සිරගතව සිටියදි උපාධියක් ලබා ගත් ඉන්දික තවත් පියවරක් ඉදිරියට තබයි

මරණීය දණ්ඩනයට නියමව වැලිකඩ බන්ධනාගාරගත කර සිටින සිරකරුවෙක් සිරගතව සිටියදීම ශාස්ත්‍රවේදී කලා උපාධිය (BA) ලබා ගත් පුවත නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා කළෙමු. හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන ඉන්දික බමුණුසිංහ මෙලෙසින් උපධිය හිමිකරගත් සිරකරුවා වූවා.

මේ අතර එලෙසින් ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත් ඉන්දික බමුණුසිංහ පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලැබූ සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MA) සඳහා පෙනී සිට ඉතා විශිෂ්ට සාමාර්ථයක් ලබාගෙන ඇති බවට වාර්තා වෙනවා.

මෙරට බන්ධනාගාර ඉතිහාසයේ රැඳවියෙකු විසින් උපාධියක් හිමි කරගත්තේ පළමු වතාවට වන අතර ඒ ඉන්දික බමුණුසිංහයි.

ලෝක බන්ධනාගාර ඉතිහාසය තුළ සිරකරුවන් සිවු දෙනකු මෙයාකාරයෙන් සිරගතව සිටින අතරවාරේදී මෙවැනි උපාධියක් හිමි කරගෙන ඇති අතර ඉන්දික බමුණුසිංහ එසේ සමත් ලෝකයෙන්ම වූ පස්වැන්නා බවට පත්විය.

සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තුවටම කීර්තියක් අත්කර දෙමින් ඔහු මෙම විශිෂ්ට දස්කම පෙන්වා ඇත්තේ ඉකුත් වසරේ (2017) ඔක්තෝබර් මාසයේදී බන්ධනාගාර නීතිරීතිවලට යටත්ව කැලණිය විශ්වවිද්‍යාලයේ අධීක්ෂණය යටතේ වැලිකඩ බන්ධනාගාරය තුළ පැවැත්වූ විශේෂ විභාග මධ්‍යස්ථානයක සිට පිළිතුරු ලියමිනි.

ඔහු පෙනී සිටි සමාජ විද්‍යාවට සම්බන්ධ සියලුම විෂයයන් ඉතා ඉහළින් සමත්ව ඇති බවද ඒ අනුව ඔහු ඒ (A) සාමාර්ථයක් හා බී (B) සාමාර්ථ පහක් ලබාගෙන ඇති බව සදහන්.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හා කැලණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ඇති බමුණුසිංහ එම විශ්වවිද්‍යාලවල පැවැත්වුණු ඔහුට අදාළ දේශන ඔහුගේ ඥාතියකු මඟින් පටිගත කරවාගෙන බන්ධනාගාරය වෙත ගෙන්වාගෙන ඒවාට සවන් දී ඒවා අධ්‍යයනය කරමින් එම විශිෂ්ට දස්කම පෙන්වා තිබේ.

ඔහුගේ එම හැකියාවන් අගය කර තිබෙන එවකට වැලිකඩ බන්ධනාගාර අධිකාරිව සිටි චන්දන ඒකනායක මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් ලබාගෙන ඔහුට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය මේස පුටු හා විදුලි ලාම්පුවක් ඔහුගේ සිරකුටිය වෙත ලබාදීමට පියවර ගෙන තිබිණි.

හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන ඉන්දික බමුණුසිංහ මරණීය දණ්ඩනය ලැබ වසර කීපයක් තිස්සේ වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙනි.

courtesy –  nethgossip.lk