උවිදු විජේවීර ගැන බලගතු කතාබහක්.. ඒඩ්ස් රෝගයට පෙන්වා දුන් විසදුමට පලමු තැන..

අපේ දරුවන් සිහින දකින්නේ මේ පොළොව අතහැර ‘සුපිරි රටකට’ යාමට බවත් ඊට හේතුව අද වන විට ඔවුන්ගේ සිහින පැළවෙන පොළොවක් ඔවුන්ට අහිමි වී ඇති නිසා බවත් පෙන්වා දෙන විමල් වීරවංශ මහතා, දරුවන්ගේ සිහින පැළවෙන පොළොවක් බවට මේ පොළොව පත් කළ යුතු බවත් එය කළ හැක්කේ නිස්සරණාධ්‍යාශයෙන් වැඩ කළ හැකි, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කළ හැකි ගෝඨාභය රාජපක්ෂයන් වැනි නායකයකුට පමණක් බවත් පෙන්වා දුන්නේය.

කොටිකාවත්තේ ස.ණ.ස ශාලාවේ පැවැති ‘පෑලවිය 2019 : ජේ්‍යෂ්ඨ පුරවැසි සැමරුමට’ එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘තරඟකාරීත්වය සුසර කිරීම’

“ලෝකයේ බලවත් රාජ්‍යයන් අද සෘජු ආක්‍රමණයන් සිදු නොකළත් සම්පත් බහුල, පිහිටීමේ වැදගත්කමින් යුත් රාජ්‍යයන් තම ගොදුරු බවට පත්කර ගැනීමේ විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඉන් එකක් තමයි එවැනි රටවල සමාජයෙහි සුවිශේෂීතා, විශේෂයෙන් සංස්කෘතික හර පද්ධතීන්වල සුවිශේෂීතා හඳුනා ගනිමින් ඒවා බිඳ දැමීමට කටයුතු කිරීම. එහිදී එම රටවල සමාජයෙහි අද දවසේ මතුව ඇති නරක ප්‍රවණතාවන් යොදා ගන්නවා. ඔබ හැමදෙනාම දන්නවා, අද අපේ සමාජය තුළ විශාල තරගකාරීත්වයක් තිබෙන බව. මෙවැනි තත්ත්වයක් තුළ බලවත් රාජ්‍යයන් සිදු කරන්නේ එකී තරගකාරීත්වය ‘සුසර’ කිරීම. එහි ප්‍රතිඵලයක් වන්නේ අප වැනි සමාජයන්හි සංස්කෘතික හර පද්ධතීන් බිඳ වැටී ‘හිත්පිත්’ නැති සමාජයක් බිහි වීමයි. එවැනි සමාජයක වෙසෙන ජනතාව බලවත් රාජ්‍යයන්ට තමන්ගේ ගොදුරු බවට පත්කර ගැනීමට පහසුයි.

‘500 වසරක් සුද්දන්ගෙන් රැකගත් උරුමය’

අප සමාජය පවතින්නේ ථේරවාදී බුදුදහම මත ගොඩනැගුණු මහා සංස්කෘතියක් පදනම් කරගෙනයි. මේ බලගතු රාජ්‍යයන්ගෙන් හා අප වැනි රටවල සිටින ඔවුන්ගේ දේශීය කුලී සේනාංක වෙතින් සෘජුවත් වක්‍රවත් එම මහා සංස්කෘතික මූලයන්ට පහර එල්ල වෙමින් තිබෙනවා. මේ සංස්කෘතික මූලයන් නිසා තමයි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යටත් විජිතවාදීන්ට අපේ සමාජය කණපිට හැරවීමට බැරිවුණේ. ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන්ට වසර විස්සක් තුළ ලතින් ඇමරිකාව සංස්කෘතිකමය වශයෙන් තම ග්‍රහණයට ගත හැකි වුණා. ස්පාඤ්ඤ භාෂාව කතා කරන, කිතුදහම අදහන පිරිසක් බවට ලතින් ඇමරිකානුවන් පත්තු වුණා. නමුත් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යටත්විජිතවාදීන්ට අපේ සංස්කෘතික උරුමයන් බිඳ දැමීමට නොහැකි වුණා. අවුරුදු 500 තිස්සේ ඔවුන් උත්සාහ කළේ මේ ථේරවාදී බුදුදහම මත ගොඩනැගුණු අපේ මහා සංස්කෘතික උරුමය වනසා දමන්නයි. ඔවුන්ගේ ආගම සහිත සංස්කෘතික අනන්‍යතාව අපේ සමාජය තුළ පැළ කරන්නයි. නමුත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. එදා ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් සොයා බැලුවා මීට හේතුව කුමක්ද, කියලා. ‘කහකඩ හමුදාව’ නිසා මේ ජන සමාජය තමන්ට වුවමනා ආකාරයට මෙහෙයවා ගන්න බැහැ, කියා පසුව ඔවුන් එංගලන්තයේ සිටි සුදු අධිරාජ්‍යවාදීන්ටත් දන්වා යැව්වා. ‘කහකඩ හමුදාව’ ලෙස එදා හෙන්රි බවුන්ග්රිග් ආණ්ඩුකාරයා විසින් හැඳින්වූයේ අපේ මහා සංඝරත්නයි. මහා සංඝරත්නය ථේරවාදී බුදුදහම මුල් කොටගත් සංස්කෘතික හර පද්ධතීන් රැක ගැනීමට එදා නායකත්වය දුන්නා.

‘බෝධිය සෙවණේ රැකවරණය’

සුද්දන් අද අපට සංහිඳියාව ගැන කියා දීමට හදනවා. ථේරවාදී බුදුදහම මත ගොඩනැගුණු අපේ මහා සංස්කෘතිය ‘මහා බෝධි වෘක්ෂයක්’ වගේ. ඒ බෝධිය සෙවණේ දෙමළ, මුස්ලිම් ඇතුළු සුළු ජාතික පිරිස්වල සංස්කෘතික අනන්‍යතාවන් හොඳින් රැකුණා. එදා පෘතුගීසි යුගයේ කිතුදහම වැළඳගත් පිරිස්වලට ලන්දේසි පාලකයන් දේව මෙහෙයන්වල යෙදීමට ඉඩ දුන්නේ නැහැ. එවිට ඒ පිරිසට පන්සලේ දොරටුව විවර වුණා. එමෙන්ම ඉංග්‍රීසි පාලන සමයේ ඉස්ලාම් භක්තිකයන්ට යාඥාවන් කිරීමට තහංචි දමන විට ද පන්සලේ දොරටුව විවර වුණා. එමෙන්ම මේ බෝධිය සෙවණේ සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් බෞද්ධ, කිතුණු, ඉස්ලාම් ආගම් අදහමින් සැබෑ සංහිදියාවේ අරුත වටහාගෙන ජීවත් වුණා. අද අපට සුද්දා සංහිඳියාව ගැන කියා දීමට හදනවා. ඉංග්‍රීසීන් එදා ස්වදේශික ජනයාගේ ගෙල මතට කඩුව එල්ල කරමින් තමයි ඔවුන්ගේ ආගම බලහත්කාරීව පතුරුවා හැරීමට උත්සාහ කළේ. සැබෑ සංහිඳියාව මේ උතුම් බෝධිය සෙවණේ සැමදා තිබුණා. ඒ නිසා භූගෝලීය බෙදුම්වාදයට හෝ සමාජ බෙදුම්වාදයට අපේ සමාජය තුළ ඉඩ තිබුණේ නැහැ. එවැනි තත්ත්වයක් තුළයි මේ බලවත් රාජ්‍යයන් බෙදුම්වාදී ත්‍රස්තවාදයක් අප රට තුළ නිර්මාණය කරවූයේ. බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය වගේම අද වහාබ් අන්තවාදය හා බැඳුණු සහරාන්ලාගේ ත්‍රස්තවාදයත් මේ බටහිර බලවතුන්ගේ උපායමාර්ගික මැදිහත්වීම තුළ සිදු වූ ඒවායි.

අද මේ වැඩිහිටි දිනයේ ‘පෑලවිය 2019: ජේ්‍යෂ්ඨ පුරවැසි සැමරුමට’ එක්ව සිටින ඔබ සැමට වගේම මේ මහා සංස්කෘතික හර පද්ධතිය හා බැඳුණු වැඩිහිටි පරපුරට විශාල වගකීමක් තිබෙනවා. මේ මව් පොළොවේ ආරක්ෂාව පවතින්නේ අපේ සංස්කෘතික හර පද්ධතිය රැක ගත්තොත් පමණයි. මේ මව් පොළොව තමන්ගේ ග්‍රහණයට ගැනීමට සැරසෙන ඕනෑම සතුරකු පහර ගසන්නේ අපේ මේ ථේරවාදී බුදු දහම මත ගොඩනැගුණු සංස්කෘතික හර පද්ධතියටයි. ඒ නිසා අපේ වගකීම වන්නේ අනාගත පරපුර මේ මහා සංස්කෘතික මූලයන් තුළ රඳවා ගැනීමයි. ඔවුන්ට එම හර පද්ධතීන්වල වටිනාකම් කියා දීමයි. එහෙම වුවහොත් පමණයි මේ උසස් මනසින් යුත් අපේ සමාජය හෙට දවසේ රැකෙන්නේ. දරුවන්ට දේපළ, ඉඩකඩම් වැනි ධනය රැස් කර දෙනවා වගේම ඔවුන්ට අපි සංස්කෘතික හර පද්ධතීන්වල වටිනාකම කියා දිය යුතුයි. අපේ අනාගත පරපුර අනාගමික පිස්සන් පිරිසක් බවට පත් වුවහොත් ඒ අනාගමික පිස්සන්ට රට ගැන කිසිඳු හැඟීමක් ඇති වන්නේ නැහැ. ඔවුනට රට කාට ගියත් කමක් නැහැ. අපේ වගකීම වන්නේ රටත්, ජාතියත් පිළිබඳ හැඟීමකින් යුතුව සකල ශ්‍රී ලාංකාවාසීන් සැබෑ මිත්‍රත්වයකින් බැඳෙන අනාගතයක් මතු පරපුරට උරුම කර දීමයි.

‘දෙමව්පිය දූ දරු සබඳතාව’

අපේ සංස්කෘතික හර පද්ධතිය තුළ තිබෙන ඉතා වැදගත් වටිනාකමක් තමයි ‘දෙමව්පිය දූ දරු සබඳතාව’. අපේ සංස්කෘතිය තුළ දෙමව්පිය දූ දරු සබඳතාව ඉතා ශක්තිමත්ව ගොඩනැඟෙනවා. එතැන තමයි අපි රැකෙන තැන. දෙමව්පියන් කිසිදු හේතුවක් නිසා එම සබඳතාව ගිලිහී යාමට ඉඩ නොදිය යුතුයි. දෙමව්පිය – දූ දරු සබඳතාව ශක්තිමත් වීම තුළ දෙමව්පියන්ට පුළුවන් තවදුරටත් මේ අපේ ථේරවාදී බුදුදහම මත ගොඩනැගුණු සංස්කෘතියෙහි අඩංගු වටිනාකම් දරුවන්ට කියා දෙන්න. එය මැනැවින් වටහා ගත් දරුවන් නිසා මේ උසස් මනසින් යුත් සමාජය වැඩිදුරටත් ශක්තිමත් වෙනවා. මේ තමයි දරුවකුට උරුමයන් රැකගෙන නිසි මඟ යාමට ‘අත්තිවාරම’ වැටෙන තැන. දෙමව්පියන් නිසි පරිදි ඒ අත්තිවාරම දැමිය යුතුයි. එසේ වුවහොත් පමණයි අපි අපේ සංස්කෘතික හරපද්ධතීන් රැකගත් ජාතියක් ලෙස රැකෙන්නේ. එයයි අපි රැකෙන තැන.

‘උවිඳු විජේවීර ගැන බලගතු කතාවක්’

රෝහණ විජේවීර සහෝදරයාගේ පුතු උවිඳු විජේවීර පිළිබඳව මෙහිදී මගේ මතකයට එනවා. ඔහු දැන් රුසියාවේ විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධි ශිෂ්‍යයකු ලෙසත් ශිෂ්‍ය නායකයකු ලෙසත් කටයුතු කරන බව ඔබ දන්නවා. පසුගිය දිනවල රුසියානු පර්යේෂකයන් පිරිසක් එහි විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් පිරිසක් තෝරාගෙන ඔවුන්ට අධ්‍යයන වාර්තාවන් සැකසීමට බාර දී තිබුණා. වෛද්‍ය ශිෂ්‍යයන් වැඩි දෙනකු මෙම අධ්‍යයන වාර්තා සැකසීමේ කටයුත්තට යොදාගෙන තිබුණත් උවිඳු විජේවීර ශිෂ්‍යයාගේ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඔහුටත් අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබී තිබුණා.

‘පළමුතැන’

එම අධ්‍යයනය වී තිබුණේ ‘ඒඞ්ස් රෝගයට විසඳුම කුමක්ද?’ යන්නයි. වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු බොහෝ පිරිසක් සිය අධ්‍යයන වාර්තාවන්හි අවධානය යොමු කර තිබුණේ ඖෂධ ආදී පිළියම් කෙරෙහියි, එනම් ප්‍රතිකාර විධි ක්‍රම පිළිබඳවයි. නමුත් උවිඳු විජේවීර සිය අවධානය යොමු කර තිබුණේ ‘රෝග නිවාරණය පිළිබඳවයි’. එනම් ඒඞ්ස් රෝගය වැළඳීමෙන් විශේෂයෙන් තරුණ පරපුර මුදවා ගැනීම පිළිබඳවයි. ඔහු එහිදී පෙන්වා දී තිබුණා, ‘ශ්‍රී ලංකාව තුළ ඒඞ්ස් රෝගය ව්‍යාප්ත වීම පහළ අගයක පැවතීමට ඒඞ්ස් මර්දන ව්‍යාපෘතියත් දායක වෙන්න ඇති. නමුත් ඊට බලපා ඇති සුවිශේෂී හේතුව තමයි ශ්‍රී ලංකාවේ ථේරවාදී බුදුදහම ඇසුරෙන් ගොඩනැගුණු සංස්කෘතිය ඇතුළේ දෙමව්පිය – දූ දරු සබඳතාව ඉතා ශක්තිමත්ව පැවතීම’ කියා. තරුණ දරුවන් ඒ නිසා අනාරක්ෂිත ලිංගික ඇසුරකට යොමු වීම හෝ අපචාරයකට, අපහරණයට ලක්වීම අවම වන ආකාරයත් ඔහු මෙහිදී පෙන්වා දී තිබුණා. උවිඳුගේ අධ්‍යයන වර්තාවට පළමුතැන හිමි වී තිබුණා. මේ පිළිබඳව තවත් ශිෂ්‍ය පිරිසක් සමඟ වැඩිදුර අධ්‍යයනය කිරීමේ අවස්ථාව ද උවිඳු විජේවීරට හිමි වුණා. දෙමව්පිය – දූ දරු සබඳතාව ශක්තිමත්ව පැවතීම කියන්නේ අපේ සංස්කෘතික හර පද්ධතීන් තුළ ගොඩනැඟුණු දෙයක්. උවිඳු විජේවීර නිවැරදිව එම හර පද්ධතීන් වටහාගෙන තිබුණා. ඔහුට අපි ඉහත කී ‘අත්තිවාරම’ නිසි ලෙස වැටී තිබුණා. මෙතැන තිබෙන්නේ බලවත් කතාවක්. නවීන විද්‍යාවට සියල්ලටම උත්තර නැහැ. නවීන විද්‍යාවට දෙන්න බැරි උත්තර තමයි අද උවිඳු විජේවීර දරුවා තම අධ්‍යයන වාර්තාවෙන් ලබා දුන්නේ.

‘සිහින පැළවෙන පොළොව’

ඇඳුමෙන්, ‘හෙයාකට් එකෙන්’ අපේ බොහෝ දරුවන් ලන්ඩන්, පැරිස්, නිව්යෝර්ක්වල ජීවත් වන්නන් වගේ. ඔවුන්ගේ හීන පැළවෙන්නේ බොහෝවිට ලන්ඩන්, මෙල්බර්න්, සිඞ්නි, නිව්යෝර්ක් වැනි නගරවලයි. අපේ මේ දරුවන්ගේ හීන පැළ වන පොළොවක් බවට මේ පොළොව පත් කරන්න ඕනේ. නාසා ආයතනයේ විද්‍යාඥයන් ඇතුළු විද්වත් වෘත්තිකයන් විශාල පිරිසක් මේ පොළොවේ ඉපිද විදෙස්ගත සේවයේ යෙදී සිටිනවා. මේ පොළොවේ ඔවුන්ගේ සිහින පැළ වෙනවා නම් ඒ පිරිසත් මේ ‘ඉන්න හිතෙන රටට’ පැමිණේවි. ඊට නිස්සරණාධ්‍යාශයෙන් වැඩ කරන නායකයකු, ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි නායකයකු මේ මව් පොළොව ඉල්ලා සිටිනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ. 2015 ජනවාරි 08 ගත් වැරදි තීන්දුව නිසා 2019 අප්‍රේල් වන විට මේ රටේ මුළුමහත් ජනතාවම ගෘහස්ථ සිරකරුවන් පිරිසක් බවට පත්වූ බව ද අමතක කරන්න එපා. නිවැරදිම තීන්දුව ගන්න.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ