රඹුටන් ඇට, වෙරළු ඇට, වැනි දෑ කුඩා දරුවෙකුගේ උගුරේ හිර උනොත් කරන්න ඕන දේවල් මෙන්න

රඹුටන් වාරේ නිසා දැන් රටේ හැම තැනම රඹුටන් බහුලව තිබෙනවා. රඹුටන් සමඟ මැංගුස්, ගඩුගුඩා, ඇඹුල් පේර, වෙරළු, ලොවි, නෙල්ලි ඇතුළු පලතුරු රැසක් හරි හරියට වෙළෙඳ පොළේ තිබෙනවා. මේ පලතුරු වර්ගවල ගුණ අගුණ තත්ත්වය ගැන නොවෙයි මේ කතා කරන්නෙ. පොඩි දරුවන් ඒවා උගුරේ හිරකරගෙන ඇතිකර ගන්නා ලොකු වින්නැහිය විමසා බැලීමය. කුඩා පලතුරු ගෙඩි, ඇට වර්ග පමණක් නොවෙයි සෙල්ලම් බඩුවල කුඩා කොටස්, කාසි, ඔරලෝසුවල බැටරි ආදි දේත් කුඩා ළමයි කටේ දමාගෙන හිරකර ගන්නවා.

දරුවන්ගේ පෙරැත්ත කිරීමට, අඬලා ඉල්ලන වේලාවට මවුපියන් වැඩිහිටියන් පොඩි දරුවන්ට රඹුටන් මිලදී ගෙන දෙනවා. හැබැයි පොඩි දරුවන් ඒවා කන හැටි ගැන අවධානයෙන් බලාගෙන ඉන්න මවුපියන් එතරම් උනන්දුවක් දක්වන්නෙ නැහැ. කාර්ය බහුලතාවත් ඊට හේතුවක්.

රඹුටන් ලිස්සා යන සුලු පලතුරක් නිසා කට තුළට ගත් විට පොඩි දරුවන්ගේ උගුරටම ගිහින් හිරවෙන්න පුළුවන්. රඹුටන් ඇතුළු වෙනත් පලතුරු එනම් ලොවි, වෙරළු, මැංගුස්, නෙල්ලි, ඇඹුල් පෙර ගෙඩි කුඩාවට කැබලිකර කන්නේ නැතිව කට තුළට ගත්තොත් ඒ විදියට හිරවෙන්න පුළුවන්. කාසි හා ඔරලෝසු බැටරි කටේ දමා ගන්නා පොඩි ළමයින්ට ඒවා උගුරේ හිරවීමෙන් අනතුරුදායක තත්ත්වයක් උදාවෙන්න ඉඩ තිබෙනවා. මොනවා හරි කටට ගත්තාම ඒවා යන්න පුළුවන් මාර්ග දෙකක් තිබෙනවා. ඉන් එකක් ශ්වසන මාර්ගය. අනෙක ආහාර මාර්ගය.

රඹුටන් ඇටයක් ශ්වසන මාර්ගයට ගියොත් ශ්වසන මාර්ගය සම්පූර්ණයෙන්ම හිරවෙන්න පුළුවන්. එය පොඩි ළමයකුට බරපතළ ගැටලුවක්. මෙයින් හුස්ම පොදක්වත් පෙණහැල්ලට යන්නේ නැති වුණොත් හරි ඊට ආසන්න මට්ටමින් ශ්වසන මාර්ගය අවහිර වී තිබුණොත් මරණය සිදු වෙනවා. නියමිත අන්දමින් ප්‍රථමාධාර ලබා නොදුන්නොත් එවැනි අවස්ථාවක ජීවිතය බේරා ගැනිම හරිම අමාරුයි. රඹුටන් මෙන් නොව කුඩා ප්‍රමාණයේ ඇටයක් ශ්වසන නාළයෙන් බෙදිලා යන කුඩා ශ්වසන නාළවල හිර වුණොත් ප්‍රශ්න ඇති වෙනවා අඩුයි.

එවැනි අවස්ථාවක ළමයට හුස්ම ගන්න එතරම්ම අමාරුවක් ඇතිවන්නෙ නැහැ. එහෙත් කුඩා නාළයක හිරවෙන ඇටය හෝ ගෙඩිය නැතිනම් කටට ගෙන උගුරේ හිරවෙන වෙනත් ද්‍රව්‍යයක් වුවද ටික කාලයක් යන විට බරපතළ තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. එවැනි තත්ත්වයන් විමසීමේදී කාරණා දෙකක් වැදගත් වෙයි. ඉන් පළමුවැන්න වැළැක්වීමය. දෙවැන්න ප්‍රථමාධාර ලබාදීමය.

පළමු කාරණයේ දී හිතට ගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා.
කුඩා ළමයින්ට රඹුටන් දීමේ දී කළ යුත්තේ රඹුටන් ඇටය ඉවත්කර එහි කොටස් කුඩාවට කැබලි කර පිඟානකට දමා ළමයාට දීමයි. වෙරළු ඇට අයින්කර කෑලි වශයෙන් ද ලොවි නෙල්ලි මැංගුස් වැනි පලතුරු ද කුඩාවට කැබලි කර ළමයින්ට දිය හැකිය. ළමයාට කෑම ජාති පලතුරු කන්න දෙන අවස්ථාවලදී ළමයා ඒවා කන අන්දම මවුපියන් වැඩිහිටියන් බලාගෙන සිටීම අවශ්‍යය.

වයස අවුරුදු 3, 4 න් පහළ ළමයින්ට ආහාර දුන්නත් සෙල්ලම් බඩු ගෙනත් දුන්නත් එම වයසේ දරුවන් කන විටත් සෙල්ලම් බඩු අතට අරගෙන සෙල්ලම් කරන විටත් මවුපියන් වැඩිහිටියන් පොඩි අය දිහා ඇහැ ගහගෙන වැඩි අවධානයකින් බලාගෙන සිටීම අවශ්‍යයෙන් කළ යුතු දෙයක්.

කුඩා දරුවන්ට දෙන සෙල්ලම් බඩුවල වයස් සීමාව සටහන් කර සුදුසු නුසුදුසු බව දක්වා තිබෙනවා. දරුවන් කටට ගන්න සෙල්ලම් බඩුවල කුඩා කෑලි තිබේනම් ඒවා සුදුසු නැහැ. මේ කෑලි කටින් උගුරට යන්න පුළුවන්. අපි ආහාර ගන්නා විට චාරිත්‍රානුකූල සිරිත් තියෙනවා. කනකොට කතා කරන්නේ නැහැ. පොඩි ළමයින් කතා කර කර කෑම ගැනීම සිදු කළහොත් ඒක ප්‍රශ්නයක්. උගුරට පොඩ්ඩක් පහළින් ආහාර මාර්ගය හා ශ්වසන මාර්ගය තිබෙන්නෙ. මේ මාර්ග දෙකටම එකම දොරටුවයි තිබෙන්නෙ.

කන එකයි කතා කරන එකයි දෙකම එකට කරන්න ගියාම කන දේවල් ශ්වසන මාර්ගයට යනවා. හුස්ම ගන්න ඒවා බඩට යනවා. ඒ නිසා වැඩුණු දරුවකු හෝ වැඩිහිටියකු කෑම කන විට හිර වුණොත් කැහැලා තත්ත්වය මඟ හරවාගන්න පුළුවන්. කුඩා ළමයෙකු එවැනි තත්ත්වයකට පත් වුවහොත් වැඩිහිටියකුගේ උදව් ඕනැ වෙනවා. කුඩා ළමයින්ට ආහාර දෙන විට කුඩාවට කැබලි කර දිය යුතු ආහාර ගැන අවධානය යොමුකර එසේ කරන්න. ලොකු ආහාර කැබලි දෙන්න එපා.

රඹුටන් ගෙඩියක් නැතිනම් වෙනත් පලතුරු ගෙඩියක්, ඔරලෝසු බැටරියක්, සෙල්ලම් බඩුවල කොටසක් ළමයකුගේ උගුරේ හිර වුණොත් ඉක්මනින් සිදුකළ යුත්තේ කුමක් ද?
එවැනි අවස්ථාවක කළ යුතු වැදගත්ම දෙය ළමයාගේ හිස පහළට සිටින සේ තබාගෙන අතේ අල්ලෙන් පහරවල් කිහිපයක් ළමයාගේ පිටට (උරපත් දෙක අතර තියෙන කොටසට) තදින් ගසන්න. එසේ පහරදීම් නිසා පපුවේ පීඩනය වැඩි වී බෝතලයකින් ඇරී පොරප්පයක් විසි වී යනවා වගේ උගුරේ හිරවී තිබෙන දේ එළියට විසි වෙන්න පුළුවන්.

ඒ වගේම පපුව අත් දෙකින්ම තදින් තද කිරීමෙන් ද ගැස්සීමෙන් ද හිර වී තිබෙන දේ පිටතට එන්න පුළුවන්. මේවා සිදු කරගෙන යද්දි ළමයාගේ කට ඇර පරීක්ෂා කර බලන්න. ගිලුණ දේ සමහරවිට කටට ඇවිත් තිබෙනවා ද කියා. එසේ තිබෙනවා නම් ඇඟිලි කට තුළට දමා එය ඉවත් කරන්න. මේ ප්‍රථමාධාර ඉක්මනින් සිදු කරමින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න. හුස්ම ගැනීම අපහසු වී ළමයාට අමාරු තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නම් වහාම රෝහලක් වෙත ළමයා රැගෙන යන්න.

කුඩා ළමයෙක් යම්කිසි දෙයක් ගිල්ල බව අපි සැක හැර දැන ගැනීම ද වටිනවා. ළමයාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට මෙසේ දැනගැනීම අවශ්‍යය. ඔරලෝසු බැටරියක් වැනි දෙයක් ගිල තිබෙනවා නම් එක්ස් රේ පරීක්ෂණයකින් එය ශරීරයේ ඕනෑම තැනක තිබෙනවා නම් වෛද්‍යවරයාට හඳුනාගන්න පුළුවන්.

ළමයෙක් යමක් ගිල හිර වී තිබුණොත් බට දමා ඉවත් කරන්න වෙනවා. ශ්වසන මාර්ගයේ හිරවීමක් නම් සිහිය නැතිකර එය සිදු කළ යුතුය. එවැන්නක් සංකීර්ණ ක්‍රියාවලියක්.

දරුවන් යමක් අතට අරගෙන කටේ දාගන්න යන විට හෝ වතුර හා ගින්දර ළඟට යන අවස්ථාවක් දැක්කොත් බොහෝ විට මවුපියන් වැඩිහිටියන් කලබල වී එක පාරට කෑ ගසමින් එපා යයි කිව්වොත් ළමයා අතට ගත් ඒ දේ කටට දමා ගිලීම සිදු කරනවා. ළමයා හිතලා හෝ ඉබේට කරන දෙයක් මෙය. ගින්දර අල්ලන්නත් වතුර අල්ලන්න හෝ වතුරට වැටෙන්නටත් එයින් අනතුරක් සිදුවෙන්නටත් පුළුවන්. ළමයා ඒ අසලට යාමෙන් ඒ ගැනත් අවධානය යොමු කරන්න.

කුඩාම අවධියේ දරුවෝ හැම දෙයක්ම ඉගෙන ගන්නේ කටින්ය. කට ඇරගෙන මේවා කරන්නට පුරුදු වෙනවා. එවැනි අවස්ථාවක වුවත් දරුවා යමක් කටට දමා ගන්න ඉඩ තිබෙනවා.

‘කොට්’ එකේ යතුරු කැරැල්ලක් දමා තිබියදී දරුවාගේ අතට එය අසුවි කටේ දමා උගුරේ හිරකර ගත් අවස්ථාවක් ද වාර්තා වී තිබෙනවා. දරුවන්ට අතට අසු නොවෙන්නට බඩු තබන්න මේ කරුණ පෙන්වා දෙන්න පුළුවන්.

කුඩා දරුවන් අතට යමක් අසුවූ විට කටට දමා ගැනීම සාමාන්‍යයෙන් සිදු කරනවා. මේ නිසා දරුවා අතට පත්වන හැම දෙයක් ගැනම මවුපියන් වැඩිහිටියන් විමසිලිමත් වීම අවශ්‍යයෙන්ම යුතු විය යුත්තක්. එවැන්නක් සිදුවුවහොත් වරද දරුවා අත නොව වැඩිහිටි ඔබ අතේය.

කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ළමාහේවා, සුනිල් දයා අල්විස් (උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)