ඒ හැඟීමට දිගුකල් යන්න බැරිවුණා.. අයියා ඒ කෙනාට ගැහුවා. මට සෑහෙන මානසික වදයක් වුණා

පියුමි බොතේජු කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය නිළියක්. ඇයගේ ආදර කතාව සතිඅන්ත පුවත්පතකට පියුමි මේ විදිහට කියලා තිබුණා.

පියුමි කියන්නෙ හැමදාමත් ආදරයත් එක්‌ක ජීවත් වුණ කෙනෙක්‌ද?

ඇත්තටම. පාසලේදි මම හරිම ආදරණීය දැරියක්‌ වුණා. අපේ යාළුවො අතර මම හරි ජනප්‍රියයි. ඉඩක්‌ ලැබුණ වෙලාවට අපේ පාසලේ ගුරුවරුන්ගෙ චරිත මම රඟපානව.

මම හරිම විනෝදයෙන් කාලය ගත කළේ. ඒ වගේම ක්‍රීඩාවට වගේම හැම දෙයකටම ඉදිරිපත් වෙන ළමයෙක්‌ නිසා ගුරුවරුන්ගෙත් ආදරය ලැබුණා යාළුවො අතරත් ජනප්‍රිය වුණා. පාසෙලේ ශිෂ්‍ය නායිකාවක්‌ විදිහටත් මම කටයුතු කළා. මගේ අම්ම මගේ පාසලේම ගුරුවරියක්‌ වීම නිසාත් ලොකු අවධානයක්‌ මට ලැබුණා.

පියුමිට පාසැල් වියේ ප්‍රේමය ඉඟි කළේම නැතිද?

යාළුවන්ගෙ ප්‍රේම සබඳතාවලට මම හරියට උදව් කරන කෙනෙක්‌. යාළුවන්ට ප්‍රේම සබඳතා තිබුණට මට ඒ කාලේ ප්‍රේම සබඳතාවයක්‌ තිබුණෙ නැහැ. හැබැයි එක දවසක මම මගේ යාළුවෙකුට කැමතිද කියලා පිරිමි ළමයෙකුගෙන් ඇහුවම නෑ මම ඔයාටයි කැමති කියල ඒ පිරිමි ළමය කිව්වා.. මම කොණඩෙ කොටට කපල කොල්ලෙක්‌ වගේ හිටියෙ. මම කැමති වුණේ ක්‍රීඩිකාවක්‌ වෙන්න. ආදරයක්‌ ගැන මගේ හිතට උනන්දුවක්‌ තිබුණෙ නැහැ.

පියුමිගෙ යාළුවන්ගෙ ප්‍රේම කතාවලට ඔබෙන් ලැබුණ උදව් මොනවද?

වැලන්ටයින් ඩේ එක දවසට යාළුවන්ගෙ පෙම්පත් රෝස මල් පින්තූර ගුරුවරුන්ගෙන් හා ශිෂ්‍ය නායක නායිකාවන් වසන් කරගන්න මමත් උදව් කරනවා.. අපි පන්තියේ බුදු පහන තියන තැන පිටුපස තමයි ඔය දේවල් හංගන්නෙ සමහර වෙලාවට යාළුවන්ගෙ පෙම්පත් මගේ ඇඳුම් අස්‌සෙත් හංගගෙන ඉඳල යෙනවා.

මෙතරම් රූපත් පාසැල් දැරියක දිහා ආදරයෙන් බලපු එක දෑසක්‌වත් නොතිබුණා ද?

දහය වසර විතර වෙත්දි මම කොටට කපල තිබුණ කොණ්‌ඩෙ වවන්න පටන් අරන් තිබුණා. අර පිරිමි ළමයගෙ පෙනුමෙන් ගැහැනු ළමයගෙ පෙනුමට මාරුවෙමින් තිබුණ කාලයේ මටත් ආදර දෑසක්‌ ඉඟි කළා. මම වොලිබෝල් සෙල්ලම් කරනවා එයත් වොලිබෝල් සෙල්ලම් කරනවා. අපි දෙන්නම පාසලේ වොලිබෝල් ක්‍රීඩා කරනවා අපි දෙන්නම ශිෂ්‍ය නායකයො ඒ තැන්වලදි ආදර බැල්මවල් හුවමාරු කරගන්නවා. ඒ ආදර කතාවේ ඔය වගේ සුන්දර සටහන් ටිකක්‌ තමයි තිබුණෙ.

ඇයි ආදරය උපන් ගෙයිම මියෑදුණාද?

මේ සුන්දර විඳීමට දිගුකල් යන්න බැරිවුණා. මගේ අම්මා ඒ පාසලේම ගුරුවරියක්‌ ඒ නිසාම ඒක එච්චර කල් කරගෙන යන්න බැරි වුණා. පාසලේ ළමයෙක්‌ ගිහින් අපේ අයියට කියලා තියෙනවා මේ පිරිමි ළමයා මට වදයක්‌ වෙනවා කියලා. අපේ අයියා ඒ කතාව අහලා ඒ ළමයට ගැහුවා. එදායින් පස්‌සෙ එයා කවදාවත් මගේ මුහුණ බැලුවෙ නැහැ. මම හිතන්නෙ ඒ ළමය හිතන්න ඇත්තෙ මම අයියට කියලා එයාට ගැස්‌සුවා කියලයි. ඒ සිදුවීම මට සෑහෙන මානසික වදයක්‌ වුණා. එයින් පස්‌සෙ නම් මට පාසැලේ ආදරයක්‌ තිබුණෙම නැහැ.

තමනට ලැබෙන ආදරය ගැන පියුමිට හීනයක්‌ තිබුණද?

මගේ හීනය තිබුණෙ අපේ ලොකු අයියා වගේ කෙනෙක්‌ට ආදරය කරන්නයි. ඒ වගේ කෙනෙක්‌ගෙ ආදරය ලබන්නයි.. මොකද මට අයියල තුන්දෙනෙක්‌ හිටියත් ලොකු අයියා තමයි අපේ පවුලෙන් ඉස්‌සරලාම විවාහ වුණේ. එයා එයාගෙ බිරිඳට දරුවන්ට ආදරය කරන විදිහ දකිත්දි මට හිතුනෙම මටත් ඒ වගේ ආදරයක්‌ තමයි කවදහරි ලැබෙන්න ඕන කියලා.

ඉතින් පියුමි පෙම්වතියක බිරිඳක විදිහට ඒ හීනය හැබෑකර ගත්තද.?

මෙහෙමයි සමහර අවස්‌ථාවල ඒක එහෙම වුණ අවස්‌ථාත් තියෙනවා. එහෙම නොලැබුණ අවස්‌ථාත් තියෙනවා.. සම්පූර්ණයෙන් මට ලොකු අයියා වගේම කියන කෙනාම හමුවන්නෙ නැහැ.

අද දවසෙ ආදරය ළඟ පියුමි සෑහීමට පත්නොවන චරිතයක්‌ද?

මම මගේ ආදරය ගැන තෘප්තිමත්. එහෙම නැති නම් මේ විදිහට සාර්ථකව අපි දෙන්නට ජීවිතේ ගෙනියන්න බැහැනෙ. මම හැමෝටම ආදරය කරන හැමෝටම ආදරය බෙදන කෙනෙක්‌.

මේ තරම් ආදරය බෙදන හිතකට පෙම් ඇරයුම ගලා එනව ඇතිනෙ?

රසිකයන්ගෙන් අනන්ත අප්‍රමාණව ආදර ඇරයුම් ලැබෙනවා. ඒ වගේ අවස්‌ථාවල බොහොම ස්‌තූතියි කියනව හැර වෙන ප්‍රතිචාරයක්‌ දක්‌වන්න බැහැනෙ. මම කාගෙවත් හිතක්‌ නොරිද්දන කෙනෙක්‌. මාත් එක්‌ක නිතරම වැඩ කරන කෙනෙක්‌ මට එහෙම ආදරය ප්‍රකාශ කළොත් මම එයාට කියන්නෙ අපි හොඳ යළුවො ඒ යාළුකම නැතිවෙන්න ඉඩදෙන්න එපා කියලා ඒ කෙනාගෙ ආදර හැඟීම නැති කරලා දානවා..

පියුමිගෙ ජනප්‍රියත්වය ඔබගේ පෞදගලික දිවියේ ආදර කතාවට බලපෑවද?

ඒක මට ආදරය කරන කෙනා හරහා දැනගන්න ඕන දෙයක්‌ මම ජනප්‍රිය වීම නිසා එයා මට ආදරය කරන්න පෙළඹුණාද කියන එක. මම නම් මා ගැන හිතන්නෙ මම ඉතාම සාමාන්‍ය කෙනෙක්‌ කියලයි. ජනප්‍රියත්වය කියන්නෙ අපේ වෘත්තිය එක්‌ක අපිට ලැබෙන දෙයක්‌. මම පෞද්ගලික ජීවිතයට ඒක ගන්නෙ නැහැ. නිළිය කියල භුමිකාවෙන් මිදිලයි මම ආදරය ජීවිතය දකින්නෙ.

Courtesy : webgossip.lk