අගමැතිතුමා පාර්ලිමේන්තුවේ ඔන්ලයින් අයදුම්පත පුරවා සිය තොරතුරු ලබාදෙයි!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) අරලියගහ මන්දිරයේදී සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් සුළු මෙ‍ාහොතකට පසු පාර්ලිමේනතුව විසින් මන්ත්‍රිවරුන් සඳහා සකස් කර ඇති ඔන්ලයින් අයදුම්පත පුරවා සිය ජීවදත්ත තොරතුරු පාර්ලිමේන්තු මහ ලෙකම් කාර්යාලය වෙත ලබා දෙනු ලැබුවා.

අග්‍රාමාත්‍යවරයා විසින් ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කළ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක, සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

අගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රිවරුන් ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් (Online Registration System) පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කරනු ලැබුවේ අනෙකුත් මන්ත්‍රිවරුන්ට ඔන්ලයින් ක්‍රමයට තොරතුරු එවීම සඳහා මගපෙන්වීමක් ලබා දෙමිනි.

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව තුළ මේ වන විට ක්‍රියාත්මකව පවතින තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ තොරතුරු ලබා ගැනීම සිදු කෙරෙන අතර එහිදී මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවට නොපැමිණ තම ඡන්ද කොට්ඨාශ වල සිටිමින්ම මෙම කටයුත්ත සිදුකිරීමට හැකියාව ලැබේ.