රිෂාඩ් බදියුදීන් සමග වව්නියාවේ සිදුවූ හමුව ගැන ඇමැති චමල්ගෙන් නිවේදනයක්!

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය, නව ශ්‍රවණාගාරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (1) පැවැති අතර ඊට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාද එක්ව සිටීම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ  දැඩි කථාබහකට ලක්ව තිබෙනවා.

සාමාන්‍යයෙන් ඕනෑම දිස්ත්‍රික්කයක පරිපාලන ගොඩනැගිල්ලක් විවෘත කරන අවස්ථාවක ඒ පළාතේ දේශපාලන නියෝජිතයන් සහභාගි වන බව සාමාන්‍ය සිදුවීමක් වුවත්, පසුගිය කාලයේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් හිටපු ඇමති රිෂාඩ් පිළිඅබඳව සඳහන් කල යම් යම් දේවල් නිසා මෙම හමුවීම උණුසුම් වී තිබෙනවා..

මෙම උත්සවය සඳහා ඇමති රිෂාඩ් පමණක් නොව ආණ්ඩුකාරවරු වන අනුරාධා යහම්පත්, මහීපාල හේරත්, පී.එච්.එම්. චාර්ල්ස් යන මහත්ම මහත්මීන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන කාදර් මස්තාන්, සෙල්වම් අඩ්ක්කලනාදන්ද , ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යන මහත්වරු ඇතළු පිරිසක් සහභාගී වී සිටිය අතර මෙම උණුසුම් කථා බහ නිසාම මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ඇමති චමල් රාජපක්ෂ විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කල තිබෙනවා.

එම නිවේදනය පහතින්,

නිවේදනය

මා රාජ්‍ය අමාත්‍ය ධූරය දරන අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ පරිපාලනයට අදාළ රාජ්‍ය හා මහජන ගැටළු පිළිබඳව උතුරු හා නැගෙනහිර පළාත් වල ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම මහජන නියෝජිතයන් ද සමග වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (01) දින පැවති සාකච්ඡාව අතරතුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අලුතින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කිරීම ද සිදුවුණි.

ඊට එක් වූ හිටපු අමාත්‍ය සහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වන රිෂාඩ් බදූර්දීන් මහතාගේ සහභාගිත්වය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ යම් කතාබහක් නිර්මාණය වී ඇත.

විපක්ෂය නියෝජනය කරන ප්‍රදේශයේ මන්ත්‍රිවරයා ලෙස එම අවස්ථාවට සහභාගී වුවද එය ආණ්ඩු පක්ෂය සමග එකතු වීමකට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි සංශෝධනයන් සඳහා එම පක්ෂයේ සහාය ලබා ගැනීමකට හෝ පියවරක් නොවන බව අප රජය කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ලබා දුන් මහජනතාව වෙත දැනුම් දෙනු කැමැත්තෙමි.