සෙවිලි තහඩු නඩුවෙන් බැසිල් රාජපක්ෂගේ ඇප කොන්දේසි ඉවතට

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම හා මාස 03 කට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට පනවා තිබූ ඇප කොන්දේසිය ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඊයේ  (23 ) නියෝග කර තිබේ.

2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991 ක් වැය කර දිවිනැඟුම සහනාධාර ලාභීන්ට සෙවිලි තහඩු බෙදාදීමෙන් එම මුදල සාවද්‍ය සාපරාධී පරිහරණය ඇතුළු චෝදනා පහක් යටතේ නීතිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ (23) කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කළ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එම නියෝග නිකුත් කළේය.

සිය සේවාදායකයින්ට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය මේ වනවිට අවසන් වී ඇති බැවින් එකී චෝදනා සනාථ කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කොට නොමැති බවට නිගමනය කර විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ගේ නීතිඥවරු මහාධිකරණ හමුවේ ලිඛිත දේශන ගොනු කළහ.

අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 200 (1) වගන්තිය යටතේ විත්තිය විසින් ගොනු කර ඇති එම ඉල්ලීම් සලකා බලා නීතිපතිවරයාගේ් නිගමනය අධිකරණයට දැනුම් දීමට කල් ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා එම නඩුව හෙට (25 දා) යළි කැඳවීමට ද විනිසුරුවරයා එහිදී දින නියම කළේය.

පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇතැයි නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර ඇති එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්ධුල තිලකසිරි යන මහත්වරුන් නම් කොට තිබිණි.

බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාම ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.