හම්බන්තොට ස්විමිං පූල් එකෙන් 2020 ඩොලර් ලක්‍ෂයක් හෙව්වා

විපක්‍ෂය දිගින් දිගටම අපහාස කළ හම්බන්තොට Swimming Pool එකෙන් 2020 වසරේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා “ඉරිදා ලක්බිම” ට ප්‍රකාශ කළේය.

තම රජය එදා රටට විශාල ආර්ථික සම්පතක් වශයෙන් හඳුනාගෙන හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදිකරන විට හම්බන්තොට Swimming Pool එක වශයෙන් හඳුන්වමින් විපක්‍ෂය අපහාස කළ බවත් එසේ අපහාස කළත් 2020 වසරේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂයක ආදායමක් උපයා ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය. 

පසුගිය යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට නොදුන්නා නම් මේ වනවිට හම්බන්තොට වරාය මඟින් අති විශාල ආදායමක් මෙරටට හිමිවන බවත් 2020 එම වරායේ වාර්ෂික ආදායමෙන් එය මැනවින් පෙන්නුම් කෙරෙන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි. කොවිඩ් _ 19 හේතුවෙන් සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් සහ යම් යම් සීමාවන් යටතේ 2020 වසර වෙනුවෙන් හම්බන්තොට වරාය මෙසේ සැලකිය යුතු ආදායමක් උපයා ඇති බවත් තම රජය රට සංවර්ධනය කළේ රටට ආදායම් ලබන ක්‍රම ගැනද අවධානය යොමු කරමින් බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

රාජපක්‍ෂවරුන්ගෙන් පළිගැනීම සඳහා සංවර්ධන ව්‍යාපෘති නිසි පරිදි ඉදිරියට ගෙන යන්නේ නැතිව ඒවා විදේශ රටවලට ලබාදීමට සහ අතරමඟ නතර කිරීමට පසුගිය යහපාලන ආණ්ඩුව ක්‍රියාකිරීම නිසා රටට අතිවිශාල මුදලක් අහිමි වූ බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම නිසා වර්තමාන රජය රට සංවර්ධනය කළ යුතු ආකාරය හා දේශීය සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන එය රටේ ආර්ථිකය ගොඩනැංවීමට යොදන ආකාරය ඉතා හොඳින් හඳුනාගෙන තිබෙන බවත් නව වසර තුළ කොවිඩ් _ 19 පාලනය කිරීමේ අභියෝගයටද සාර්ථකව මුහුණ දෙමින් රට සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.