ජනපති කාර්ය මණ්ඩල ලොක්කන්ගේ මහ හොරකම මුල සිට හා ඇල්ලූ සැලැස්ම මෙන්න

    රාජ්‍ය පරිපාලන සේවාවේ ඉහළ තනතුරු හොබවන නිලධාරීන්ගෙන් එවැනි නොමනා ක්‍රියාවක් බලාපොරොත්තු නොවන ජනතාව වෙත ඔවුන්ගේ කූඨ කෙරුවාව මෙසේ අනාවරණය කරන්නෙමු.

    ඊට පෙර කතාව ඇරඹෙන්නේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ඔස්සේය. වසර ගණනාවක් පුරා අත්හැර දමා තිබෙන කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සැබැවින්ම දැන් කැලෑබිමකි. පාළුවට ගිය ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර හා වාහන මෙවලම් කිහිපයක් ඒ බිමේ තිබේ. කලකට පසුව ඒ කර්මාන්ත ශාලාව සංවර්ධනය කරන්නට සිතූ ආණ්ඩුව කන්තලේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යෝජනා කළේය. එහි ඇස්තමේන්තු වටිනාකම ඩොලර් මිලියන 100 ක් බවට වාර්තා විය. එවැනි විශාල මුදල් ආයෝජනයකින් ඇරඹෙන කර්මාන්ත ශාලාවේ කොටස්වලින් 51% ක් ලංකා රජයට ලැබීමට නියමිතව තිබුණි.

    මෙම ව්‍යාපෘතියට මූලිකත්වය ගෙන ඇත්තේ මෙරටට සීනි ආනයනය කරන ඉන්දීය ජාතික ව්‍යාපාරිකයකු විසිනි. ඔහු මෙරට සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඇරඹීමට උත්සාහ කරමින් සිට ඇත. ඊට සම්බන්ධ එම්.ජී. ෂුගර් සමාගම මෙරට රජයෙන් ඉල්ලා තිබුණේ අක්‍රියව පවතින කන්තලේ සීනි කම්හලේ පැරණි ගොඩනැගිලි සමඟ භාවිතයට නොගන්නා යකඩ ඔවුන් වෙත පවරාදෙන ලෙසය. මේ අතර යකඩ විකිණීම සඳහා ටෙන්ඩරයක් කැඳවා තිබූ අතර ඊට ඉදිරිපත් කළ උපරිම ලංසුව රුපියල් මිලියන 540 කි. එහෙත් ඒ වෙද්දී කන්තලේ කර්මාන්ත භූමිය හිමිව තිබූ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ එවකට ලේකම්වරයාව සිටි අයි.කේ. මහානාම අබලි ද්‍රව්‍ය අලෙවිකරන ටෙන්ඩරය වැඩි ලංසුවට ලබාදුන්නේ නැත. එදා ඔහුගේ බලපෑම මධ්‍යයේ මෙරට රජයට හිමිවීමට තිබූ රුපියල් මිලියන 540ක ආදායම ගිලිහී ගියේය. එදා එවැනි බලපෑමක් කරන්නට ඔහු පෙළඹී තිබුණේ පසුගියදා හෙළිවූ අල්ලස් මුදල ලබාගෙන අතයට ගනුදෙනුවක් සිදුකිරීමට බව පැහැදිලිය.

    කන්තලේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කර වසරකට වැඩි කලක් ගතවුවද ව්‍යාපෘතියේ ප්‍රගතියක් නොවීය. ඊට හේතුව බලධාරීන්ගේ ජාවාරම් සහ කූඨ ගනුදෙනුය. එපමණ කලක් ගතවෙමින් තිබුණද එම්.ජී. ෂුගර් සමාගම සිය ව්‍යාපාරය කන්තලේ ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තුවෙන් සිට ඇත. ඒ අදහස දඩමීමා කොටගත් අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක, එම්.ජී. ෂුගර් සමාගමට අබලි යකඩ හා ගොඩනැගිලි ලබාදීම සඳහා අල්ලසක් ඉල්ලා ඇතැයි කියති. එහි වටිනාකම රුපියල් මිලියන 540 කි. දෙපාර්ශ්වය අතර ගනුදෙනුව පිළිබඳ වසරකට වැඩි කාලයක් සාකච්ඡා සිදුව තිබුණි. එහෙත් එකී කූඨ ගනුදෙනුව සම්බන්ධයෙන් එම්.ජී. ෂුගර් ආයතනය එකඟතාවයකට පැමිණ නැත. අවසානයේ එහි කළමනාකාරීත්වය තීරණයකට එළැඹියේය.

    පසුගිය පෙබරවාරි 22 බදාදා දිනයකි. එම්.ජී. ෂුගර් ආයතනයේ නිලධාරීන් පිරිසක් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළෝය. ඉහළ පෙළේ රාජ්‍ය පරිපාලන සේවාවේ ප්‍රබල චරිත දෙකක් සඳහා වූ පැමිණිල්ලක් වුවද පැකිලීමකින් තොරව විස්තර ලබාගත් නිලධාරීන් ඒ මොහොතේ පටන් අදාළ සිදුවීම පිළිබඳව විමර්ශනය කරන්නට වූහ.

    ආයෝජන මණ්ඩලය යටතේ සිදුකෙරෙන ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත කන්තලේ සීනි කර්මාන්ත ශාලා ව්‍යාපෘතිය ආරම්භ කරන්නට පියවර ගෙන තිබුණද එහි පවතින යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි අදාළ සමාගම යටතට පැවරීම සඳහා එහි බලධාරීන් එම්.ජී, ෂුගර් සමාගම වෙතින් ඉල්ලා ඇතැයි කියන අල්ලස් මුදල රුපියල් මිලියන 540 කි.

    මේ වෙද්දී ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හිටපු ලේකම්වරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් පත්ව මාස දෙකක් පමණ ගතව තිබුණි. එතැන් පටන් ඔහු සිතන්නට ඇත්තේ මිලියන 540 ගනුදෙනුවට නව තනතුරක් රුකුලක් බවය.

    එහෙත් ඔවුන්ට කලින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීහු ක්‍රියා කළෝය. පැමිණිලි පාර්ශ්වයෙන් ලබාගත් උපදෙස් අනුව අල්ලස් මුදල් රුපියල් මිලියන 450 දක්වා අඩුකරගෙන තිබුණේ මහත් පරිශ්‍රමයකින් පසුවය. ඊට එකඟව ටික කලක් ගෙවුණද ගනුදෙනුව සිදුනොවූ තැන අල්ලස් ලබාගන්නට උත්සාහ ගත් පාර්ශ්වය නැවත අල්ලස් මුදල රුපියල් මිලියන 100 දක්වා අඩුකරගෙන තිබුණි. ගනුදෙනුව පිළිබඳ එකඟතාවයකින් පසුව කොටස් වශයෙන් ගෙවීමට තීරණය කර පළමුව රුපියල් මිලියන 20 ක් ලබාගැනීමට තීරණය කර ඇතැයි කියති.

    මේ සඳහා අවස්ථා ගණනාවකදී ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී මහානාම සහ රාජ්‍ය දැව සංස්ථා සභාපති දිසානායක යන අය හමුවී කතාකර තිබුණි. බොහෝ සාකච්ඡා සිදුව තිබුණේ දුරකතන මාර්ගයෙනි. සිදුකෙරෙන සියලු දුරකතන සංවාද රහසිගත අයුරින් පටිගත කරගන්නට අල්ලස් කොමිසමේ නිලධාරීහු ක්‍රියා කළහ.

    මේ අනුව දෙපාර්ශ්වයේ අවසන් නිගමනය වූයේ කොළඹ ගාලුමුවදොර අබියස පිහිටි ටාජ්සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පළමු අත්තිකාරම් මුදල ලබාගැනීමටය. ඒ සඳහා සුදුසු දිනය වෙලාව හා ස්ථානය තෝරාදී තිබුණේ මහානාම සහ දිසානායක යන ගජමිතුරන් දෙන්නා ඒකමතිකවය. ඒ අනුව පසුගිය 3 වැනිදා පස්වරු 4.00ට ටාජ්සමුද්‍රා හෝටලයේ අමුත්තන් රැඳීසිටින පරිශ්‍රයට පැමිණෙන ලෙසත් ඒ වනවිට තමුන් දෙන්නා එතැන රුඳීසිටින බවටත් එම්.ජී. ෂුගර් ආයතන හිමියාට දැනුම් දී තිබුණි.

    නියමිත වේලාව ආසන්නයේදී මහානාම – දිසානායක දෙපළ හමුවන්නට පෙර කී පැමිණිලිකරු පැමිණියේය. ඔහු කියා සිටියේ නියමිත මුදල රථගාලේ තමාගේ මෝටර් රථයේ ඇති බවය. එසැණින් ක්‍රියාත්මක වූ මහානාම, හෝටලයේ සේවකයකුගෙන් ඉටිබෑගයක් ඉල්ලාගත්තේ බොහොම වැදගත් අයුරිනි. එසැණින් තිදෙනාම එක්ව රථගාලට ගොස් පැමිණිලිකරුගේ මෝටර් රථයට නැගගත් අතර පැමිණිලිකරු එකඟවූ මුදල ලබාදුන්නේ එහිදීය. සැකයකින් තොරවම මහානාම අතවූ බෑගය වෙතට සල්ලි මිටි පුරවමින් සිටියදී මෙතෙක් දින ගණනාවක් කළ වැටලීම් අවසානයට පැමිණි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීහු පැමිණ ඔවුන්ගේ අනන්‍යතාවය පැහැදිලි කරමින් අල්ලස් ලබාගැනීමේ චෝදනාවට සැකකාර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී මහානාම සහ රාජ්‍ය දැව සංස්ථා සභාපති දිසානායක අත්අඩංගුවට ගත්හ.

    පසුගිය 3 වැනිදා පස්වරු 5ට පමණ අත්අඩංගුවට ගත් ඔවුන්ගේ නීතිමය කටයුතු පැය එකහමාරකින් අවසන් කළ පසුව එදිනම රාත්‍රියේ අධිකරණයට පමුණුවනු ලැබීය. එහිදී නියෝග කෙරැණේ සැකකරුවන් ලබන 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටය. එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග පරිදි ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත.

    අල්ලස් හා දූෂණ වංචා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා ඇතුළු පිරිසක් වැටලීමට දායක වූහ.

    courtesy – deshaya

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here