බුදුන්ගේ ධර්මයෙන් මේ රට එක්සේසත් කල හැකියි..- රෙජිනෝල්ඞ්

යුද හමුදාපතිතුමාගේ උපදෙස් පරිදි මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥපති මේජර් ජෙනරාල් රාජගුරු මහතාගේ අධීක්ෂණය යටතේ 59,64 හා 68 සේමු හි සේනාංකාධිපතිවරුන්ගේ මෙහෙයවීම ඇතිව උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය ශ‍්‍රී බෝධිරාජ පදනමේ අනුග‍්‍රහයෙන් මුලතිව් ප‍්‍රදේශයේ අසරණ ජනතාව සඳහා උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පොසොන් පෝදා මුලතිව් මහජන ක‍්‍රීඩාංගණයේදී සිදු කෙරිණ.

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකා ප‍්‍රධාන සංඝ නායක උපරිමානුවිප්පක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුළු සංඝයාවහන්සේලාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම උපකරණ බෙදාදීම සිදු කරනු ලැබූ අතර අසරණ ජනතාව වෙනුවෙන් කිරි එළදෙනුන් 100ක්ද ආබාධිත තත්වයට පත් අය සඳහා රෝදපුටු 50ක්ද පාසැල් දරුදැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් පාසැල් උපකරණ සහ පොත් පැන්සල් කට්ටල 150ක්ද කෘෂිකර්මාන්තයට ශක්තියක් වෙමින් උදළුතල 150ක්ද බෙදාදුන් අතර මෙහි සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට ආසන්නය.

මෙම පරිත්‍යාග ලබා දීමේදී සංඝයාවහන්සේලා මෙන්ම පූජකතුමන්ලාද, සිංගප්පූරුව සහ තායිලන්තයේ පරිත්‍යාගශීලීන්ද, මුලතිව් දිස්ත‍්‍රික්කයේ පොලිස් අධිකාරිතුමන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්, කෘෂිකර්මාන්ත අධ්‍යක්ෂකතුමන්, සෞඛ්‍ය වෛද්‍යවරුන් සහ යුධ හමුදාවේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් මහත් වෙහෙසක් ගෙන කටයුතු කරන ලදී.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමා,

මේ ගිනිගෙන දැවෙන කතරට ඔබවහන්සේලාගේ පැමිණිම මහා වරුසාවක්. මම ඔබවහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ නැවත නැවතත් මේ ප‍්‍රදේශයට වැඩම කොට බුද්ධ ධර්මයේ ඇති වැදගත්කම පෙන්වාදී මෙහි වෙසෙන අහිංසක ජනතාවට උදව් උපකාර කරන ලෙසය.

තවද බුදුන් වහන්සේගේ දර්ශනය මත කටයුතු කළොත් ජාති, ආගම්, කුල, පංති භේද ඇති වන්නේ නෑ. ඒ වගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවලින් හා නීතිරීති වලින් නොව බුදුරජාණන් වහන්සේ දේශනා කල දහම් පණිවිඩ මගින් මේ රට එක්සේසත් කල හැකියි.

මෙම අවස්ථාව සඳහා යුධ හමුදාවේ සහ රාජ්‍ය අංශයේ නිලධාරීන් සහ ප‍්‍රදේශයේ අහිංසක ජනතාව සහභාගි වී සිටියහ.

ලංකා සි නිව්ස්