බලාගෙන ඉන්න.. – කොදෙව් දේශයේදී වැඩ පෙන්වන කුසල් ඉදිරියේදී කරන්න යන ලොකු වැඩක් ගැන කියයි

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරඟාවලියෙදී පිත්තෙන් දස්කම් දක්වමින් සිටින යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් තමා ඉදිරියේදී ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබා ගැනීමේ මහත් බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන් කරයි.

ඔහු මෙම තරඟාවලියේ පළමු තරඟයේදී ශතකයක් රැස් කළ අතර , දෙවන තරඟයේදී ශ්‍රී ලංකා පිල වැටී තිබූ අසීරු තත්වයෙන් ගොඩ නැගීමට දෙවන ඉනිමේදී ලකුණු 87ක් රැස් කළේය.

“අපිට දැන් පුහුණුකරුවන් කියල තියෙන්නේ තමන්ට කැමැති පහරවල් වලට යන්න. තමන්ගෙ ඇඟේ තිබෙන පහරවල් වලට යන්න කියලයි. අපේ බය නැති කරවලා තියෙන්නේ. අපිට විශ්වාසය ඇති කරවල තියෙන්නෙ. අනෙක මේ වගේ තණතීරු වල ක්‍රීඩා කරන්නෙ කොහොමද කියලා පිතිකරණ පුහුණුකරු තිලාන් අයියත් අපේ අනෙක් පිතිකරුවනුත් එකතු වෙලා කතා වෙනවා. ඕස්ට්‍රේලියාවට ගිය මගේ පළමු සංචාරයෙත් මම ශතකයක් ලබා ගත්තා. ඒ වගේ පීඩනයක් එක්ක සෙල්ලම් කරන්න මම ආසයි. කොහොම වුණත් මේ වගේ වේගවත් ඉපිලීම වැඩි තණතීරුවක 100ක් ගහන්න ලැබීම ඉදිරි සංචාරවලටත් වැදගත්. එවන් අවස්ථාවලදී කණ්ඩායමෙනුත් මට ගොඩක් උදවු ලැබිලා තියෙනවා.

“මෙම සංචාරයේ තව එක් තරගයක් තියෙනවා. ඉදිරියේදී ලංකාවේ තව තරගාවලි දෙකක් තියෙනවා. එම තරගවලදී ඉක්මනටම ‘ද්විත්ව ශතකයක්‘ ගහන්න බලාපොරොත්තු වෙනවා. දඟ පන්දු යවන්නන්ට එරෙහිව වඩාත් හොඳින් ක්‍රීඩා කිරීමේ හැකියාවක් මට තිබෙනවා. ඒ අනුව තරගයක් මැද භාගයේදී වැඩිපුර ලකුණු ප්‍රමාණයක් රැස්කර ගැනීමට හැකියාව ලැබීමත් මට වාසියක්.”

“මම කණ්ඩායමට ආවෙත් ආරම්භක පිතිකරුවෙක් විදියටයි. බංග්ලාදේශයට ටෙස්ට් ලකුණු 190ක් ගැහැව්වෙත් ආරම්භක පිතිකරු විදියට. ඊට පස්සේ අංක තුන හතර ක්‍රීඩා කළා. ඒ හැම තැනම ලකුණු ගහලා තිබෙන නිසා ස්ථානය මට ලොකු ප්‍රශ්නයක් නොවෙයි. මම විස්සයි 20 සංචිතයට දානවට මුලින්ම මම කැමැති වුණේ නැහැ. මොකද මම ඒ තරග කලින් අසාර්ථක වූ නිසයි. මම කිව්වේ විස්සයි 20 ක්‍රීඩා කළාම මට ටෙස්ට් තරගවලට ප්‍රශ්නයක් වෙයි කියලයි. ඒත් පුහුණුකරුවෝ කිව්වේ දක්‍ෂතාව තිබෙන නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ ඒක මනසින් පාලනය කරගත යුතු දෙයක් කියලයි. දැන් ඉතිං ආකෘති තුනේම ලකුණු ගහන නිසා එකක් කියලා නැහැ හැම තරගයක්ම ක්‍රීඩා කරන්න කැමැතියි.” යනුවෙන් ද සඳහන් කළේය.

courtesy – nethgossip.lk