ලේඛකාධිකාරි හිමිවරුන් 20 ගැන කළ ප්‍රකාශය මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරති!

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ ලේඛකාධිකාරි හිමියන් හා අමරපුර මහ සංඝ සභාවේ මහ ලේඛකාධිකාරි හිමියන් පෙරේදා (12දා) පැවැත්වු මාධ්‍ය හමුව හා ඒකාබද්ධ ප්‍රකාශය ගැන තමන් වහන්සේලා කිසිවක් නොදන්නා බවත් වගකීම භාර නොගන්නා බවත් එම නිකායන් දෙකේ මහ නාහිමිවරු ඊයේ සඳහන් කර සිටියහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක නාපානේ පේමසිරි හිමිපාණන් හා ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ වැඩබලන උත්තරීතර මහා නායක ගන්තුනේ අස්සජි හිමිපාණෝ එසේ සඳහන් කරති.

රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අති පූජ්‍ය නාපාන පේමසිරි නායක හිමිපාණන් වහන්සේ අදහස් දක්වමින් මෙසේ සඳහන් කරති.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ කතිකාවතේ සඳහන් වෙනවා රාමඤ්ඤ නිකායක භික්ෂුන් වහන්සේලා වශයෙන් දේශපාලනමය වැඩවලට සම්බන්ධ නොවිය යුතුයි. යම්කිසි අවස්ථාවක රාමඤ්ඤ නිකායේ භික්ෂුන් වහන්සේ දේශපාලනික කටයුතුවලට සම්බන්ධවීම අයෝග්‍ය බව සිතා ඒවායින් අෑත්ව නිකායේ කතිකාවතට ගෞරව කරමින් නිකායේ සම්පදාය ආරක්ෂා කරනවා නම් එය තමයි වැදගත්.

“විශේෂයෙන් රජය සම්බන්ධ කටයුතුවලදී භික්ෂුන්් වහන්සේ මනා අවබෝධයක් ඇතිව සම්බන්ධ විය යුතුයි. රජය කරන වැඩ වෙන දෙයක්, දේශපාලනය වෙන දෙයක්. දෙක එකට සම්මිශ්‍රණය කරන්න බැහැ. පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා රාමඤ්ඤ නිකායේ භික්ෂුන් වහන්සේලා වශයෙන් නිකායේ කතිකාවතට අනුව ප්‍රතිපත්ති ගරුකව සෑම භික්ෂුන්වහන්සේ නමක්ම මනාසේ අවබෝධ කරගෙන වැඩවාසය කළ යුතු බව ප්‍රකාශ කරන්න කැමැතියි.

“අපි ප්‍රධාන වශයෙන්ම අපේ කටයුතුවලදී මහජනයා සම්බන්ධව ජනතාව සම්බන්ධව එකඟතාවයෙන් යුතුව කටයුතු කරන අවස්ථාවලදී  මනා අවබෝධයෙන් යුක්තව සමාජයේ යහපත පිණිස වැඩකටයුතු කිරිමට උත්සහවන්ත වෙන්න ඕනෑ”

“ඒ බව රාමඤ්ඤ නිකායක සියලු භික්ෂුන් වහන්සේලා සිතා කල්පනා කර එසේ ජීවිතය ගත කළ යුතු බවත්, අවබෝධයෙන් යුක්තව වැඩසිටින සියලු භික්සුන් වහන්සේලාට කරුණාවෙන් දැනුම් දෙනවා”

“යම් යම් අය ප්‍රකාශ කරනවා අතිපූජ්‍ය මහනායක ස්වාමීන් වහන්සේලාගේ අවධානය ලැබෙනවා. උන්වහන්සේ දන්නවා, උන්වහන්සේට මේ පිළිබඳව අවබෝධයක් තියෙනවා ආදිය සමහරු ප්‍රකාශ කරනවා. ඒ කරන ප්‍රකාශ මාත් පිළිගන්න කැමැති නැහැ. මේ ලෝකයේ ඔක්කොම කියන දේවල් පිළිගන්න කෙනෙක් නෙමෙයි මං”

“ධර්මයට නිකායික සම්ප්‍රදායට කවුරු කිව්වත් කොහොම කිව්වත් භාරගන්නේ. එසේ නැතිව විනය පොතට කතිකාවතට වෙනස්ව කෙනෙක් යම් ප්‍රකාශයක් කරමින් මේවා මහා නායක හිමියන් දන්නවාය ප්‍රකාශ කරනවාය ආදී වශයෙන් ප්‍රකාශ කළාට ඒවා භාරගන්න මා කැමැති නැති බවත් භාරනොගන්නා බවත් ප්‍රකාශ කරනවා”

“මේ ශාරිරික හේතු නිසා මා වැඩිපුර ගමන් යන්නේ නැහැ කොහෙවත්. ඒ නිසා ඔය ඊයේ වුණා කියන එක මා දන්නේ නැහැ. යම්කිසි රැස්වීමක් නිකාය පිළිබඳ කෙරේ නම් විශේෂයෙන්ම මා දැනුවත් විය යුතුයිනේ.  නැත්නම් එදාට ඉන්න මහ නායක හිමියන් ඒවා දැනගත යුතුයි. මහ නායක හිමියන් දන්නේ නැතිව ප්‍රකාශ කිරීම යෝග්‍ය නැති බව ලේකම්වරුන් දැනගත යුතුයි. අනිත් අයත් දැනගත යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන විසිවැනි සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ නියෝජිත සංඝ සභාව හෝ පාලක සංඝ සභාව හෝ විධායක සභාව කිසිදු සාකච්ඡාවක් හෝ ගුණ ‍ෙදාස් විවේචනයක් හෝ මෙතෙක් කර නැතැයි ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ වැඩබලන උත්තරිතර මහනායක හා එහි සංඝ සභාවේ සභාපති පූජ්‍ය ගන්තුනේ අස්සජි මහ නායක හිමියෝ සඳහන් කරති.

විධායකය දැනට වඩා ශක්තිමත් විය යුතුය යන්න තම පෞද්ගලික අදහස යැයිද සංවර්ධනාත්මක විවේචනවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් හොඳින් ඇහුම්කන් දිය යුතු බවද උන්වහනසේ සඳහන් කරති.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක්‍රිය කළ යුතු බවට ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමගී්‍ර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරි පල්ලේකන්දේ රතනසාර අනු නාහිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා ලේඛකාධිකාරි අත්තගනේ ශාසනරතන හිමියන් පෙරේදා  (12) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම තමන් වහන්සේ අනුමත නොකරන බවද “ විස්ස ගැන අමරපුර මතය” මැයෙන් ගන්තුනේ අස්සජි මහ නාහිමියන් නිකුත් කර ඇති ප්‍රකාශයේ දැක්වේ. එම ප්‍රකාශයේ මෙසේද සඳහන් කර තිබේ.

ඵම සංශෝධනයේ ගුණ ‍ෙදාස් විවේචනය කිරීමට නම් එහි එක් එක් වගන්තියක් පිළිබඳව වෙන වෙනම අධ්‍යයනය කරන්නට ඕනෑ. පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සමහර වගන්ති යළි සලකා බලන බව රජය පවසනවා.  ඒවා මොනවා දැයි අප දන්නේ නැහැ. විස්සට එරෙහිව උසාවියට ඉදිරිපත් වූ පෙත්සම් විභාගයේ නිගමන පිළිබඳවද අප දන්නේ නෑ. මතයක් ප්‍රකාශ කිරීමේදී ඒවා පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයි කියා මා හිතනවා” යැයිද උන්වහන්සේ පැවැසීය.