“ඔව් මම නන්දසේන ගෝඨාභය තමයි” ඒ ජාතියෙන් එනවනම් මට ඒ ජාතියෙන් උත්තර දෙන්නත් පුළුවන්!

බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අම්පාර, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලාහුගල ප්‍රාථමික විදුහලේ පැවති “ගම සමග පිළිසඳර” පස්වන අදියරේ වැඩසටහනට අද (09) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

විපක්ෂයේ සිට හඳුනාගත් ජනතා ගැටළුවලට විසඳුම් දී ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බව ජනාධිපතිවරයා කියා මෙහිදී පැවසීය.

සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයකි. ඊට මැදිහත් වී කලින් රජය කළාත් මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපතිවරයා සඳහන් කරයි. ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ නැතිව සාධාරණව දේශපාලනයේ නිරත වන්නැයි ජනාධිපතිවරයා විපක්ෂයට කියා සිටී.

මහා සංඝරත්නය ඇතුළු ජනතාව ජනාධිපතිවරයා වීමට පෙර සිටි ආරක්ෂක ලේකම්වරයාගේ භූමිකාව අපේක්ෂා කරති. පිත්තල හන්දියේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීහු තමා ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. එය සිදු කළ ත්‍රස්ත නායකයාට මුහුණපෑමට සිදු වූ ඉරණම ජනතාව දනිති. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම් වුවත්  විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බව ජනාධිපතිවරයා කියා සිටියේය.

2020 සැප්තැම්බර් මස 25 වැනි දින පළමු වැඩසටහන බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංවිට ගම්මානයෙන් ආරම්භ විය. වැඩසටහනේ දෙවැන්න මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිඹිලියාකඩ, තෙවැන්න බලංගොඩ ඉඹුල්පේ, රාවණාකන්ද සහ සිව්වැන්න කැබිතිගොල්ලෑව කණුගහවැව ගම්මානවලදී පැවැත්විණ.

අද පිළිසඳර සඳහා අම්පාර නගරයේ සිට කි.මි 24ක් දුරින් පිහිටි උහන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ලාතුගල ගම්මානය තෝරාගෙන තිබිණ. ජන හමුව වෑරැන්කැටගොඩ, ලාතුගල ප්‍රාථමික විද්‍යාල භූමියේ දී පවත්වනු ලැබීය. උහන, දමන, ගලපිටගල, ගොනාගොල්ල, පදියතලාව, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය, බණ්ඩාරදූව, මහකණ්ඩිය, බොක්කබැද්ද ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය දුක්ගැනවිලි ජනාධිපතිවරයාට දැනුම් දීම සඳහා රැස්ව සිටියහ.

ලාතුගල ගම්මානයේ විශාලත්වය වර්ග කි.මි 09කි. ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් දිවි බේරාගෙන පැමිණි පවුල් 15ක පදිංචියත් සමග ජනාවාසය ආරම්භ වී ඇති බව ගම්මු පවසති. පවුල් 231කින් යුත් මෙහි ජන ගහණය 783කි.

වැසි ජලයෙන් සිදු කරන හේන් ගොවිතැන ලාතුගල ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ. ඔවුන් බඩ ඉරිඟු, කවුපි, කුරක්කන්, එළවළු වගාවෙහි නිරත වන අතර,  සේනා දළඹු උවදුරින් ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. වන අලි තර්ජනය ද ඔවුන්ට බලපා ඇති ප්‍රධාන ගැටළුවකි.