එක්සත් ජාතික පක්ෂය වල පල්ලටද ?

එක්සත් ජාතික පක්ෂය අවසන් වරට සිය පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත් කර ගත්තේ 1988 දීය.. ඒ රණසිංහ ප්‍රේමදාසයි.. එම මැතිවරණය අන්ත දූෂිත වූ අතර උතුරේ මෙන්ම දකුණේද ඇතිව තිබූ භීෂණය හමුවේ සමස්ථ දිවයිනේම ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 55% විය. දිස්ත්‍රික්ක වශයෙන් ගත් කල ගාල්ල – 49%, මාතර – 23%, හම්බන්තොට – 29%, මොණරාගල – 17%, පොලොන්නරුව – 29%, මාතලේ – 30% ක් ලෙස ප්‍රකාශ විය. එයින්ද වැඩි ප්‍රමාණයක් බලහත්කාරයෙන් ඡන්ද පෙට්ටි පුරවනු ලැබූ අවස්ථාවන්‍ ලෙස වාර්ථා විය.

1982 ජනාධිපතිවරණය ජේ.ආර්. ජයවර්ධන ජය ගත්තද, එම ඡන්දය නිදහස් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරණායකගේ ප්‍රජා අයිතිය අහෝසි කොට, නිදහස් පක්ෂ අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්දයද හොරට දමා ජයගත් අන්ත දූෂිත මැතිවරණයකි.

ඒ අනුව සාධාරණ ඡන්දයක් පවත්වා එක්සත් ජාතික පක්ෂය කිසිදු ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කොට නැත.

අද වන විට එජාප අපේක්ෂකත්වය තිදෙනෙක් වටා දෝලනය වෙමින් පවතී. රනිල්, කරූ සහ සජිත් අතර තුන් කොන් සටනක් බවට පත්ව ඇති අපේක්ෂක සටනේ වැඩි බර සජිත් ප්‍රේමදාස වෙත ඇති බව පෙනී යයි. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස විසින් අපේක්ෂකත්වයට අමතරව පක්ෂ නායකත්වයද ඉල්ලා සිටී. එමෙන්ම එසේ අපේක්ෂකත්වය සහ පක්ෂ නායකත්වය ලබා නොදුනහොත් වෙනම තරඟ කරන බවද පවසයි.

වෙනම තරඟ කරන බවට කල තර්ජනය ඔහුගේ පියා විසින්ද අනුගමනය කල උපක්‍රමයකි. ජේ.ආර්. ජයවර්ධන තුන්වෙනි වරට ඉල්ලීමට සූදානම් වූ අවස්ථාවේදී, තමන්ව අපේක්ෂකයා ලෙස නම් නොකලොත් තමන් නායකත්වය දරණ සුචරිත ව්‍යාපාරය හරහා හෝ තමා ජනපතිවරණ සටනට එලඹෙන බවට ජේ.ආර්ට තර්ජනය කොට දින 3 ක කාලයක් ලබා දී කොළඹින් පිටව ගොස් ඇත. එදා එම තර්ජනයට බියවූ ජේ.ආර්, ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කොට විශ්‍රාම ගියේය. සජිත් පාර්ශවය විසින් රනිල්ට ලබා දී ඇති කාලය දින 7 කි.. එම තර්ජනයට රනිල් මුහුණ දෙන අන්දම ඔබට ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත.

මේ සියල්ලටම වඩා සිත්ගත් කාරණය වන්නෙ සජිත් ප්‍රේමදාස විසින් සිදු කරන පක්ෂ නායකත්වය පිළිබඳ ඉල්ලීමයි.. මෙය ජනපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී කිසිවිටක ජනාධිපති අපේක්ෂකත්වය සමග ඉල්ලා සිටියේ නැත.. ජනපතිවරණ ජග්‍රහණය සමග ඔවුන් පක්ෂ නායකත්වයට නිතැතින්ම පත්විය. පොහොට්ටුවේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂද එම පක්ෂයේ හෝ පෙරමුණේ නායකත්වය ඉල්ලා නැත.

එසේ නම් සජිත් ප්‍රේමදාස මෙසේ නායකත්වය ඉල්ලා සිටින්නේ ඇයි? ඒ ප්‍රධාන කාරණා දෙකක් නිසාය.

1. ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොවීම – එලෙස විශ්වාසයක් ඇත්නම් පක්ෂ නායකත්වය ඉල්ලා නාහෙන් ඇඬීමට උවමනා නැත. ජයග්‍රහණයෙන් පසු නිතැතින්ම එය හිමිවේ.

2. පක්ෂ නායකත්වයෙන් තොරව පක්ෂ යාන්ත්‍රණය තමන්ට අවනත නොවන බව තක්සේරු කිරීම. – 2005 මැතිවරණයේදී මහින්ද වෙනුවෙන් ඩාලි පාරෙන් එක පත්‍රිකාවකවත් මුද්‍රණය වූයේ නැත. නිදහස් පක්ෂ යාන්ත්‍රණය චන්ද්‍රිකාගේ නායකත්වය යටතේ සම්පූර්ණයෙන් අකර්මන්‍ය විය. නමුත් ඔහු පක්ෂ නායකත්වය ඉල්ලා නාහෙන් ඇඬුවේ නැත. ජනතාව හා තමන් සමග එක්වූ පක්ෂ කෙරේ විශ්වාසය තබා ජනපතිවරණ සටන මෙහෙයවා ජයග්‍රහණය ලැබීය. 2015 මෛත්‍රී පොදු අපේක්ෂකයා වූ ඡන්ද ව්‍යාපාරයේ සම්පූර්ණ බර ඇද්දේ එජාප යාන්ත්‍රණය විසිනි.. ඒ සඳහා ඔහුට එජාප නායකත්වය ඇවැසි නොවීය. එසේ නම් පැහැදිලිවම සජිත් ප්‍රේමදාසට තම පක්ෂ යාන්ත්‍රණය පිළිබඳව ගැටළුවක් පවතී. ඔහුට තම පක්ෂ ක්‍රියාකාරීන් ගැන විශ්වාසයක් නැත.

එසේ නම් ජනතාව පිළිබඳවවත්, තම පක්ෂ ක්‍රියාකාරීන් පිළිබඳවවත් විශ්වාසයක් නොමැති සජිත් ප්‍රේමදාස ජනපතිවරණ අපේක්ෂකත්වය හා පක්ෂ නායකත්වය ඉල්ලන්නෙ ඇයි?

තම ජයග්‍රහණය ගැන, තම ජනතාව ගැන විශ්වාස නම් සජිත් කල යුතුව ඇත්තේ අපේක්ෂකත්වය ලබාගෙන ජයග්‍රහණය කොට ජනාධිපතිධූරය මෙන්ම ඉන් අනතුරුව නිතැතින්ම හිමිවන පක්ෂ නායකත්වය හා යාන්ත්‍රණය සියතට ගැනීමයි.

මාගේ තක්සේරුව අනුව එජාපයට මෙම ජනාධිපතිවරණයෙන් රටේ නායකත්වය ලබා ගැනීම පිළිබඳ බලාපොරොත්තුවක් නැත. ඇත්තේ එජාපය නම් කොම්පැණියේ ප්‍රධාන විධායකය ලබා ගැනීමට ඇති තරඟයකි.

රනිල් එය කුරුඳුවත්තේ තබා ගනිමින් ඔහුගේ ඇවෑමෙන් රුවන් විජේවර්ධනට ලබා දීමට මාන බලයි.. කරූ එය තමන්ගේ ඇවෑමෙන් නවීන් දිසානායකට ලබාදීමට තැත් කරයි.. සජිත් එය තම කල්ලියට ලබාගෙන පසුගිය අවුරුදු 25 තුල රනිල් කලාක් මෙන් ඉදිරි අවුරුදු 25 තුල එජාප කොම්පැණියේ ප්‍රධාන විධායක නිළධාරියා වීමට උත්සහ කරයි.

තම පාලනය යටතේ සියලුම දේ බෙදා, තම ප්‍රාදේශීය සභාව, ආසනය හෝ දිස්ත්‍රික්කය ජය ගත නොහැකි වූ සජිත් රටට මොන දේ කීවද ඔහුට ජනපතිවරණය ජය නොගත හැකි බවට පූර්ව නිගමනයකට එලඹ ඇති බව පැහැදිලිය.

පාක්ෂිකයා සහ රටවැසියා රවටා ජනාධිපතිධූරය පෙන්වා අවසානයේ පක්ෂ නායකත්වය ඩැහැ ගැනීම සජිත් ප්‍රේමදාස ලබන ජයග්‍රහණයක් වුවද අසරණ එජාප පාක්ෂිකයා තවත් අවුරුදු 25 ක් එජාප රාජ්‍ය නායකයෙක් නොමැතිව හූල්ලන යුගයක් වනු ඇත.

රනිල්ට එරෙහිව අවුරුදු 25 ක් කැරලි ගැහූ සජිත්ලා, කරූලා, නවීන්ලා, ජොන්ස්ටන්ලා, දයාසිරිලා වෙනුවට සජිත්‍ට එරෙහිව කැරලි ගහන පාඨලීලා, හරීන්ලා, සුජීවලා එජාප කොම්පැණියේ බිහිවනු ඇත.

පාක්ෂිකයන් බිල්ලට තබා මෙලෙස තම බලය වෙනුවෙන් සූදු කෙලින එජාප නායකයන් සැබැවින්ම ලැජ්ජා විය යුතුය. ඔවුන් රටේ නායකත්වයට නොව මරණාධාර සමිතියක මුල් පුටුවටට වත් පත් නොකල යුතු තක්කඩියන් පිරිසකි.