කමල් අද්දරආරච්චි ටින් මාළු වෙනුවෙන් හඬ නගයි.

කමල් අද්දරආරච්චි කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පියෙක්. මේ දවස්වල ඔහු බරපතළ ගැටලුවකට මැදිහත් වෙලා කියල අපට ආරංචි වුණා. ඒ ගැන වැඩිදුර විස්තර හොයලා බලද්දී ඒක ටින් මාළු කර්මාන්තයට සම්බන්ධ ගැටලුවක්. කමල් අද්දරආරච්චි කියන කලාකරුවා සහ ටින් මාළු අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ ගැන ඇත්තම කතාව කමල් අද්දරආරච්චි සති අන්ත පුවත්පතකට කියල තිබ්බේ ම එවිදිහට…

කලා ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්න හැමදෙයක්ම අමතක කරලා කමල් මේ දිනවල ටින් මාළු ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නවා කියන්නේ ඇත්තද?

කතාව ඇත්ත. අපේ රට වටේටම තියෙන්නේ මුහුද. ඒත් එච්චර විශාල මුහුදු සම්පතක් තිබිලත් ඒකෙන් විදේශිකයන් තමයි වැඩිපුර ප්‍රයෝජන ගන්නේ. මොකද අපේ මුහුදු සම්පත හරි හැටි කළමනාකරණය කරන්න අපේ දේශපාලකයෝ දන්නේ නැහැ. ධීවර කර්මාන්තයට අනුබද්ධ වෙලා තියෙන ටින් මාළු කර්මාන්තය දියුණු කරන්න වුවමනා සම්පත් ඕනෑ තරම් තියෙද්දීත් දේශීය ව්‍යවසායකයන්ට පහසුකම් සලසන්නේ නැතිව ටින් මාළු පිටරටින් ගේනවා. ඒ මදිවාට ටින් මාළු නිෂ්පාදනය කරන චීන කර්මාන්තශාලා ලංකාවේ විවෘත කරන්නත් සූදානම් වෙනවා. මෙන්න මේ අසාධාරණයට විරුද්ධව තමයි මට මේ දවස්වල වැඩි පුර කට අරින්න සිද්ධ වෙලා තියෙන්නේ.

ටින් මාළු කර්මාන්තය වෙනුවෙන් ඔබට ඔය විදියට හඬ නගන්න තියෙන්නේ ඔය කියන ගැටලුව ඔබටත් බලපාන එකක් නිසයි කීවොත් නිවැරදිද?

මගේ හිතවත් විදේශීය ආයෝජකයන් පිරිසකගේ ටින් මාළු කර්මාන්ත ශාලාවක ලංකාවේ හවුල්කරුවා විදියට මම කටයුතු කරනවා. ඒ හැරුණාම ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ‍ලේකම්වරයා විදිහටත් මම කටයුතු කරනවා. ඒ නිසා තමයි මට මේ ගැටලුව සම්බන්ධයෙන් වැඩිපුර මැදිහත් වෙන්න සිදුවෙලා තියෙන්නේ.

මේ දේවල් අහද්දී, කමල් අද්දරආරච්චි කියන ප්‍රවීණ නළුවා අද කලා ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත්වෙලා වගේ ඉන්නේ ව්‍යාපාරික කටයුතුවලට මුල් තැන දෙන නිසයි කියලා කෙනෙකුට හිතුණොත්?

ඇත්ත කතාව මේකයි. තමන්ට හොඳටම කරන්න පුළුවන් දේ තමයි කෙනෙක් තමන්ගේ ජීවිකාව විදිහට කරන්න ඕන. හැබැයි වෘත්තීය විදියට කලාවේ යෙදෙන්න පුළුවන් වාතාවරණයක් මට නම් අද නැහැ. මොකද, අද සිනමාව වළ පල්ලට ගිහිල්ලා. නාට්‍ය, සංගීතය, කෙටි කතාව, නවකතාව, වගේ හැම කලා මාධ්‍යයකම අද තියෙන්නේ ඇල් මැරුණු ස්වභාවයක්. මට ජීවත් කරන්න පවුලක් ඉන්නවා. නළුවෙක් විදිහට මම ගොඩ නගාගත් ප්‍රතිරූපය රැකෙන විදිහට මම ජීවත් වෙන්න ඕන. ඉතින් ඒ විදිහේ වාතාවරණයක් තියෙද්දී දහ ජරා නිර්මාණවල රඟපාන්නේ නැතුව මට ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන් විදිහේ ව්‍යාපාර කටයුත්තක යෙදෙන එකයි මම අද මේ කරන්නේ.

ටින් මාළු කර්මාන්තයටත් කණ කොකා හඬලා තියෙන්නේ දේශපාලකයන්ගේ වැරදි තීන්දු තීරණ නිසා කියලයි ඔබ පැවැසුවේ. කලින් වතාවකත් දේශපාලන ‍පොර පිටියට එන්න අර ඇඳපු ඔබට අද හිතෙන්නේ නැද්ද? දේශපාලකයෙක් බවට පත්වෙලාම මේ දේවල් නිවැරදි කරන්න තිබුණා නම් හොඳයි කියලා?

අ‍පොයි නැහැ. අපේ රට හොඳ තැනකට ගේන්න පුළුවන් විදිහේ අවස්ථාවක් උදා වුණත් අවාසනාවකට ඒක ගිලිහිලා ගියා. දේශපාලකයා කියන කෙනා අද පහළම මට්ටමකට වැටිලයි ඉන්නේ. ජනතාවගේ ආකල්ප වෙනස් කරලා රට දියුණු කරන්න සැබෑ ඕනෑ කමක් ඔවුන්ට නැහැ. ඉතින් මම මේ අය අතරට එකතු වුණොත් මටත් ආත්මයක් නැති වෙනවා. ඒ නිසා දේශපාලනයට එන අදහසක් නම් දැන් මට නැහැ.

නමුත් මෑතකදී ඔබ රඟපෑ දේශපාලකයකුගේ චරිතයකට නම් මේ වන විටත් සිනමා ලෝලින්ගේ විශාල අවධානයක් තියෙන්නේ, ඔබ රෝහණ විජේවීර මහතාගේ චරිතය ප්‍රතිනිර්මාණය කළ “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය ලංකාවට ගෞරවයක් ගෙන දීමට සූදානම් වෙන බවත් ආරංචියි. එහෙම නේද?

ඔව්. ඔස්කාර් සම්මාන උළෙල සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයට ලැබිලා තියෙනවා. ප්‍රධාන ධාරාවේ සම්මාන උළෙලක් නියෝජනය කිරීමට ලැබෙන එම අවස්ථාව අපි ලැබූ ජයග්‍රහණයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

“ගින්නෙන් උපන් සීතලට” කලින් ජයන්ත චන්ද්‍රසිරිගේ “ඝර සර්ප” චිත්‍රපටයෙන් ඔබව දැක ගැනීමට හැකි වේවි නේද?

“ඝර සර්ප” චිත්‍රපටයේදී කථිකාචාර්යවරයෙක් විදිහට රඟපාන්න ලැබිම මට ලැබුණු අලුත් අත්දැකීමක්. ඒ රංගනය මොන වගේද කියලා තවත් දින කිහිපයකින් සිනමා ලෝලීන්ට දැක ගන්නට ලැබේවි.

courtesy –  24.siyathafm.lk