ඇමති අකිලගෙන් ආන්දෝලනාත්මක කතාවක්

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්ව දේශපාලන කරළියේ ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළිකර තිබුනා.
    එම සංවාදය පහතින්,

    2020 එ.ජා.ප. ජනපති අපේක්ෂකයා ගැන ඔබ ඉඟියක් දුන්නා. එ.ජා.ප. නායකයා 2020 ජනපති සටනට ඉදිරිපත් වෙනවා කියලා?

    ඔව්. අපේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමයි ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන්නේ.

    නමුත් පක්ෂය ඇතුළේ වෙන කතානේ යන්නේ?

    එහෙම වෙන කතා මොකුත් නැහැ.

    ඇයි නැත්තේ. එ.ජා.ප. පසු පෙළ අය කුමාර් සංගක්කාර ගැන කියනවා. තව කොටසක් සජිත් ප්‍රේමදාස ගැන කියනවා. තවත් අය පොදු අපේක්ෂකයෙක් ගැන කියනවා. එතකොට මොකක්ද ඇත්ත?

    ඇත්ත තමයි රනිල් වික්‍රමසිංහ මහතා ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා කියන එක. එක එක්කෙනා මොන කතා කිව්වත් ඇත්ත ඒක. එ.ජා.ප.ය කියන්නේ මේ රටේ දැවැන්ත පක්ෂයක්. ඉතින් මේ දැවැන්ත පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගැන හන්දි ගාණේ කඩපිල් ගාණේ අපි ප්‍රකාශ නිකුත් කරන්නේ නැහැ. එ.ජා.ප.ය ජනපති අපේක්ෂකයා ගැන තොරතුරු කියන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී. එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේදී. අපේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස අපි ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා.

    නොවැම්බර්වලදී රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්ව ධුර කාලය අවසන් වෙනවා. වෙනත් නායකයෙක් පත් වුණොත් ඒ කෙනාද ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ?

    පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමයි. අපි අවශ්‍ය වෙලාවට ඒ කාරණා රටට හෙළි කරනවා. 2020 ඡන්දයට ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි.

    අනෙක් කතා පුස්සක්ද?

    අනෙක් කතා වැඩක් නැහැ. පක්ෂයේ මහ ලේකම් විදිහට මම කියන කතාව තමයි නිල වශයෙන් වලංගු වෙන්නේ.

    බැඳුම්කර සල්ලි ගත්ත 118ට ඔබත් ඉන්නවද?

    අනේ නැහැ.

    118 දෙනාගේ නම් හෙළි කරලා මන්ත්‍රිවරුන්ගේ ගරුත්වය ආරක්ෂා කළ යුතුයි කියා ඔබ හිතන්නේ නැද්ද?

    118ට නම් ටික එළියට දානවා නම් හොඳයි. මම ඒ 118ම හොරු කියලා අදහස් කරන්නේ නැහැ. එහෙම අපට කියන්න බැහැ. 118ම සල්ලි ගත්ත පමණට හොරු වෙන්නෙත් නැහැ. එතැන ඩීල් එකක් හරි වෙන ගනුදෙනුවක් හරි වුණා නම් තමයි හොරකමක් වෙන්නේ. මම ඔය 118ටත් නැහැ. 250ටත් නැහැ. 528ත් නැහැ. එනිසා මම කියන්නේ නම් ටික හෙළි කරන්න කියායි.

    කවුද නම් ටික දාන්න ඉඩ දෙන්නේ නැත්තේ. මේ තරම් ඉල්ලලත් නම් ඉදිරිපත් කරන්නේ නෑනේ?

    ඒක අදාළ අය කරන්න ඕන වැඩක්. මේ නම් එළියට දැම්මා කියල අපට ගැටලුවක් නැහැ. ජනාධිපති ලේකම්, නීතිපතිවරයා සහ කතානායකතුමා මැදිහත් වී මේ කාරණා හෙළි කරන්න ඕන.

    20 වැනි සංශෝධනය ගැන මේ දිනවල කතා වෙනවා. එ.ජා.ප.යත් විධායක ක්‍රමය තියාගන්න කැමැතියිද? පක්ෂයේ මතය මොකක්ද?

    තවම අපි ඒ ගැන සාකච්ඡා කරලා නැහැ. පක්ෂයක් විදියට කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ අපි ඒ ගැන සාකච්ඡා කළේ නැහැ.

    එ.ජා.ප.ය 2020ට පෙළගැහෙන විට ශ්‍රීල.නි.පය, පොහොට්ටුව දැන් අභියෝගයක් විදියටයි පෙනෙන්නේ. ඒ වගේම එ.ජා.ප.ය ඇතුළේ බෙදීමක් පෙනෙන්නට තියෙනවා. අද ගමේ ජනතාව එ.ජා.ප.ය එක්ක නැහැ. ඒක නේද ඇත්ත? පළාත් පාලන ඡන්දය පරාජය වුණෙත් ඒකනේ?

    අපට පළාත් පාලන ඡන්දයේ ඡන්ද අඩු වීමට ගොඩක් හේතු බලපෑවා. රටේ දැඩි නියඟයක් තිබුණා. කන්න හතරක් පාළු වෙලා තිබුණේ. මාධ්‍ය නිදහස ඉස්පොල්ලේ ගිහින් තිබුණේ. මාධ්‍ය හරහා දිගට හරහට එ.ජා.ප.යට ගැහුවා. රාජපක්ෂ පාලන කාලයේ මෙහෙම වුණා නම් කී දෙනෙක් වාෂ්ප වෙලාද කියලා හිතාගන්න බැහැ.

    ලසන්තලා, පෝද්දලලා, කීත් නොයාර්ලාට වුණ දේ තමයි සිද්ධ වෙන්නේ. අනෙක් පැත්තෙන් අපි කරපු වැඩවලට ප්‍රචාරය දුන්නේ නැහැ. අපි ගමට ලොකු වැඩ කොටසක් කළා. ඒවා ගමට රටට හරියට අපි කිව්වේ නැහැ. පාසල් සිසුන්ට සුරක්ෂා රක්ෂණය දුන්නා. පෝෂණ මල්ලක් දුන්නා ගැබිනි මවුවරුන්ට. රාජ්‍ය සේවකයන්ට 10,000කින් වැටුප් වැඩි කළා. පෙට්‍රල්, ඩීසල් මිල අඩු කළා. රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණයවලින් සියයට 70ක් තවම ගෙවනවා. මේ හැම දේම කරලත් අපට ඡන්දය ලැබුණේ නැහැ.

    ඒක පක්ෂ යාන්ත්‍රණයේ දුර්වලකමක් නෙමෙයිද?

    වෙන්න පුළුවන්. අපි හැමෝම කරපු වැඩ ටික රටට ගමට අරගෙන ගිහින් කිව්වා නම් අපට මීට වඩා ඡන්ද ප්‍රතිශතයක් වැඩි කරගන්න තිබුණා. අපි ග්‍රාමසේවා වසම් 14,000කට ලක්ෂ 25ක් දීල තියෙනවා පසුගිය අවුරුදු දෙකේදී. රැකියා ලබා දීලා තියෙනවා. අද සේවා වියුක්තිය සියයට 4කට අඩුවෙලා. මේවා සමාජගත වුණේ නැහැ. ඒකයි පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය අපට අඩු වුණේ.

    ශ්‍රීල.නි.ප.ය සහ එ.ජා.ප.ය අතර බෙදීමත් ඡන්ද පරාජයට හේතුවක් නෙමෙයිද?

    අපි එකම ජාතික ආණ්ඩුවේ හිටියා. නමුත් ශ්‍රීල.නි.ප.යේ ප්‍රධානීන් අපට පහර දුන්නා දරුණු විදියට. අපට ඒකත් බලපෑවා. එකම ආණ්ඩුවේ අය පැති දෙකකට බෙදිලා මහෙම ගහගන්නකොට ජනතාවට අපි එපා වුණා. ඒකයි ඇත්ත.

    බලයට එනකොට දුන් පොරොන්දු ඉටු නොකිරීමත් ආණ්ඩුවේ පිරිහීමට හේතුවක් නේද?

    අපි දුන් පොරොන්දු ගොඩක් ඉටු කළා. නමුත් අපි හොරු ඇල්ලුවේ නැහැ. ඒකට ගොඩක් හේතු තියෙනවා. හොරු අල්ලන්න දාපු නිලධාරීන් විවිධ පඬුරු සාක්කුවේ දාගෙන වැඩේ හරියට කළේ නැහැ. ඒ වගේම සමහර නඩු නොහිතපු විදියට කල් ගියා. අපි මේ හැම දේම කරන්නේ රාජපක්ෂවරු පාලනය කරපු යාන්ත්‍රණය ඇතුළේ. ඒ අය උසස් වීම් දීලා ඒ අය පුම්බපු නිලධාරි එක්ක තමයි අපට අද වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒ අය එක එක විදිහට මේවා හසුරවනවා. සමහර සාක්ෂි විනාශ කරනවා. ඒ නිසා සමහර නඩුවලට චෝදනා ලබපු අය අත්අඩංගුවට ගන්න බැහැ. මොකද සාක්ෂි විනාශ කරලා. ඉන්න අය සාක්ෂි දෙන්නේ නැහැ. මේ නිසා ඒ කාලේ කරපු හොරකම් යට ගිහින්. කරපු මිනීමැරුම් යට ගිහින්. ඩුබායිවල තොරතුරු දෙන්නේ නැහැ ඒ අය කළු සල්ලි හංගනවා. මේවාගේ බරපතළ හේතු බලපා තියෙනවා. ඒ හැම දේම අපේ අවාසියට හේතු වුණා.

    ආණ්ඩුව ඔබලගේ. ඒත් ඔබතුමන්ලා රාජපක්ෂ භීතිකාවට තවමත් යටවෙලා වගේ පෙනෙන්නේ?

    ඇත්තම කියනවා නම් අපි ආණ්ඩු පක්ෂයේ හිටියත් රාජපක්ෂවරුන්ට බයෙන් ඉන්නේ. මොකද මේ අයගේ මැරකම හොරකම කොතරම් ශක්තිමත්ද කියනවා නම් මේ අය ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි විරුද්ධ පක්ෂයේ ඉන්නකොටත් ගේම් ගහනවා. ඒ නිසානේ සාක්ෂි නැති වෙන්නේ.

    කොහොමද සාක්ෂි විනාශ කරන්නේ. ඇයි ඒවා නවත්වන්න බැරි?

    ඇතුළේ ඉන්න සමහර නිලධාරීන් අල්ලාගෙන තමයි මේ හැම දේම වෙන්නේ. හොරකම් කරපු අයගේ වංචා කරපු අයගේ නඩු අසාමාන්‍ය විදියට කල් යනවා. ඒ නිසා මේවා ගැන දෙවරක් හිතන්න ඕනෑ. එතකොට අපට බයකුත් හිතෙනවා.

    දින 100 ආණ්ඩුව තනියෙන් පටන්ගෙන කරගෙන යන්න බැරි වුණෙත් ඒ නිසාද? මොකද ජනාධිපතිවරයාත් දින 100 ආණ්ඩුව ගැන දන්නේ නෑනේ?

    දින 100 ආණ්ඩුව හැදුවේ ජනාධිපතිතුමා, අගමැතිතුමා එකතුවෙලා. දන්නේ නැහැ කියන කාරණාව අහන්න ඕන එතුමාගෙන් තමයි.

    courtesy –  nethgossip.lk