වසර 11ක් දුෂකයාගේ ගෙදර සිරවී අපාදුක් විදි මිෂෙල් නයිට් තම ජිවිත කතාව සමාජයට හෙළි කළ හැටි

බොහොමයක්‌ දෙනා පැහැර ගැනීමකට ලක්‌වූවෙකුගේ අත්දැකීම් කෙබඳුදැයි දකින්නේ චිත්‍රපටවලිනි. සමහරෙකුට එය ඒ මොහොතට ත්‍රාසජනක විනෝදයක්‌ ලබා දෙන කතාවක්‌ පමණි.

නමුත් මිෂෙල් නයිට්‌ හට පැහැර ගැනීම එසේ අමතක කළ හැකි කතාවක්‌ නොවේ. වයස අවුරුදු 21 දී පැහැර ගැනීමකට ලක්‌ වූ ඇයට වසර එකොළහක්‌ම ඒ අධම මිනිසාගේ සෑම පහත් ක්‍රියාවක්‌ම විඳිමින් ජීවත් වෙන්නට සිදු විය. ඒ මුළු කාලය පුරාවට ඈ සිරකාරියක්‌ව සිටියේ කිසිවෙකුටත් නොපෙනෙන ලෙස තාප්පයකින් වටවූ හෝ හුදෙකලා වූ නිවසක නොවේ. ඇය පැහැර ගැනීමට ලක්‌ වූ එක්‌සත් ජනපදයෙ ඔහායා දනවුවේ ක්‌ලීව්ලන්ඩ් නුවර එක ළඟ නිවෙස්‌ පිහිටි වටපිටාවක පිහිටා තිබූ පැහැරගත් මිනිසාගේම නිවසේය.

පුදුමය නම් කිසිවෙකුටත් නොදැනෙන්නට අරියෙල් කැස්‌ත්‍රො නම් ඔහු මිෂෙල් සමඟ තවත් යෞවනියන් දෙදෙනෙකුද ඒ නිවසේ සිරකර ගෙන සිටියේය. ඇමැන්ඩා බැරි සහ ජිනා දේහින්සෝස්‌ සමඟින් ඒ සිරවූ ජීවිතයෙන් මිදී ඇවිත් වසර 5 ක්‌ ගෙවීම නිමිත්තෙන් මිෂෙල් මේ මාසයේ ඇගේ දෙවැනි නිබන්ධනය වූ ලයිෆ් ආෆ්ටර් ඩාර්ක්‌නස්‌ එළි දැක්‌වූවාය. 2014 පළ වූ හොඳ අලෙවියක්‌ තිබූ ඇගේ ෆයින්ඩ්න් මී නම් ග්‍රන්ථයෙන් ඇමැන්ඩා සහ ජිනා නිවසට ගෙන ඒමට පෙර අරියෙල් කැස්‌ත්‍රොගෙන් විඳින්නට සිදු වූ ම්ලේච්ඡ ශාරීරික මානසික සහ චිත්තවේගාත්මක වධ බන්ධන හෙළි කර තිබුණි.

තවදුරටත් සිහිනෙන් බය වීම සිදු නොවුණත් ජීවිතයෙ ඉතිරි කාලයේ දිගටම යථා තත්වයට පත්වීමේ ක්‍රියාවලිය නම් පවතිනු ඇතැයි ඇය වාර්තාකරුවෙකුට පවසා තිබුණාය. මිෂෙල් අද ප්‍රීතිමත් යුග දිවියක්‌ ගත කරමින් සිටින්නීය. එහෙත් තවමත් දෛනික ජීවිතයේ කටයුතු වලදී යම් යම් සුවඳ, ආහාර සහ ද්‍රව්‍ය මඟින් ඇය සිටි නරකාදිය මතකයට නැඟෙන බව මිෂෙල් හෙළි කර තිබුණාය.

මිෂෙල් ලිංගික අපයෝජනයට ගොචුරුව හැදී වැඩුණු අයෙකි. 2002 අගෝස්‌තු මස දිනක ඇයට අරියෙල් කැස්‌ත්‍රො මුණ ගැසුණේ තම දෙහැවිරිදි පුතා හදා වඩා ගැනීමට දීම සම්බන්ධ කටයුත්තකට යමින් සිටියදීය. අදාළ ස්‌ථානයට තම වාහනයේ නැඟී යා හැකි බව ඔහු මිෂෙල්ට පැවසුවේය. තම මිතුරියකගේ පියා වූ කැස්‌ත්‍රො අමුත්තෙකු නොවීය. යන අතරමගදී කැස්‌ත්‍රොට තම නිවසට යැමට අවශ්‍ය විය. ඒ මිෂෙල්ගේ පුතා වෙනුවෙන් නිවසේ තබාගෙන සිටි බලු පැටවා ඇයට භාර දීමටය.

courtesy:hiru tv blog

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here