කටුනායක ජන සන්නිපාතයෙන් පසු ගෝටාගෙන් සංවේදී ෆේස්බුක් සටහනක්..

සති තුනක ඇමරිකානු සංචාරය නිමා කර අද පෙරවරුවේ මෙරටට පැමිණි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා කටුනායක ගුවන් තොටුපලේදී හිමිවූයේ ඉතා උණුසුම් පිලිගැනීමකි.

එහි සිටි ජනතාව ජය ඝෝෂා නගන ලද්දේ ‘අපේ ජනාධිපතිතුමාට ජයවේවා’ කියමිනි.

මෙරටට පැමිණි පසු ගෝටාභය රාජපක්‍ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති නවතම සටහන මෙසේය.

අද උදෑසන කටුනායක ගුවන් තොටුපළේදී මාගේ සහෝදර ශ්‍රී ලාංකීය ජනතාව වන ඔබ විසින් මා පිළිගත් උණුසුම් ආකාරය, මගේ රටට මා මෙන්ම ඔබද බොහෝ ලෙස ආදරය කරනා බව තවදුරටත් තහවුරු කළ අවස්ථාවක් ලෙස මම දකිමි. රටට එරෙහිව සතුරු බලවේග විවිධ කුමන්ත්‍රණ දියත් කරද්දී කවදත් එකමුතු වුන දේශප්‍රේමී ජනතාව මා වෙනුවෙන් අද පෙනී සිටින්නේ හුදෙක්ම ඒ ජාතික හැඟීම නිසා බව මම දනිමි.

මා පිළිගන්නට අද ගුවන්තොටුපළට පැමිණි ගරුතර සංඝරත්නය හා සර්ව ආගමික පූජකතුමන්ලා ප්‍රමුඛ ගරු පාර්ලිමේන්තු මංත්‍රීතුමන්ලා, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මංත්‍රීතුමන්ලා, වියත්මග සහ එළිය සාමාජිකයින්, මාධ්‍යවේදීන්, සමාජ ජාලා වෙබ් අඩවි ක්‍රියාකාරිකයින් ඇතුළු සියලූම ආදරණීය ජනතාවට මම ගෞරවපූර්කව ස්තුති කරමි. අද පැමිණිමට නොහැකි වුවත් හදවතින් මට සුභ පැතූ සුවහසක් ශ්‍රී ලාංකීය ජනතාවටද ස්තුති කරන්නට මම මෙය අවස්ථාව කර ගනිමි.

මා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිටි කාලය තුළ මට ආරක්ෂාව සැපයූ සහ සහාය දැක්වූ සියලූම හිතවතුන්ටද, මා වෙනුවෙන් වගකීම් අතටගත් නීතීඥයින් ඇතුළු අනෙකුත් විද්වතුන්ටද විශේෂ ස්තුතියක් පුද කරමි.

රට වෙනුවෙන් හැකි උපරිමයෙන් සේවය කොට ඇති මම, ඉදිරියේදීත් රට වෙනුවෙන් ඔබ අපේක්ෂා කරනා ඕනෑම මෙහෙවරකට සූදානම් බවත්, එයට එරෙහි වන කිසිදු බාධකයකට යටපත් නොවන බවත්, දේශප්‍රේමී සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට ඉතා ආදරයෙන් සහ වගකීමෙන් ප්‍රකාශ කරමි.

ගෝඨාභය රාජපක්ෂ

– Gotabaya Rajapaksa FB