සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර කළ යුතු දෙයක් ගැන ජනපතිගෙන් උපදෙස්!

සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර ඊට අදාළ භූමිය පිළිබඳ පූර්ව අනුමැතිය ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදීය.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී අවධාරණය කළේ, ඉදිකිරීම් වැඩට කිසිදු බාධාවක් සහ ප්‍රමාදයක් ඇතිවීමට ඉඩ නොතබා මාර්ග ඉදිකිරීම් අධීක්ෂණය රජය සහ කොන්ත්‍රාත්කරුවන් යන දෙපාර්ශ්වයෙන්ම සිදුවිය යුතු බවය.

එමෙන්ම මාර්ග ඉදිකිරීමේදී යොදාගන්නා පස්, ගල්, වැලි අවශ්‍ය ප්‍රමාණය සපයාදීමේ වගකීම සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරෙන බවත් සම්පත් සම්පාදනය සඳහා පරිසර, වනජීවී, වන සංරක්ෂණ හා පුරාවිද්‍යා ඇතුළු සියලු ආයතන දිස්ත්‍රික් මට්ටමින් රැස්ව පූර්ව අනුමැතිය දිය යුතු බවත් ජනාධිපතිවරයා සාකච්ඡාවේදී අවධාරණය කළේය.

ප්‍රධාන මාර්ග දෙපස විවිධ වර්ගවල පැළ මිලියන 2ක් රෝපණය කිරීමටද එහිදී තීරණය කෙරුණු අතර ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ, සියලු ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාව මත වාහන නවතා තැබීම සම්පූර්ණයෙන් නතර කරන ලෙසය.

මේ අතර ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අද (16) දහවල් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ක්‍රීඩා සංගම් නියෝජිතයන් මෙන්ම ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද සහභාගි විය.

සියලු දිස්ත්‍රික්කවල පාසල්වල ක්‍රීඩා පිටි නඩත්තුව සඳහා වෙනම ඒකකයක් ස්ථාපනය කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන් අතර දිවයිනේ සියලු ක්‍රීඩා පිටි තෙමසක් ඇතුළත පවිත්‍ර කරන්නැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම කොළඹ ටොරින්ටන් මාවතේ පිහිටි ජාතික ක්‍රීඩා විද්‍යායතනය දියගම ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රය සමග බද්ධ කොට අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ක්‍රීඩා ශ්‍රේණිගත කර අන්තර්ජාතික තරග සඳහා යොමු කළ හැකි පිරිසක් පුහුණු කි‍රීමේ වැදගත්කම සාකච්ඡාවට එක්වෙමින් ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර මහතා පෙන්වා දී තිබේ.