළ වරාය අපේ වරායට වඩා සංවර්ධනය වුණොත් ලංකාවේ කොළඹ වරායට විශාල පහරක් වෙනවා. ඒ නිසා ඉන්දියාව සමඟ සාකච්ඡා කර එම අදානි සමාගමම අපේ වරායත් සංවර්ධනය කිරීමට තෝරා ගත්තා. ඒ නිසයි අපේ යහපාලන ආණ්ඩුව මේ තීන්දුව ගත්තේ.

කොළඹ වරාය සංවර්ධනය කිරීම ආරම්භ කළ පසු අදානි සමාගමට ඉන්දියාවේ වෙනත් වරායක් සංවර්ධනය කළ නොහැකි බව අපි අස්සන් කළ MOC  එකේ බොහෝම පැහැදිලිව සඳහන් වෙනවා. අපි ඉන්දියාව සමඟ මෙම ගනුදෙනුව සිදු කළේ මේ මුදල ලබා ගැනීමටම පමණක් නොවෙයි. මෙම තීරණයට ප්‍රධානතම හේතුව වුණේ කේරළ වරාය හෝ ඒ ආසන්න වෙනත් වරායක් සංවර්ධනය වුණොත් ඒක අපිට විශාල ගැටලුවක් වෙන නිසයි. මේ වගේම උතුරු ජැටියත් අවුරුදු 25ක් ඇතුළත සංවර්ධනය කිරීමටත් එ.ජා.ප. යහපාලන රජය තීරණය කර තිබුණි. ඒ පිළිබඳ ශක්‍යතා වාර්තා සියල්ල සකසා අවසන් කර තිබුණා.

අපි මෙම MOC එක අත්සන් කළේ ඉතාම සත්භාවයෙන්. නමුත් මේ රජය දැන් ගහන්න යන ගිවිසුම් ගැන අපි දන්නේ නැහැ. අපි වරායවල් විකුණනවා යැයි පවසමින් අපිට පහර ගසමින් බලයට ආපු මේ ආණ්ඩුව අද එයාලටත් ඒ දේම කරන්නට සිදුවී තිබෙනවා. අපි යෝජනා කළ දේම දැන් මේ රජය කරනවා.

‘මේ සියල්ල මම නැවැත්තුවා කැබිනෙට්ටුවටවත් ගේන්න දුන්නේ නැහැ’ කියලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණා. නමුත් මම ඉතාම වගකීමෙන් කියන්නේ 2019 අගෝස්තු 13 සහ සැප්තැම්බර් මාසයේ 10 වැනිදා මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීම්වලදී මෙම MOC එක ක්‍රියාත්මක කිරීමට ඒකමතිකව තීරණය කළා.

මෙම මාධ්‍ය හමුව සඳහා පසුගිය මහ මැතිවරණයේදී එ.ජා.ප. අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ නීතිඥ සුදත් ජයසුන්දර මහතාද සහභාගි වූහ.