විශ්වයේ තවත් ග්‍රහලෝක ගැන අවුරුදු 09දී කියන පුදුම දරුවෙක්

සෞරග්‍රහ මණ්ඩලයට එහා පිහිටි  ග්‍රහවස්තු සම්බන්‍ධයෙන් නිරීක්‍ෂණ, පර්යේෂණ කරන තාරකා  විද්‍යාඥයකු වීම තම අනාගත බලාපොරොත්තුව බව පවසන නව හැවිරිදි දරුවකු පිළිබඳ නවමු ආරංචිය අපට ලැබෙනුයේ රජරට, පොළොන්නරු පෙදෙසිනි.  පොළොන්නරුව තෝපාවැව ජාතික පාසලේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ හපනා  ඔජිත් දුලංජන සිල්වා සිසුවාය. 

විද්‍යා ප්‍රබන්ධ ග්‍රහ වස්තු පිළිබඳ පොතපත, අන්තර්ජාලය ආදී බොහෝ දෑ පරිශීලනය කර ඒ ලබාගත් දැනුමෙන් මේ දරුවාට ලොව ඕනෑම රටක් ගැන විමසූවිට ලෝක සිතියමේ එය පිහිටා තිබෙන තැන සැණෙකින් පෙන්වීමේ හැකියාවක් තිබේ.

විරල හැකියාවන් මෙන්ම නොයෙකුත්  දස්කම් පිළිබඳ උපන් හපන්කම් දක්වන දරුවන් පිළිබඳව වර්තමානයේ අපට අසන්නට දකින්නට ලැබේ. සමාජයේ ඇතැම් තැන්වල හමුවන  දරුවන් පෙර ආත්ම භවයන්වල පටන් ගෙන ආ දැනුම බුද්ධිය තුළ මේ භවයේදී කුඩා අවධියේ සිට හැකියාවන් පෙන්වන බවද කියයි. එහෙත්  තමන් මේ සම්බන්‍ධයෙන් දැනුම ලබා ගත්තේ විද්‍යා සඟරා සහ පතපොත පරිශීලනයෙන් යැයි ඔජිත් දුලංජන දරුවා අප සමඟ කීය. ඊට අමතරව අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්නා තොරතුරුද තම දැනුම පුළුල් කළ බව හෙතෙම පැවැසීය. 

“මම උදේ අවදි වෙන්නේ පාන්දර පහට විතර, උදේට විනාඩි පහළොවක් විතර භාවනා කරනවා. ඉන් පස්සේ දත් මැදලා මූණ හෝදලා විදැස නාළිකාවේ විකාශනය වන ශිෂ්‍යත්ව වැඩසටහන් නරඔනවා. ඉන් පසු මගේ විවේක කාලය තුළ තාරකා විද්‍යා පොත් කියවනවා. ආතර් සී. ක්ලාක් මහතාගේ  තාරකා විද්‍යා ප්‍රබන්ධ රාශියක් මම කියවලා තියෙනවා. අභ්‍යවකාශ වීර චාරිකා ඒ වගේම ඒ මහතාගේ තාරකා විද්‍යා පොත් ගොඩක් කියවලා තියෙනවා. ඒ අතර 2001,2010,2061,3001, රාමා හමුව, රාමා උයන, රාමා අනාවරණය, මිහිකතේ ගීතය, රික්ටර් 10 ඉර, හඳ, තරු මැද අඟහරු මිනිසා අවසන් සිද්ධාන්තය වැනි පොත් මම කියවලා තිබෙනවා. ඒ වගේම මහාවංශය ඇතුළු ඉතිහාස ග්‍රන්ථත් බොහොමයක් කියවලා තියෙනවා. ඒ වගේම පන්සිය පනස් ජාතක පොත් වහන්සේත් මම කියවලා තියෙනවා. ධම්ම පදය, මඩොල්දූව, අපේ ගම, දඬු මොනරය, මා බාල කාලේ, උපන්දා සිට, රාවණා පුවත, හැරී පොටර් සහ අස්කාබන්හි සිරකරුවා, ෂර්ලොක් හෝම්ස් කතා මාලාව ඒ වගේ පොත්පත් කියැවීම තුළින් තමයි මම මේ දැනුම ලබා ගත්තේ. මම රාත්‍රි 12 විතර වෙනකම් පොත් කියවනවා. මගේ අම්මා, තාත්තා, මගේ ගුරුවරු මට ඒ සඳහා ගොඩක් උදවු කරනවා. මට නාසා ආයතනයෙන් සහතික 11ක් පිරිනමලා තියෙනවා. ඒ වගේම ඔරායස් වින්ඩර්ස් කියන කණ්ඩායමේ නායකයා හැටියටත් මාව පත්කරගෙන තියෙනවා. ඒත් එක්කම මාව කනිෂ්ඨ සාගර විද්‍යාඥයෙක් ලෙස තෝරා පත්කරලා තියෙනවා. දැනට ලෝකයේ ඉන්න හොඳම කනිෂ්ඨ තාරකා විද්‍යාඥයා හැටියටත් මාව පත්කරලා තියෙනවා. ලෝකයේ ඉන්න විසි තුන්වන තාරකා විද්‍යාඥයා හැටියටත් මාව පත්කරලා ඉන්නවා. ඔවුන් මාව ලොව 23 වැනි හොඳම තාරකා විද්‍යාඥයා බවට තෝරාගත්තා. ඊට අමතරව   මම දැන් තාරකා විද්‍යාව පිළිබඳ පොතක් ලියලා අවසන් කරලා තියෙනවා. ඒ පොතේ සෝදුපත් කියවීම සඳහා අනුර සී.  පෙරේරා තාරකා විද්‍යාඥතුමාට භාරදීලා තියෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ තිබෙන මූලික සිද්ධාන්ත වගේම තාරකා විද්‍යාවේ දැනගත යුතුම කරුණු ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. මේ පොත ලිවීම කළේ මගේම අදහසකට අනුවයි. ඒ සඳහා ආතර් සී. ක්ලාක් මහතාගේ තාරකා විද්‍යා ප්‍රබන්ධ අන්තර් ජාලයෙන් ඒ පිළිබඳව ලබාගත් දැනුම උපයෝගි කර ගත්තා.  ඉදිරියේදී ඒ පොත මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වෙනවා. තාරකා විද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන අයට ඒ පිළිබඳව හැදෑරීම් කරන අයට මේ පොත ඉතාමත් ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා.”

තවමත් හතර වසරේ ඉගෙනුම ලබන ඔජිත් දුලංජන පුතු මේ වසරේ ශිෂ්‍යත්‍ව විභාගයටද මුහුණදීමට සිටින හෙයින් ඒ පිළිබඳව තිබෙන බලාපොරොත්තු පිළිබඳව  විමසූවිට ඔහු කියා සිටියේ ශිෂ්‍යත්‍ව විභාගයේ ලකුණු දෙසීයෙන් දෙසීයම ලබාගැනීම තම අරමුණ බවයි. “මම හැමදාම පන්තියේ පළමුවැනියා. ලකුණු හය සීයෙන් හයසීයම මම ලබාගන්නවා” යැයිද ඒ පුතු වැඩිදුරටත් කීය. අනාගතයේ බලාපොරොත්තුව කවුරුන් වීමටද යන්න මේ පුංචි විද්‍යාඥයාගෙන් අප විමසූවිට ඔහු පැවැසුවේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එහාට තියෙන ග්‍රහවස්තු ගැන නිරීක්‍ෂණ පර්යේෂණ කරන තාරකා විද්‍යාඥයෙක් වීම තම අනාගත බලාපොරොත්තුව බවයි. 

අපගේ මේ සටහනේ කතානායකයා වන ඔජිත් දුලංජන  සිසු දරුවාගේ මවුපියන් වනුයේ පොළොන්නරුව ජයන්තිපුර 23 වැනි සැතපුම් කණුව අංක 698 ලිපිනයේ වෙසෙන  දමයන්ත සිල්වා මහතා සහ ශිරෝමී පැල්පගේ මහත්මියයි. 

ඔවුන්ගේ පවුලේ එකම දරුවා වන මේ හපනාගේ පියා නාවික කාර්මිකයකු ලෙස වසර ගණනාවක් විදේශ රටවල සේවය කර මේ වසරේ සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇත්තේ බරපතළ අසනීපයක් වෙනුවෙන් කරන ලද සැත්කමකින් පසුව බව කියයි. දරුවාගේ මවද රැකියා විරහිතය. මේ නිසා ආර්ථික අමාරුකම්වලටද මුහුණ දෙමින් සිටින බව දරුවාගේ මව අප සමඟ කීවාය. “දැන් කිසිම ආදායම් මාර්ගයක් නෑ. මහත්තයා රැකියාව කරලා උපයා ගත්තු මුදලින් තමයි ජීවත් වෙන්නේ. නමුත්  අනාගතය ගැන ලොකු බයක් තියෙනවා. විශේෂයෙන්ම ඉදිරි කාලයේදී පුතාගේ අධ්‍යාපනයට අවශ්‍ය වියපැහැදම් වෙනුවෙන්.” 

ශිරෝමී මහත්මිය සිය එකම පුතුගේ කුඩා අවධිය පටන් මතකයද අප හමුවේ අවදි කළාය. ඔජිත් දුලංජන දරුවා පෙර පාසලකට යැවිය යුතු වයස එළඹෙත්ම ඔහුගේ මවුපියන් සිය දරුවා යොමුකර ඇත්තේ  ජයන්තිපුර නගරයේ පිහිටි ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පෙර පාසලකටය. දෙවසරකට වැඩි කාලයක් එහි ලද මූලික  දැනුම සහ විදහා දැක්වූ දක්‍ෂතා හේතුවෙන්  තම පුතු පොළොන්නරුව නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ පාසලක්වන  තෝපාවැව මහා විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් කිරීමට හැකිවූ බව  ඒ   දරුවාගේ මවුපියන් ප්‍රකාශ කළහ. තම  දරුවා පාසලට ඇතුළත් කර ගැනීම සඳහා   අයැදුම්පතක් යොමුකර ඉන්  පසුව පැවැති සම්මුඛ පරීක්‍ෂණයට ඉදිරිපත් වූ අවස්ථාවේ අවශ්‍ය ලකුණු ප්‍රමාණය සපුරා නොතිබීම නිසා  මුලින්ම දරුවා භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළ බව ඔවුහු කීහ. ඉන් පසුව පොළොන්නරුව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා වෙත අභියාචනයක් යොමුකර දරුවා පාසලට ඇතුළත් කරගත් අයුරු සඳහන් කළේ මෙලෙසය.

“අපේ පුතා පුංචි කාලේ ඉඳලම හරිම අමුතු දේවල් කළේ. එයා මිදුලේ සෙල්ලම් කරමින් ඉන්නකොට ඩයිනෝසරයන් ලොකුවට බිම ඇඳලා ඒ නම් කියවනවා. ඒ ගැන ලොකු මතකයක් තියෙනවා. මම සෙල්ලම් බඩු ගෙනැවිත් දෙනකොට ඒවත් ගෙනැල්ලා දෙනවා. විද්‍යා සඟරා පොත්පත් ගෙනත් දුන්නා. පුංචි කාලේ ඉඳලම ඒවා කියවන්න හරිම උනන්දුයි. අද වගේම හරි ආසාවෙන් කියවනවා. අපේ පුතා  දැන් පාසලේ දීප්තිමත්ම සිසුවෙක්. නමුත් එදා පළමු ශ්‍රේණියට දරුවව භාර ගන්න බෑ කිව්වා. එයට හේතුව සම්මුඛ පරීක්‍ෂණයේදී ලකුණු  අවශ්‍ය තරම් සපුරා නොතිබීමයි. “සම්මුඛ පරීක්‍ෂණයෙන් අපිට ලකුණු ලැබිලා තිබුණේ ලකුණු 71යි. ඒ ලකුණු ප්‍රමාණය  මදි නිසා දරුවව ඉස්කෝලෙට ගන්න බෑ කිව්වා. පස්සේ අපි මේ පිළිබඳව පොළොන්නරුව  කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමාට අභියාචනයක් ඉදිරිපත් කළා. ඒ වෙනකොටත් මේ දරුවාගේ තිබුණු සුවිශේෂී හැකියාවන් ගැන කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමා දැකලා විශේෂ දක්ෂතා ඇති දරුවෙක් හැටියට පාසලට  ඇතුළත් කර ගන්න කියලා නිර්දේශ කළා. ඒ අනුව තමයි පුතාව ඒ පාසලට ඇතුළත් කර ගත්තේ. පුතා පළමුවැනි ශ්‍රේණියේ ඉඳල මේ දක්වාම පන්තියේ වැඩිම ලකුණු අර ගන්නවා. එයා පළමුවැනි පන්තියේ   ඉගෙනුම ලබන අවධියේ පටන්  විද්‍යා සඟරා පොත්පත්  ආදිය කියැවීමට උනන්දුවක්, ආසාවක් දැක්වූවා. ඒ නිසාම එවැනි පොත්පත් ආදිය දරුවාට ගෙනැවිත් දෙන්නට සැමවිටම කටයුතු කළා.” යැයිද ඇය පැවැසුවාය. 

මෙම සිසු දරුවාගේ පන්ති භාර ගුරුතුමිය වන්නේ  දයා කාන්ති වීරකෝන් මහත්මියයි. පාසලේ අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලටද මෙම දරුවා එකසේ දස්කම් දක්වන බව ඇය අප සමඟ කීවාය. “පන්තියේ අනෙක් දරුවන් අතරේ මේ දරුවා හරිම වෙනස්. තාරකා විද්‍යාව පිළිබඳව බොහෝ දේවල් දරුවා දන්නවා. ඒ දැනුම එයා ලබාගෙන තියෙන්නේ ස්වෝත්සාහයෙන්මයි. විද්‍යා ප්‍රබන්ධ සඟරා ආදිය කියවලා දැනුම ලබාගෙන. මේ පුතා        ඉගෙනුමටත් හරිම   දක්‍ෂයි. විෂය බාහිර අනෙකුත් ක්‍රියාකාරකම්වලටත් ඒ වගේම දක්‍ෂතා දක්වනවා. ඔහුගේ මේ හැකියාවන් තුළ දීප්තිමත් අනාගතයක් තිබෙන බව අපට විශ්වාසයි.”   

ඔජිත් දුලංජන පුතු පවසන පරිදි ඔහු දැනටමත් විද්‍යාඥයෙකි. බොහෝදෙනකු තෝරා නොගන්නා විෂය ක්‍ෂේත්‍රයක් ඔස්සේ යමින් නව ලොව ජය ගැනීමට මේ පුලතිසි පුතු අදිටනින් යුතුව පියවර තබමින් සිටී. අනාගතයේ ඔහු ළංවීමට වෙර දරන තැන පිළිබඳව දැනටමත් ඉලක්කයක් ඇතිකරගෙන තිබේ. එනම් සෞරග්‍රහ මණ්ඩලයෙත් එහි පිහිටි ග්‍රහවස්තු සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කර ඒවා පිළිබඳව පර්යේෂණ කරන තාරකා විද්‍යාඥයකු වීමයි. ඔහු ඒ සඳහා දක්වන උනන්දුව, කැපවීම කෙබ¾දුද යන්න එම පුංචි හපනා සමඟ කළ කතාබහේදී අපට පැහැදිලි විය. දිගු ගමනක් යෑම සඳහා පෙර ගමන් අරඹා තිබෙන ඔජිත් දුලංජන පුතුගේ එම ගමනට ඔවුන්ගේ  පවුලේ දුබල වන ආර්ථිකය බලපානු ඇති බව නිසැකය. එයට හේතුව පියා නැවත රැකියාවක් සඳහා යොමුවීමට නොහැකි තත්ත්වයේ පසුවන රෝගියෙකි.  මවටද රැකියාවක් නොමැත. දුරේක්‍ෂයක් මිලදී ගැනීමට හෝ වත්කමක් නොමැති නිසා තම පුතු දැනට අහස නිරීක්‍ෂණය කරනු ලබන්නේ පියවි ඇසින් යැයි ඒ පුතුගේ මව ශිරෝමි පැල්පගේ  මහත්මිය අප සමඟ කීවාය. 

එහෙයින් ඔවුන් හමුවේ ඇති මෙම අභියෝගයද ජය ගැනීමට ඇවැසි රුකුලක් ලබාදීමට ඇති හැකි අයකුගේ හෝ පිරිසකගේ අවධානය යොමුවුවහොත් ඔජිත් දුලංජන කුඩා පුතුගේ අනාගත තාරකා විද්‍යාඥයකු වීමේ සිහිනය සැබෑ කරගැනීම එතරම් අසීරු නොවනු ඇතිය යන්න අපගේද අදහසයි.