නව කොරෝනා වෛරසය චීනය තුළ තවදුරටත් ඉහළට.. පෙර සූදානම් සහ ප්‍රතිචාර සැලැස්මට ඩොලර් මිලියන 675ක්..

නව කොරෝනා වයිරස් අවදානම වැළැක්වීම සදහා වන ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 675 ක් අවශ්‍ය බවත් අවදානමට ලක්විය හැකි රටවල් ආරක්ෂා කිරීම වෙනුවෙන් හදිසි සහාය අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇත.

ගෝලීය වශයෙන් පැතිර යම්න් පවතින නව කොරෝනා වෛරසය (2019-nCoV) පැතිර යාම වැළැක්වීම සඳහා; ප්‍රමාණවත් සෞඛ්‍ය සේවා පද්ධති නොමැති රටවල් ආරක්ෂා කිරීම සඳහා; සකස් කර ඇති ගෝලීය පෙර සුදානම් සහ හදිසි ප්‍රතිචාර සැලැස්ම ඉදිරි තෙමසක කාලය තුළ (පෙබරවාරී සිට අප්‍රේල් දක්වා) ක්‍රියාත්මක කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 675 ක මුදලක් වැය වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇත.

නව කොරෝනා වෛරස් රෝගය හදුනා ගැනීමට තවමත් ක්‍රමවේදයක් නොමැති රටවල් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධනොම් (Dr Tedros Adhanom) මහතා පෙන්වා දී ඇත. ගෝලීය වශයෙන් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සදහා වෛරසය වැළඳී ඇති පුද්ගලයින් හඳුනා ගැනීම, රෝග විනිශ්චය කිරීම සහ රැකබලා ගැනීම, රෝග ව්‍යාප්තිය වැළැක්වීම සහ සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් සෞඛ්‍ය සේවා පද්ධති නොමැති රටවල් සඳහා හදිසි සහාය අවශ්‍ය බවත් ඒ මහතා පෙන්වා දී ඇත.

මිනිසාගෙන් මිනිසාට කොරෝනා වෛරස් සම්ප්‍රේෂණය කිරීම සීමා කිරීම, පාලනය කළ නොහැකි ආකාරයෙන් රෝග ව්‍යාප්තිය සිදුවුවහොත් වඩාත් අවදානමට ලක්විය හැකි රටවල; රෝගීන් කලින් හඳුනා ගැනීම, හුදකලා කිරීම සහ රැකබලා ගැනීම; තොරතුරු සන්නිවේදනය කිරීම; සමාජ හා ආර්ථික බලපෑම අවම කිරීම; සතුන්ගෙන් වෛරස් පැතිරීම අඩු කිරීම සදහා ජාත්‍යන්තර සම්බන්ධීකරණය හා මෙහෙයුම්වලට සහාය දීම; කොරෝනා වෛරස් අවදානම පිළිබදව ඒ ඒ රටවල පෙර සූදානම සහ ප්‍රතිචාර මෙහෙයුම් වැඩි කිරීම; පර්යේෂණ හා නව්‍යකරණ වේගවත් කිරීම මෙම ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කිරීම තුළින් බලාපොරෝත්තු වේ.

වෛරසය පාලනය කිරීම සදහා වන ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලැස්මෙහි සඳහන් කර ඇති පරිදි, නව කොරෝනා වෛරස් රෝගය ව්‍ය්‍යප්ත වීම චීනය තුළ ඉතා ඉහළ අවදානමක් පවතින අතර කලාපීය හා ගෝලීය වශයෙන් ඉහළ අවදානමක් පවතී. රෝග ව්‍යාප්තිය වැළැක්වීම සදහා ජාතික වශයෙන් පවතින පෙර සූදානම සහ ප්‍රතිචාර ක්‍රියාමාර්ගවල පවතින ඵලදායීතා මට්ටම් ඇතුළු සාධක මත අවදානම් තක්සේරුව තීරණය වනු ඇත. එහෙයින් ගෝලීය වශයෙන් රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම සදහා ජාතික වශයෙන් ගෙන ඇති උපාය මාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලසුම් ඉමහත් බලපෑමක් ඇත කරනු ඇත.

කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (08) නිකුත් කරන ලද තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 34,276 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 3,419 ක් වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. පෙබරවාරී 07 දින නිකුත් කරන ලද තත්ව වාර්තාවට සාපේක්ෂව රෝගය ව්‍යප්තවීමේ ප්‍රවනතාව සළකා බැලීමේ දී 10.8% ක් දක්වා යම් අඩු වීමක් වාර්තා වී ඇත. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 34,598 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත‍. නව නව කොරෝනා ව්‍යාප්තිය සළකා බලනවිට 99.23% ප්‍රමාණයකි. ලෝකයේ අනෙකුත් රටවලින් වාර්තා වන සංඛ්‍යාව 0.8% තරම් අඩු අගයක් වේ. කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 6,101 ක ගේ තත්වය බරපතල බවත් කෙරෝනා වෛරස් තත්වය හේතුවෙන් මරණ 723 ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.

එසේම වර්තමානය වන විට ලොව පුරා රටවල් 25 ක කොරෝනා වෛරස් රෝගය වැළදුන රෝගීන් වාර්තා වී ඇති බව එම වාර්තාවේ දක්වා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව අනුව රෝග අවදානම පිළිබද සළකා බැලීමේ දී චීනය ඉතා ඉහළ අවදානම් මට්මක පවතින අතර කළාපීය සහ ගෝලීය වශයෙන් කොරෝනා නව වෛරස් රෝග අවදානම තවදුරටත් ඉහළ මට්ටම පවතින බව එම වාර්තාවේ සදහන් කර ඇත. මේ පිළිබද වැඩි විස්තර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.