ගෝඨාභය ඇමරිකා පුරවැසියෙන් නොවන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහතික කරයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ඇමෙරිකානු පුරවැසිකම අත් හැරිය අයගේ නම් ලැයිස්තුවක් මාස තුනකට සැරයක් ඇමෙරිකානු රාජ්‍ය දෙපාරතමේන්තුව ප්‍රසිද්ධ කරනවා. ඒ අනුව 2019 ජූනි 30 දිනෙන් අවසන් වුණු කාරතුවේ ඇමෙරිකානු පුරවැසිකම අත්හල පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව ඊයේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාරතමේන්තුව විසින් වෙබ් අඩවියකට මුදා හැරියා. එහි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම නොමැති බවට ආණ්ඩුවේ මාධ්‍ය ලොකු ආන්දෝලනයක් ඇති කරනවා.

එම වෙබ් අඩවියේ සදහන් කරන්නේ කාර්තු පදනම යටතේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම්වරියට එවන ලද තොරතුරු මත සකසන ලද ලැයිස්තුවක් තමයි අප ප්‍රසිද්ධ කරන්නේ කියලයි. පුරවැසි කම අත් හැරීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ ඒ ඒ රට වල ඇමෙරිකානු තානාපති කාර්යාල වලයි. ලොව පුරා පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලවලින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට තොරතුරු යැවූ අයගේ නාමලේඛණය තමයි අපට ලැබුණු විදිහට අප ප්‍රසිද්ධ කලා කියලා සදහන් කරලා තියෙන්නේ. එයින්ම අදහස් වෙනවා මෙය අවසානාත්මක දෙයක් නෙමෙයි කියලා.

පුරවැසිකම අත්හැරීම පිළිබඳ ඇමෙරිකාවේ බල පවත්වන නීතිය වන්නේ Immigration and Nationality Act of 1952. 1952 සංක්‍රමණ සහ ජාතිකත්ව පනතයි. මේ පනත අනුව යම් කිසි අයෙකු පුරවැසිකම අත්හැරීම පිළිබඳ අවසානාත්මක සාක්ෂිය වන්නේ පුරවැසිකම අත්හැරීම පිළිබඳ රාජ්‍ය දෙපාරතමේන්තුව නිකුත් කරන සහතිකය මිස ජනතාවගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධ කරන ලැයිස්තුව නොවේ. විශේෂයෙන්ම පුරවැසි කම අත්හල අයගේ නම් ලැයිස්තුව මහජනතාවට දැන ගැනිම සදහා ප්‍රසිද්ධ කරණ ලේඛණය කිසි සේත්ම අවසානාත්මක සාක්ෂියක් ලෙස සලකන්නේ නෑ. 2019 මැයි 3 දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම ඉවත් කරගත් බවට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සහතික කර තිබෙනවා. 2019 අප්‍රියෙල් මස 17 වනදා සිට එතුමන් ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බව සහතික කර තිබෙනවා. ඒ නිකුත් කළ සහතිකය ගෝඨාභය රාජපක්ෂ මහතා සතුයි. ඒ නිසා ඒ ලැයිස්තුවේ ගෝඨාභය මහතාගේ නම නොමැතිවීම කාට ප්‍රශ්නයක් වුවත් අපට නම් ප්‍රශ්නයක් නොවේ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තවමත් ද්විත්ව පුරවැසියෙකු බව කවුරු හරි හිතනවා නම් ඒ නිසා එතුමන්ට ජනපති වරනයට තරග කරන්නට බෑ කියලා බෙරිහන් දෙන අයට කරන්න තිබෙන්නේ එතුමා ජනාධිපති වුණාට පස්සේ ඡන්ද පෙත්සමක් දාලා ඔහු ද්විත්ව පුරවැසියෙකු බව ඔප්පු කිරීමයි. අඩුම තරමින් නාමයෝජනා බාරදෙන අවස්ථාවේ දී වත් ද්විත්ව පුරවැසියෙක් කියන පදනම මත විරෝධය පලකරන්නට හැකියාවක් නෑ ලංකාවේ ජනාධිපති මැතිවරණ නීතිය අනුව. ඒ හැර වෙනත් විකල්පයක් නෑනෙ. ඡන්දය ඉල්ලීම නතර කරන්න බෑනෙ. ඒ නිසා බොරුවට කෑ ගැසීමෙන් පලක් නෑ.

ඇතැමුන් ප්‍රශ්ණ කරනවා පුරවැසි භාවය අත හැරීමේ ක්‍රියාවලිය තවමත් පරිපූර්ණ නැහැ. ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අයදුම් කළා නම් වජිර අබේවර්ධන අමාත්‍යවරයාට එම ලිපි ගොනුව පැමිණිය යුතුයි.මගේ මේසෙට එහෙම ලිපිගොනුවක් ඇවිල්ලා නෑ. වජිර ඇමැතිතුමා මෙහෙම කිව්වා යනාදී වශයෙන් එජාපයේ මන්ත්‍රීවරුන් කියනවා.

එතුමා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරලා ලංකාවේ පුරවැසියෙක් වෙන්න උත්සාහ කළා නෙවෙයි. 1992 වර්ෂයේ එතුමන් ඇමරිකානු පුරවැසියෙක් බවට පත්වනවිට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි වුණා. 2005 දී ශ්‍රී ලංකා පුරවැසිභාවය යළි ලබා ගත්තා. එදා සිට එතුමා ද්විත්ව පුරවැසියෙක්. ද්විත්ව පුරවැසියෙක් එක් පුරවැසිකමක් අත්හැරියත් අනෙක් පුරවැසිකම ඒ ආකාරයෙන්ම පවතිනවා. ඒක යළි අයදුම් කිරීමේ ක්‍රියාවලියක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත්තාම ඇමෙරිකානු ගමන් බලපත්‍රයත් අහෝසි කළා. එය ද මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කළා ඔබ දකින්නට ඇති.