අපි දෙන්නගේ ආදරය සුන්දර ලෙසම ගලා ගියේ නැහැ. අපි රණ්ඩු කරගත් අවස්ථා එහෙමත් තිබුණා

“මට තිබුණේ කබල් කාර් එකක් පැය තුන හතර එකේ තමයි කතා කර කර හිටියේ..”

“අපි ආගම් දෙකක වුනත් කිසිම භේදයක් නැහැ..”

මේ කාලය මංගල්‍යයට සුබ කාලයක් කියනවා. ඒ සුබ මාසේ සුබම සුබ දවසක දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධනගේ විවාහ මංගල්‍යය සිදු වෙනවා. මේ මංගල්‍ය වෙන්නේ ලංකාවේ නෙමෙයි. ඉතාලියේ. ඒ ගැන මේ දෙන්නා මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුණා. මේ ඒ ගැනයි.

මේ විවාහ මංගල උත්සවය සිදුවන්නේ ලංකාවේ නම් නොවෙයි..?

මැයි මස 25වැනිදා සවස 3ට ඉතාලියේ CIVITA DI BANGNOREGIO VITERBO හි SAN DONATO දෙව් මැදුරේදී චාරිත්‍රානුකූල කටයුතු පළමුව සිදුකිරීමට නියමිතයි. අනතුරුව පෝරුව චාරිත්‍රානුකූල මංගල කටයුතු සහ ප්‍රියසම්භාෂණය පැවැත්වෙන්නේ CASTELLO DELLE ROCCHETTE BAGNOREGIO මන්දිරයේදී.අපි දෙන්නා පෙම්වුන් බවට පත්වුණේ 2013දීයි. 2011 ස්ටෙෆනි ශ්‍රී ලංකාවට ඇවිත් මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගත්තා. ඉන්පසුව එයා ටෙලිවිෂන් චරිතයක් ලෙස තමයි එයා මට හමුවුණේ. 2008දී ඩාන්සින් වැඩසටහනක් හරහා මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. මිනිස්සු මට වඩාත් සමීප වුණේ ඒ ජනප්‍රියත්වය සහ මගේ ගායන ශෛලිය නිසයි.නමුත් ස්ටෙෆනි මට ලංවුණේ ඒ කිසිදෙයක් නිසා නෙවෙයි. මම නටනවද ? ගායකයෙක්ද ? ඒ කිසිවක් ගැන එයා දැනගෙන හිටියේ නැහැ.ඒ නිසා තමයි සැබෑ ආදරය කියන දේ ඇති වුණේ. මම ස්ටෙෆනිට වඩාත් ලංවුණේ එයාගේ බාහිර ලස්සන පෙනුමට නෙවෙයි. ඇයගේ හිත ඇත්තටම පිරිසිදුයි. හරිම කාරුණිකයි. එයාට වඩා එයා අනෙක් අය ගැන හිතනවා. අපි ආගම් දෙකක වුනත්, එයාට භේද නැහැ. මටත් එහෙමයි.

ගෙවී ගිය කාලයේදී අපි දෙන්නගේ ආදරය සුන්දර ලෙසම ගලා ගියේ නැහැ. අපි රණ්ඩු කරගත් අවස්ථා එහෙමත් තිබුණා. ඒ සියල්ල හමුවේ කොහොමද දෙන්නෙක් ජීවිතය පවත්වාගෙන යන්නේ ? කොහොමද විවාහ ජීවිතය පවත්වාගෙන යන්නෙ කියන දේ අපි වටහා ගත්තෙ.අපිදෙන්නම මිනිස්සු දන්නා හදුනන චරිත වීම නිසා අපට අපේ යාළුවෝ එක්කවත් එහෙ මෙහෙ ගිහින් කතා කිරීමේ නිදහස තිබුණේ නැහැ. සමහරදාට අපි රාත්‍රී කෑමකට එහෙම ගිහින්, මට ස්ටෙෆනිව එයාගෙ ගෙදරට ඇරලවන්න ගිහින්, පැය තුන හතර කාර් එකේ තමයි කතා කර කර හිටියෙ.බැරිම තැන එයාගෙ ගෙදරින් කිව්වෙ, දැන් ඉතින් ඔය කාර් එකේ කතා කරන එකේ තේරුමක් නැහැ ගෙදරට ඇවිත් කතා කරන්න කියලයි. අනෙක එදා මට තිබුණෙත්, සුපිරි වාහනයක් නෙවෙයි. වාහන කබලක් කිව්වොත් හරි. ඉතින් ඒකයි මම කියන්නෙ ස්ටෙෆනි ආදරය කළේ මට කියලා.

සැබෑ ලෙසම එයා ආදරේ කළේ මටයි. මගේ තියෙන්නෙ සිංහලකම සහ බෞද්ධකම, එයාගෙ ආධ්‍යාත්මය වුණේ එයාගේ ආගම. ආත්තම්මාගෙන් ඉගෙන ගෙන එයා පල්ලියට බොහෝම සමීපයි. රණ්ඩුවක් වුණාම ඔන්න ඉතින් මම එයාව පන්සලට නෙවෙයි පල්ලියට එක්කගෙන ගියේ. ඒක තමයි තේරුම් ගැනීම කියන්නේ.

ස්ටෙෆනි ඇයි විවාහ උත්සවය සදහා ඉතාලිය තෝරා ගත්තෙ ?

අපේ ඥාති පාර්ශවයේ පිරිස ජීවත්ව සිටින රටවල් දිහා බලලා තමයි අපි ඒ තීරණය ගත්තෙ. අපට බොහොමයක් යාළුවොත් ඉන්නවා. මේ ඔක්කෝටම මැද තැනක් තමයි ඉතාලිය. ඉතින් එතැන තෝරා ගත්තා. ඒ වගේම මගේ ආත්තම්මා සහ අම්මාගෙ විවාහ සිදුවුනෙත් මේ විදියටයි.ඒ නිසා දෙන්නම තීරණය කළා, මේ විදියට උත්සවය ඉතාලියේදී පවත්වන්නට. ඒක ඇත්තටම එක අතකට සිහින සැබෑවීමක්. අපි දෙදෙනා ගත්තොත් දෙන්නාට දෙන්නා බොහෝම ආදරෙයි.අපට අවශ්‍යව වුණේ ලෝකයට පෙනෙන්න උත්සවයක් ගන්නවාට වඩා අමතක නොවන විවාහ දිනක අසිරිය සැමදාම ජීවිතයේ රදවා ගන්නයි. ඉතින් ඒ දවස උදාවුණා.

courtesy : gossip.hirufm.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here