ඇමෙරිකාවේ ළාබාලතම කෝටිපතිනිය කිම් පවුලෙන්

අවුරුදු විස්සක් වැනි ළාබාල වයසකදී ජාත්‍යන්තර ව්‍යාපාර ලෝකය ජය ගැනීමට හැකිනම් එය එක් අතකින් ආශ්චර්යයකි.

මන්ද මේ වයසේ බොහෝ තරුණ තරුණියන් තවමත් යැපෙනුයේ දෙමවුපියන්ගෙන් වීම හේතුවෙනි.

නමුත් දෙමවුපියන්ගේ මුදල් පරිහරණය නොකරමින් ස්වෝත්සාහයෙන් මෙවැනි උසස් තලයකට පැමිණීම ඇත්තෙන්ම භාග්‍යයකි. ඇමෙරිකාවේ පවුලක ළාබාලම දියණිය වූ ඇය එසේත් නොමැතිනම් ඇමෙරිකාවේ රියැලිටි තරු පොකුරක සුරතලියක් වූ ඇය නමින් කයිලි ජෙනර්ය. ෆෝබ්ස් සඟරාවේ ඇය ගැන ප්‍රකාශ වීමත් සමග බොහෝ දෙනා ඇය ගැන කතා කරන්නට විය.

රියැලිටි තරු පවුලක් ලෙස සුප්‍රසිද්ධ කාඩේෂියන් පවුලේ සමාජිකාවක් වන අැය කෙයිලි ජෙනර්ය. ඇය ඇමෙරිකානු නිරූපණ ක්ෂේත්‍ර‘යේ තරුවක් වන කිම් කාඩේෂියන්ගේ සොහොයුරියකි. ඇමෙරිකානු ඩොලර් මිලියන 900ක මුදලකට අවුරුදු 20ක් වැනි අඩු වයසකින් හිමිකම් කියන්නට ඇය සමත් බව පසුගියදා ෆෝබ්ස් සඟරාව මගින් ප්‍රකාශ කෙරිණි. ස්වෝත්සහයෙන් දියුණු වූ ලොව ළාබාලතම ප්‍රකෝටිපතියා බවට පත්වීමේ මගට කයිලි මේ වන විටත් පියමනිමින් සිටින බවට ෆා්බ්ස් සඟරාව වැඩිදුරටත් සඳහන් කරයි.

ඇය ලොවම හඳුනන රූපවාහිනී රියැලිටි තරුවකි. තවත් ලෙසකින් නිරූපිකාවකි, සමාජ මාධ්‍ය තරුවක් සේම ලොවම පිළිගත් රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමක හිමිකාරිණියකි. ඇගේ දෙමවුපියන් කෙට්ලින් ජෙනර් හා ක්‍රිස් ජෙනර් වන අතර කාර්ඩිෂන් පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනෙකු වේ. කිම් කාර්ඩිෂන්ද ඇගේ සහෝදරියක් වන අතර මේ පවුලම එක් අතකින් රූපවාහිනී තිරයේ බැබලෙන තරු පොකුරක් ලෙස හැඳින්වුවහොත් එය වරදක් නොවේ.

ඇය උපත ලබන්නේ 1997 වර්ෂයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස්වලදීය. කයිලිගේ සහකරුවා වන්නේ රැප් ගායක ට්‍රැවිස් ස්කොට් (Travis Scott) වන අතර මොවුන් දෙදෙනා අතරට මේ වසරේ එක්වුණ සිඟිති දියණියක්ද සිටින අතර, ඇය නමින් Stormi Webster නම් වේ.

මෙවන් ධනවත් පවුල් පසුබිමකින් පැවත ආවද කයිලි ප්‍රකෝටිපතිනියක් වන්නේ ස්වෝත්සහයෙන් වීම සුවිශේෂී වේ. සාමාන්‍යයෙන් අප ජීවත්වන සමාජයේ නම් වයස අවුරුදු 20ක තරුණියක් යනු එක් අතකින් උසස් අධ්‍යාපනය හදාරන්නියක් හෝ වගකීම් විරහිතව දෙමවුපිය සෙනෙහස ලබමින් ජීවත් වන්නියකි. නමුත් කයිලි ඒ කඩඉම පවා පසුකර මේ වයස වන විට විශාල ප්‍රාග්ධනයකට උරුමකම් කියා තිබේ. කයිලි කොස්මැටික්ස් නම් සන්නාමය යටතේ තම වෙළෙඳ ව්‍යාපාරය පවත්වාගෙන යන ඇයව මේ වන විට ලොව නොදන්නා කෙනෙකු නොමැත.

රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවිකාරිනියක් ලෙස ඇය තම වෘත්තිය ආරම්භ කර ඇත්තේ මීට වසර තුනකට පෙරය. එනම් 2015 වර්ෂයේදීය. කයිලි වෙළෙඳ නාමය යටතේ රූපලාවණ්‍ය නිෂ්පාදන හඳුන්වා දෙන්නට කටයුතු කළ ඇය විශේෂයෙන්ම කාන්තාවන්ගේ දෙතොල් විශාල කර පෙනෙන පරිදි ප්‍රදර්ශනය වීම සඳහා භාවිත කළ හැකි විවිධ ආලේපන රැසක් ඇය විසින් මේ වන විටත් හඳුන්වා දී තිබේ.

කයිලි වුවද තමාගේ දෙතොල් තාවකාලිකව විශාල කර ගැනීමේ ක්‍රම අනුගමනය කරන බව වරක් මාධ්‍ය හමුවේ පවසා සිටියද, එසේ ලබාගත් එන්නත් නතර කර දමා ඇති බව මෑතකදී ඇය විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ. ඒ තම නිෂ්පාදනයන්ගේ තොල් ආලේපන මගින් ඒ හා සමාන අලංකාර පෙනුමක් ලබාගත හැකි නිසාවෙනි.

ඇය අද ව්‍යාපාර ක්ෂේත්‍ර‘යේ දක්ෂ ව්‍යාපාරිකාවකි. මවකි. ආදරණීය සහකාරිනියකි. නිරූපිකාවකි. ඒ සැමටම වඩා රියැලිටි තරුවකි. කුඩා වයසකින් බොහෝ දේ ලබාගෙන ඇති ඇයට කාන්තාවක් වශයෙන්, ව්‍යාපාරිකාවක් වශයෙන් තවත් බොහෝ දේ ලෝකයට හඳුන්වා දීමටද හැකිවේවායි සුබ පතන්නෙමු.