ලංකාව වෙනුවෙන් ජපන් අගමැතිට ලියුම් ලියන්න ඡන්ද 65,000ක් ගත්ත පාඨලී කවුද?

පාඨලීට දුක හිතිලා. රිදිලා. ඉවසන්නම බැරි තැන තැන පාඨලී ජපන් අගමැතිට පෙම් හසුනක් යවලා. වාර්තා වන්නේ එලෙසයි. ලියන්න ඇත්තේ කඳුළු වගුරමින් යැයි අනුමාන කල හැක. දුකට හේතුව පාඨලී මෙගාපොලිස් ඇමති කාලේ ජපාන සමග ගිවිසගත් ව්‍යාපෘතියක් (Light Rail Transit (LRT) Project). පොදුජන පෙරමුණ ආණ්ඩුව විසින් නවතා දැමීමයි.

සහනදායි ණය ගැනත්, ව්‍යාපෘතියේ වාසි ගැනත් පාඨලී බොහෝ දේ පවසල තියෙනවා. ජපන් අගමැතිට මතක් කරලා දෙන්න වගේ. සමහර විට ජපනුන්ගේ පරිත්‍යාගශීලීකම් ජපනුන්ටත් වඩා පාඨලී දන්නවා වෙන්න පුළුවන්.

කෙසේ වෙතත්, LRT ප්‍රොජෙක්ට් එක නැවැත්තුවේ ඇයි, විකල්පය කුමක්ද, පොරොන්දු වූ සහන මදිද, වෙන රටක් ඊට වඩා සහනදායී කොන්දේසි යටතේ ඊට වඩා විශාල ආධාර පැකේජයක් දෙනවද, එහෙම නම් ඒ ප්‍රොජෙක්ට් එක ජපන් LRT ප්‍රොජෙක්ට් එකට වඩා සුපිරිද යනාදී ප්‍රශ්න වලට උත්තර බඳින්න ආණ්ඩුවට සිද්ද වෙනවා.

ඒත් පාඨලීටත් උත්තර දෙන්න ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න අහන්න කලින් කියන්න දෙයක් තියෙනවා.

LRT ප්‍රොජෙක්ට් එක නැවැත්වීම හේතුවෙන් පත්වුවා යැයි සිතන අපහසුතාවයක් පිළිබඳව පාඨලී ජපන් අගමැතිගෙන් සමාව ඉල්ලන එක පුද්ගලික කාරණයක්. ඒත් පාඨලී සමාව ඉල්ලන්නේ සමස්ත ජපන් ජනතාවෙන්. ඒ විතරක් නෙවෙයි, සමාව ඉල්ලන්නේ සමස්ත ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන්!

සමස්ත ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් සමාව ඉල්ලන්නවත්, සුභ පතන්නවත් වෙන මොනවහරි කරන්නවත් පාඨලීට වරමක් දුන්නේ කව්ද? බලහත්කාරයෙන් ජනවරම් තමන් සතු කරන්නේ තක්කඩියෙක් නැත්තම් මෝඩයෙක්. පාඨලී මෝඩයෙක් නොවේ.

2020 මහා මැතිවරණයේ පාඨලී තරඟ කලේ සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට. ලැබුනේ ඡන්ද 65,574යි. සජිත්ට 305,744යි. මරික්කාර්ට 96,916යි. මජිබුර් රහුමාන්ට 87,589යි. හර්ෂට 82,845යි. පාඨලීට (යලිත් කියන්නම්) 65,574යි. කොළඹ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 1,263,810යි.

පාඨලීට ලැබුනේ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 5%යි. යලිත් කියන්නම්. පාඨලී මෝඩයෙක් නොවේ.

සමාව අයැදීම ගැන කතා කරමු. ප්‍රශ්න සඳහා කාලයක් ගමු.

පාඨලී කියන්නේ ජනතාව විසින් අන්ත පරාජයකට පත්කරපු යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමති කෙනෙක්. රනිල්ගේ එජාපය ප්‍රධාන දේශපාලන සන්ධානයේ ප්‍රධාන ලේකම් පාඨලී. ජනපති සිරිසේන ව්‍යවස්ථා සභාවට තමන්ගේ නියෝජිතයා ලෙස නම් කලේ පාඨලීව. යහපාලනය හේතුවෙන් සිදුවුන සියලු අවුල් වලට පාඨලී වගඋත්තරකරුවෙක් වෙන්නේ එබැවින්.

මානව හිමිකම් සභාවේ 30/1 යෝජනාව හරහා රටේ ස්වෛරීයභාවය දිය කිරීම ගැන පාඨලී සමාව ඉල්ලා නැත.

19වන ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක බලතල අවුලෙන් අවුලට යැවීම ගැන පාඨලී සමාව ඉල්ලා නැත.

13වන ව්‍යවස්ථා සංශෝධනය බෙදුම්වාදයට පාර කපපු බව පාඨලී දනී. රට බෙදීමට තිබුන දුර්වල නමුත් එකම බාධකය විධායක ජනපති ධූරය බවත් පාඨලී දනී. ඒ කෙසේ වෙතත් පාඨලී සහ ඔහුගේ යහපාලන සගයින් එම බාධකය ඉවත් කිරීමට කටයුතු කලෝය. බෙදුම්වාදයේ තවත් ඉදිරි සටන් වටයකට ඒ හරහා පදනම වැටින. මේ ගැන පාඨලී සමාව ඉල්ලා නැත.

බැඳුම්කර මගඩිය — පාඨලී සමාව ඉල්ලා නැත.

යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාව නැත්තටම නැති කරන්න උත්සාහ කල බව පාඨලී දනී. විධායක බලතල තමන්ගේ දේශපාලන ස්වාමියා වූ රනිල් වික්‍රමසිංහට ලබා ගැනීම අරමුණු කරමින් ගෙනා 19වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් බොලේ පාස් කරන විධායක ද්විත්වයක් නිර්මාණය වීමෙන් තත්ත්වය වඩා බරපතල විය. ප්‍රතිඵලය පාස්කු ඉරිදා ප්‍රහාරයයි. මේ ගැන පාඨලී සමාව ඉල්ලලා නැත.

මේ කිසි දෙයක් ගැන පාඨලීට වේදනාවක් නැත. ඒත් ජපානයේ මිනිස්සුන්ට ඇති වී ඇතැයි අනුමාන කරනට සිත්තවුලක් ගැන පාඨලීට ඇත්තේ පුදුම වේදනාවකි. තමන්ට කිසිම වරමක් නුදුන් ලක්ෂ 123කට අධික ජනතාවක් වෙනුවෙන් වෙන රටකින් සමාව ඉල්ලීම පාඨලීට වැදගත් වී ඇත. පෝට් සිටී ව්‍යාපෘතියට පාඨලීගේ දේශපාලන සගයින් බැන වදිද්දී පාඨලී නිහඬව සිටියේය. පසුව පෝට් සිටී ව්‍යාපෘතිය වඩා අවාසිදායක කොන්දේසි යටතේ වැළඳගනිද්දී පාඨලී නිහඬව සිටියේය.

‘බැන්නට සොරී, වෙරි සොරී, සමස්ත ශ්‍රී ලංකාවාසි ජනතාව වෙනුවෙන් සොරි, වෙරි සොරි,’ කියා චීනේ ජනතාවට ලව් ලෙටර් ලිව්වේ නැත. ‘පෝට් සිටිය ගැන අපි කිව්වේ පට්ට බොරු… සොරී, වෙරිම සොරී,’ කියා සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ලව් ලෙටර් ලියා සමාව ඉල්ලුවේ නැත.

පාඨලී චම්පික රණවක. සොරි තමයි.