රජයේ රෝහලක වාට්ටූවක් තරු පන්තියේ හෝටලයක් වගේ ලස්සනට හදලා

රජයේ රෝහලක සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන සුන්දරබව, සිත නිවන අලංකාරත්වයකින් යුත් රෝහල් වාට්ටූවක් තිබේ. ඒ නවීකරනය කරමින් ජනතා අයිතියට පත් කෙරුනු මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයයි. බැලූ බැල්මට තරු පන්තියේ හෝටලයක පෙනුමකින් යුත් මෙම රෝහල් වාට්ටුව රජයේ රෝහලක කොටසක් යැයි සිතා ගැනීමට පවා අපහසුය.

රෝගීන්ගේ සිත නිවන භාවනා අසපුවක සුන්දරත්වය රෝහල් වාට්ටුවට එක්කිරීමේ මහ මොලකරු වාට්ටුව භාර ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.ඩී.එල්. සිරිවර්ධන ය. මේ පිළිබදව මාධ්‍යයට අදහස් දක්වන වෛද්‍ය සිරිවර්ධන පවසන්නේ

” සෑම රෝගියකු පසුපසම දුක්ඛ දෝමනස්ස කතාවක් තියෙනවා. කරන්න තිබෙන සැත්කම් බරපතළයි. කොන්දෙ, ඔළුවේ සැත්කම්වලට මේ වාට්ටුවට ඇතුළත් වෙනවා. ඒ හා සැසඳෙන පරිසරයක් මෙතැන තිබුණේ නැත්නම් රෝගීන් මානසිකවත් වැටෙනවා කියලා හිතුණා. ඒ නිසා තමයි මගේ වාට්ටුව වෙනස් කරන්න ඕන කියලා මම හිතුවේ. අපි සතුටු වීම සඳහා විනෝද චාරිකා, පිටරට චාරිකා යනවා. එවැනි පසුබිමක් මේ රෝගීන්ට නැහැ. මානසිකව සතුටු වෙන විදියට වාට්ටුව වෙනස් කරන්න ඕන කියලා මම හිතුවා.” යනුවෙනි.

මෙලෙසින් රෝහල අලංකාර ලෙසින් වෙනස් කිරීමට වියදම් හා අනුග්‍රාහකත්වය ලබා දුන්නේ රෝගීන් බවද වෛද්‍යවරයා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වන වෛද්‍යතුමන්

” මේ ස්ථානය තිබුණෙත් අනෙක් වාට්ටු වගේම තමයි. රෝගීන් හිටියේ පැදුරු උඩ. තමන්ගේ ගෙදර මේ රෝගීන් ලස්සනට ඉන්නවා. කෑම කන්න වෙනම කෑම මේසයක් තියෙනවා. ගෙදර ඒ වගේ ලස්සනට කාලේ ගෙවලා රෝහලට පැමිණියාම මානසිකව වැටෙනවා. ගෙදරටත් වඩා හොඳ තැනක් බවට මේ වාට්ටුව පත් කරන්න මට වුවමනා වුණා. ඒ දේ මම කොහොම හරි කළා. සියලුම වැදගත් පෙළේ උදවිය මේ වාට්ටුවේ තමයි නවතින්නේ. මල්වතු – අස්ගිරි හිමිවරුන්, මැති ඇමැතිවරුන් රෝහලට ඇවිත් නවතින්නේ මගේ වාට්ටුවේ. වාට්ටුව ඒ අනුව ප්‍රසිද්ධියට පත් වුණා. රෝගීන්ට අවශ්‍ය පිඟාන – කෝප්පය පවා මෙතැන තියෙනවා. මොළයේ, කොන්දේ කරන සැත්කම් බරපතළයි. දවසකට උපරිමයෙන් සැත්කම් දෙකක් වගේ කළ හැකියි. අයි.සී.යූ. ඇඳන් නැතිව සැත්කම් කරන්න විදියක් නැති වුවහොත් මිස හැමදාම සැත්කම් කරනවා.

මගේ වාට්ටුවට ඇතුළු වෙන කොටම රෝගියාට වෙනසක් දැනීම මත තමන් ලෙඩෙක් කියලා අමතක වෙන තරමටම මෙතැන පහසුකම් වැඩිදියුණු කර තිබෙනවා. ආණ්ඩුව ලක්ෂ ගණන් වියදම් කරලා කරන සැත්කම්වලදි නාසය වහ ගන්නේ නැතිව වැසිකිළි යා හැකි තත්ත්වයක් මේ ස්ථානයේ ගොඩනඟා තිබෙනවා. වැසිකිළි 11 ක් හදා තිබෙනවා. මේ වාට්ටුවෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ උපකාරය සඳහා රෝහල් කාර්ය මණ්ඩලය හැර පිටින් පුද්ගලයන් ගෙන්නා ගන්නේ නැහැ. වාට්ටුවේ කාර්ය මණ්ඩලය සියලු දේ කළ යුතුයි. කාර්ය මණ්ඩලයේ අයටත් අපි සැලකීමක් කරනවා. වැසිකිළි හා කාමර යනාදිය හදා දී තිබෙනවා. කාර්ය මණ්ඩලයෙන් වැඩ උපරිමයෙන් ලබාගන්නවා. වාට්ටුවට අනවශ්‍ය දේ වහාම ඉවත් කරනවා. කාර්ය මණ්ඩලය එක්ව සතුටු සාද පවත්වනවා. අපි පැදුරු පාටියක්, විනෝද චාරිකා 3 ක් ගොස් තියෙනවා. වාර්ෂිකව ජූලි මාසයේ වාට්ටුවේ පිරිතක් කියනවා. බෞද්ධයා නාලිකාවේ බණක් ද කියෙව්වා. සේවකයන් එක්ව කටයුතු කරනවා. ඒ වගේ දේවල් කිරීමෙන් කාර්ය මණ්ඩලය එකමුතුව වැඩ කරනවා.”

වාට්ටුවෙන් ප්‍රතිකාර ගෙන සුවපත්ව යන පුද්ගලයන් වාට්ටුටවට කෙරෙන්න අවශ්‍ය දේ විමසති. එවිට වාට්ටුවට අවශ්‍ය දේ කී විට ඔවුහු ඒ දේවල් ලැබෙන්න සලස්වති. දැනට වාට්ටුව නඩත්තු වනුයේ එසේය. පිරිසිදු කරන බ්‍රස්, වැසිකිළි හා වාට්ටුව පිරිසිදු කරන ද්‍රව්‍ය, බල්බ්, පේන්ට් යනාදිය මාසයකට පමණ සෑහෙන්න ලැබී තිබේ. රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු පරිපාලනයෙන් ඒ සඳහා සහාය දෙනු ලැබේ.

මුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයට, රටටම ආදර්ශයක් වූ මහනුවර රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ ඡායාරූප පහතින්,

Courtesy : nethgossip.lk