ආහාරයට නුසුදුසු නරක්වුණු මස් මාළු හොයාගන්න පුළුවන් ක්‍රම රැසක් මෙන්න

ආහාර සඳහා යමක් මිලදී ගන්නා විට එය හොඳම මට්ටමේ ආහාරද යන්න පිළිබඳව අප බොහෝ සෙයින් සැලකිලිමත්වෙමු. එය එසේ වනුයේ අප එම ආහාර දූෂිත මට්ටමේ පැවතියදී ආහාරයට ගෙන ඒවා විෂ විය හැකිය යන්න සම්බන්ධයෙන් යම් සැකයක් සහිත වන බැවිණි. නමුත් අපට වෙළඳ පොලෙන් මිලදී ගන්නා ආහාර මෙන්ම නිවසේ පිළියෙළ කරගන්නා ආහාර සම්බන්ධයෙනුත් ගැටළු සහිත තැන් මතුවන බව ඔබ අත්දැකීමෙන්ම දනී.

මෙකළ අන් කවරදාටත් වඩා ආහාරවලට එකතුවෙන විෂ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබේ. නමුත් නිවසේ ආහාර පිසින විට මෙන්ම වෙළඳපොළෙන් ආහාර ද්‍රව්‍ය මිලට ගන්නා විටද නරක් නොවූ විෂ සහිත නොවන ආහාර මිලට ගැනීම සම්බන්ධයෙන් ඔබ දැනුම්වත්ව සිටිය යුතුය.එමෙන්ම ආහාර ගබඩා කර තිනෙ ආකාරය නිසාද ආහාර දූෂණය සිදුවිය හැකිය. එවිට එය වෙළෙන්දා වෙත පැවරිය හැකි වරදක් නොවේ. මෙතෙක් ඔබ පරිහරණය කළ ආහාර තෝරාගත් විදිහ දෙස යළිත් හැරී බලන්නටත් අදින් මතු ඔබේ ආහාරයේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන මෙන් ඔබේ අවදානය යොමු කරන්න මේ දේවල් අනිවාර්යෙන් දැනගන්න.

ආහාරය සඳහා යමක් මිලට ගන්නා විට ඔබ ඒ මිලදී ගැනීම සිදුකරනුයේ කෙසේද? ඇතමුන් සුපර් මාර්කට් එකෙන් ආහාර ද්‍රව්‍ය මිලට ගන්නා අතර තවත් සමහරෙක් පොළෙන් හෝ තොග වෙළඳ සංකීර්ණයකින් මිලට ගන්නට පෙළඹෙනවා ඇත . ආහාර කොහොම මිලට ගත්තද ඔබ මිලදී ගන්නා ආහාර සුරක්ෂිත ඒවා ද යන්න සැක හැර දැන ගැනීම වැදගත් බව අමතක නොකරන්න.බොහෝ දෙනෙක් පණුවන් විද ඇති කොළ වර්ග එළවළු වර්ග මිලට ගන්නට අකමැතිය. කිසිද පළුද්දක් නැති නැවුම් එළවළු පලතුරු සොයන ඔබ ඒවා එම තත්ත්වයේ පවතින්නට හේතුව නැතිනම් ස්වභාවික උපද්‍රව වලින් සීයට සීයක් තොරවීම එයට යොදා ඇති රසායණික ද්‍රව්‍යවල බලපෑමක් බව නොසිතනු ඇත.

නමුත් කාබනික වගාවන් ලෙස වගාකර ඒවායේ අස්වැන්න ලෙස ගැනෙන එළවළු පලතුරු යම් ආකාරයකින් කෘමි උවදුරු හා ගැටී ඇති බව දැනගනු ඇති. මේ නිසා මෙකල බහුලව ආහාරවලට එක්වෙන විෂ සහිත රසායණිකයන් සහ ඒවායේ ප්‍රථිඵල සම්බන්ධයෙන් සුළුවෙන් හෝ දැනුවත් බවක් ලබා තිබීම ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති.මේ සඳහා ඔබට අවශ්‍ය වනුයේ මිලදී ගන්නට සැරසෙන භාණ්ඩ තෝරා ගැනීමේදී ඔබ තුළ පවතින සාමාන්‍ය දැනීමයි. ඒ සාමාන්‍ය දැනීම ඔබ සතුව නොඅඩුව පැවතියද ඇතමෙකු ලාභය තකා ඒ දැනීම නොසලකා හරින අවස්ථා නැතිවාම නොවේ.

එමෙන්ම හැකිතාක් නැවුම් හා ගුණාත්මක ආහාර මිලට ගැනීම ඉතාම වැදගත්ය. බොහෝවිට ඇතැම් ආහාරවල පුස් ඇතිවී තිබෙන විට එය සෝදා ඉවත් කළ හැකිය යන මතයේ සිට ඒවා මිලදී ගන්නට ඇතැම් ගෘහණියන් පෙළඹේ. උදාහරණයක් ලෙස සැලකුව හොත් ඔබ ධාන්‍යවර්ග මිලට ගන්නා විට යම් ආකාරයකින් පුස් බැඳුණු බවක් ඇත්නම් ඒ ගැන එතරම් සැළකිල්ලක් නොදක්වනවා ඇති .එමෙන්ම මිලදී ගෙන ආ එවැනි දෑ කිසියම් ආකාරයකින් ගබඩා කර තිබියදී පුස් ඇතිවුවහොත් එයද එතරම් නොසලකා සෝදා පුස් ඉවත් කර ආහාරයට ගැනීමට පෙළඹෙනු ඇත. නමුත් ඒ ඔබ විසින් සිදුකරනුයේ ඉතාම භයානක ප්‍රතිඵල පවා ඇතිකරලිය හැකි ක්‍රියාවක් බව ඔබ දන්නවාද? කොතරම් වාසි සහතගව හා ලාභ ඇතිවන පරිද්දෙන් මිලදී ගන්නට ලැබුණත් නරක් වූ හෝ පුස්වර්ග වර්ධනය වූ හෝ දුර්වර්ණ වූ ආහාර මිලදී ගැනීමෙන් වැළකිය යුතුය.

අප සුරක්ෂිත ආහාර වශයෙන් සලකන්නේ කල් ඉකුත්වීමේ දිනයක් දක්වා ඇති ආහාර වර්ගවුවත් එසේ හැම ආහාර ද්‍රව්‍යයකම කල් ඉකුත්වීමේ දින සඳහන් කර නැත. මෙහිදී පැකට් කළ ආහාර ද්‍රව්‍යවල එසේ කල් ඉකුත් වූ දිනයක් සඳහන් කර පැවතියද එය මකා දමා නැවත අළුත් දිනයක් යොදා එය ආපසු වෙළඳ පොළට එවන කූට උපක්‍රමද පවතින නිසා මේවා ගැන බොහෝ ප්‍රවේශම් විය යුතුය. එමෙන්ම ඇතැම් වෙළඳ ආයතනවල කල් ඉකුත්වීමට ආසන්න හෝ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අඩු මිලට විකිණීම සිදුකරයි.

සමහරුන් මේවා විකුණන්නේ සත්ව ආහාර සඳහා යැයි පවසමින් වුවත් ඒවා මිලට ගෙන විකිණීම සඳහා සකස්කරන ආහාර සඳහා යොදාගන්නා බව අප හොඳින් අසා ඇති කරුණකි. එයින් සිදුවෙන්නේ එම ආහාර නිෂ්පාදකයා නොසිතූ පාඩුවක් සිදුකර ගැනීමක් වීමට ඉඩ තිබේ. අප එසේ පවසන්නේ එසේ සකස්කරන ලද ආහාර අනුභව කිරීම හේතුවෙන් පුද්ගලයන් රෝගී වූ විටක එම ආහාර නිෂ්පාදකයාට නීතිය ඉදිරියට පැමිණීමට සිදුවීමත් ඔහුට ආහාර අලෙවිය තහනම් කිරීමටත් ඉඩ ඇති නිසාය. එම නිසා ආපනශාලා , හෝටල් වල ආහාර නිෂ්පාදනය සඳහා හෝ නරක් වූ ආහාර ද්‍රව්‍ය යොදාගැනීම නුවණට හුරු ක්‍රියාවක් නොවේ. දැන් දැන් එවන් ආකාරයේ ආහාර අලෙවියට ඉදිරිපත්වූ වෙළඳුන් සොයා නීතිය තදින් ක්‍රියාත්මකවෙන බැවින් එවන් ආහාර ද්‍රව්‍ය යොදා පිළියෙල කරගත් ආහාරවල පරිභෝජනයට නොසුදුසු යමක් ඇති බව ආහාර පරීක්ෂාවේදී ඔප්පු වුවහොත් අදාල ආහාර නිෂ්පාදකයාට තදින් නීතිය ක්‍රියාත්මක කෙරෙන බවද අවධාරණයට කළ යුතුව තිබේ. ආහාර ද්‍රව්‍යවල කල් ඉකුත්වීම පිළිබඳ සහතිකයක් නොපවතින අවස්ථාවකි එළවළු සහ පලතුරු.

ඇතැම් වෙළඳුන් තැලුණු පලතුරු හා එළවළු වර්ග මිල මදක් අඩුකර විකුණති. නමුත් නැවුම් පිරිසුදු නොතැලුණු එළවළු පලතුරු හැමවිටම මිලදී ගන්න. පළුදුවීම් හා තුවාලවීම් නිසා පිටපොත්ත අවර්ණ වු පලතුරු භාවිතා නොකළ යුතුය. එමෙන්ම කෘමින් විසින් ඇතිකළ යම් සිදුරුකිරීම් ඇති එමෙන්ම දුර්ගන්ධයක් සහිත පලතුරු භාවිතාවෙන් වළකින්න. බොහෝ දෙනෙකු වරද්දා ගන්නා තවත් තැනකි මස් මාළු වර්ග මිලට ගැනීම.

එහිදී අප පළමුව නරක් නොවූ මාළු මිලදී ගන්නේ කෙසේද යන්න විමසමු.
මාළු කූරියන් වශයෙන් ඇතිවිට පැහැදිලි නොගිලුණු ස්වරූපයක් සහිත ඇස් ඇති මාළු මිලදී ගන්න. මාළු නරක්වෙන විට ඇස්වල පැහැය වෙනස්වී යටට ගිලීගිය ස්වරූපයක් දක්වයි. මාළුවාගේ සම දිලිසෙන ස්වරූපයෙන් මෙන්ම තෙත ගතියකින් පැවතිය යුතුය. මාළුවාගේ සිරුරට ඇඟිල්ල තබා තෙරපීමේදී එබී යාමක් නොමැතිව තද ගතියකින් පැවතිය යුතුය. එමෙන්ම කරමල ඇර බැලීමේදී දීප්තිමත් රත් පැහැයෙන් යුක්ත විය යුතුය. මාළුවා කැපූ පසු රත් පැහැයෙන් දිස්වේ නම් එහි අරුත අළුත් මාළු බවයි. එමෙන්ම මාළුවෙකුගේ සම මතුපිට දුඹුරු පැහැති පැල්ලම් ඇත්නම් ඒවා මිලදී ගැනීමෙන් වළකින්න. එවැනි පැල්ලම් මාළු නරක්වීම පිළිබඳ ඉඟියක් පලකරයි. එමෙන්ම අධික දුගඳක් ඇතිවිටද එම මාලුන් මිලට නොගන්න. සමහර අවස්ථාවලදී අපට අධි ශීත කළ මාළුන් මිලට ගන්නට සිදුවෙන්නට පුළුවන. මෙවන් අවස්ථාවලදී එම මසුන් අධිශීත තත්ත්වයේම ඝනව පැවතිය යුතු අතර මෙළෙක කොටස් පැවතිය යුතු නැත. එමෙන්ම මෙම මාළුන්ගේ ශීත පිළිස්සුම් නොතිබිය යුතුය. ඇතැම් විට ඔබ නිවසට රැගෙන ආ මසුන් අධිශීත කොට භාවිත කරන්නේ නම් එහිදීද මෙම මාළුන් ඝනව පැවතීම මෙන්ම ශීත පිළිස්සුම් ඇති නොවී තිබීම වැදගත්ය.

දැන් අප මස් පිළිබඳව විමසමු.
මස් මිලදී ගැනීමේදී එහි පැහැය පිළිබඳ සැලකිළිමත්වීම ඉතාම වැදගත්ය. පැහැදිලි චෙරි රතු පැහැයක් දිස්වීම අලුත් මස් පිළිබඳ සලකුණකි. නමුත් මස් යම් වේලාවක් වාතයට නිරාවරණයවීම නිසා රතු සිට යම් දුඹුරු පැහැයක් දක්වා වෙනස් වෙන්නට පුළුවන. නමුත් එසේ දුඹුරු පැහැවූ මස් ඔබ විසින් තෝරා නොගත යුතුය. මන්ද ඒවා භාවිතාවට සුදුසු නොවේ. එමෙන්ම මස්වර්ග දීප්තිමත් රතු හෝ රෝස පැහැයෙන් යුතු අතින් ඇල්ලූවිට ලිස්සන සුළු හෝ සෙවල ස්වභාවයක් නැති මස් විය යුතු අතර ඒවා පමණක් ආහාරයට සුදුසුය. මාළු මෙන්ම මස්වලද ශීත පිළිස්සුම් ඇතිවිය හැකිය. ශීතකරණ තුළ මස් දිගුකළක් පැවති විටදී මෙවැනි ශීත පිළිස්සුම් ඇතිවෙයි. ඒ හරහා ඒවා පරණ මස්බවද වටහා ගැනීමේ හැකියාව ලැබෙයි. එවැනි මස් මිලදී ගැනීමෙන් මෙන්ම භාවිතාවෙන් වැළකෙන්න.

බිත්තර
බිත්තර මස් මාංශ අනුභවයට කිසියම් අකැමැත්තක් දක්වන ඇතමුන්ගේ තෝරා ගැනීමකි. බිත්තර මිලදී ගැනීමේදී බිඳුණු බිත්තර මිලෙන් අඩු යැයි සිතා මිලට ගන්නට ඇතමුන් හුරු පුරුදුව සිටී. නමුත් පලුදු වූ බිත්තර සහ බිඳුණු බිත්තර මිලට ගැනීමෙන් වළකින්න. කිසියම් දුර්ගන්ධයක් දැනෙන්නේ නම් එවැනි බිත්තරද මිලට ගැනීමෙන් වළකින්න. සැහැල්ලු බිත්තරවලට වඩා බරින් වැඩි බිත්තර මිලට ගන්නට හුරුවෙන්න.එමෙන්ම ඔබ මිලදී ගත් බිත්තර අලුත්ද යන්න දැන ගැනීමටද ඔබට යම් ක්‍රමයක් පවතී . අලුත් බිත්තරයක් ජලය බඳුනක ගිල්වූ විට බිත්තරයේ පළලින් අඩු කොටස උඩ අතට සිටින සේ වතුර භාජනයේ ගිලේ.

කෙසේ නමුත් මිලදී ගෙන ආ බිත්තර ශීතකරණය තුළ තැන්පත් කරන්නට පළමු හොඳින් සෝදාගන්න. නැතිනම් බිත්තරවල කටුවේ තැවරී ඇති කුකුල් අසූචි යනාදිය මගින් ශීතකරණය තුළ බැක්ටීරියා වර්ග හුවමාරුවෙන්නටද ඉඩක් පවතී .එමෙන්ම එසේ ශීතකරණයක නොතැබූවත් භාවිතයට ගැනීමට පෙර බිත්තරයක් සෝදා භාවිතයට ගන්න. මන්ද බිත්තරය බිඳීමේදී කටුවේ ඇති විෂබීජ සහිත අප ද්‍රව්‍ය ඊට එක්විය හැකි බැවිණි. කල් ඉකුත් නොවූ ආහාර මිලදී ගැනිම සම්බන්ධයෙන් කිරි ආහාර, අල වර්ග, ධාන්‍ය වර්ග මෙන්ම ටින්කළ ආහාර වර්ග ආදියද ඉතාම වැදගත්ය. ආහාර ටින් මිලට ගන්නා විට ඒ ටින් එක පළුදු හෝ තැලීම් ඇති එකක් නොවන වට වග බලාගන්න පැකට් කළ ආහාරවලද පැකට්ටුව සිදුරු වී හානි වී ඇත්නම් මිලදී ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසුය.

(උපුටා ගැනීම kotuwapaththare වෙබ් අඩවියෙන්)