පිල්ලෙයාන් නිදොස් කොට නිදහස්

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පිල්ලෙයාන් නොහොත් සිවනේසේතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් 5 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය අද (13) නියෝග කළේ ය.

අදාළ නඩුව පසුගිය සඳුදා (11) මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී. සුසයිදාසන් මහතා ඉදිරියේදී විභාගයට ගත් අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පැවසුවේ, මෙම නඩුව ඉදිරියට ගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බවය.

ඒ අනුව, කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩුවේ තීන්දුව අද (13) ප්‍රකාශයට පත්කරමින් සැකකරුවන් නිදොස් කොට නිදහස් කළ බව මඩකලපුව අධිකරණ අප වාර්තාකරු සඳහන් කළේ ය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවට අදාළව පිල්ලෙයාන් නොහොත් සිවනේසේතුරෙයි චන්ද්‍රකාන්තන් වසර 4කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අතර පසුගිය වසරේ ජනවාරි මස 24 වන දා ඇප මත මුදා හැර තිබිණි.

මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පසුගිය මහ මැතිවරණයට තරග කළ පිල්ලෙයාන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

තමිල් මක්කල් විඩුතලයි (දෙමළ ජනතා විමුක්ති කොටි පක්ෂයේ) නායකත්වය දරන පිල්ලෙයාන් නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබිණි.

වත්මන් රජයේ මඩකලපුව දිස්ත්‍රික්, සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පිල්ලෙයාන් පත්කරනු ලැබීය.

2005 වසරේ නත්තල් දේව මෙහෙයකට සහභාගී වී සිටි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කළ බවට පිල්ලයාන්ට චෝදනා එල්ල වී තිබිණි.

ටී.එල්. ජව්ෆර්කාන් – මඩකලපුව