බුදුන් වදාල අකුරු අට සහ වචන තුන

සෑම බුදුවරයන් වහන්සේ නමකගේ ම පරමාර්ථය සසර දුක් විඳින සත්වයන් ඒ සසර දුකින් එතර කරලීමය. ඒ සඳහා උන් වහන්සේ දම් දෙසති. මේ දෙසන ධර්මය කැටි කර දක්වතොත් අකුරු අටෙකි. පද තුනෙකි. ශීලාදී ගුණධර්ම භාවනා කිරීම් ආදියට පාදක වුවත් සම්බුද්ධ පරමාර්ථය ශීල විධි ප්‍රකාශ කිරීම නොවේ.

“ න හි සීලවතං හේතු
උප්පජ්ජන්ති තථාගතා
අට්ඨක්ඛරා තීනි පදා

සම්බුද්ධේන පකාසිතා “ යන ගාථාවෙන් ඒ බව පැහැදිලි කොට ඇත. මෙහි අකුරු අට සහ පද තුන නම් “අනිච්චං දුක්ඛං අනත්තා “ යනුයි. මෙහි පද තුන පැහැදිලිව පෙනේ. එහෙත් සාමාන්‍ය ව්‍යවහාරික අකුරු වශයෙන් ගතහොත් අකුරු දහතුනකි. මෙහි ගෙන ඇත්තේ ඡන්දස් ශාස්ත්‍රයෙහි අකුරු වශයෙන් ගැනෙන ලඝු හා ගුරුයි. ‘අනිච්චං දුක්ඛං අනත්තා “ යන පද තුන ප්‍රස්තාර කර බැලූ විට ඡන්දස් ශාස්ත්‍රීය අකුරු අටක් දක්නට ලැබේ.

හටගැනීම විනාශ වීම ස්වභාවය කොට ඇති සංස්කාරයෝ ඒකාන්තයෙන් ම අනිත්‍යය හ. (අනිච්චා වත සංඛාරා) ඉපිද නිරුද්ධ වෙති (උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති) ඉපදීමෙන් සංසිඳීම හෙවත් උපත නැතිකිරීම සැපයයි. (තේසං වූපසමෝ සුඛෝ)

බුදු දහමෙහි ‘සංඛාර’ යන වචනය ඉතා පුළුල් අර්ථයකින් යෙදී ඇත. ලොව ඇති සෑම දෙයක් සංස්කාර ගණයට වැටේ. සංස්කාර ඇතිවීමට හේතුව නො දැනීම යි. සවිඤ්ඤාණික අවිඤ්ඤාණික සෑම දෙයක් ම සකස් වී ඇත්තේ පඨවි,ආපෝ , තේජෝ, වායෝ, ආකාස යන පංච මහා භූතයන්ගේ සමවායයෙනි. මෙම මහාභූත ධර්මයන් සතු ඒ ඒ ශක්තීන් ඇත. නිදසුනක් වශයෙන් ගින්නක් නිවීමේ ශක්තිය වායුවට ඇත. වායුව නැති තැනෙක ගිනි නො දැල්විය හැකි බැවිනි. අනෙකුත් භූත ධර්මයන්ට ද එවැනි ශක්තීන් පවතී. මේ ශක්තීන් ස්වාභාවික ව ඒකරාශී වීමෙන් ද්‍රව්‍යයන් හා සත්වයන් හට ගනී. නො දැනීමෙන් එකතු වී හටගත් දේ මම ය, මාගේය වශයෙන් අල්ලා ගනිති. මෙම අල්ලා ගැනීම නිසා සංස්කාරයෝ දුක් වන්නාහ. අල්ලා ගැනෙනුයේ තණ්හාව නිසාය. තණ්හාව නැති කළ විට අල්ලා ගැනීමෙක් ද නැත. නිරෝධය ඇත්තේ එතැන ය. නිවන නම් එයයි.

ඇති දේ ඇති සැටියෙන් ම නිවැරැදිව දැන ගැනීම විද්‍යාව වශයෙන් හඳුන්වා ඇත. එහි විරුද්ධ වචනය අවිද්‍යාවයි. තත්ත්වාකාරයෙන් නො දැනීම යි. කායික මානසික සැප දුක් වේදනා සවිඤ්ඤාණික සෑම සත්වයන්ට ම දැනේ. නො දැනීම නම් ජාති, ජරා, ව්‍යාධි, මරණ,ශෝක පරිදේව ආදී වශයෙන් සංස්කාර දුක, විපරිණාම දුක, රිදීම් දුක යන දුක්වලින් පංචස්කන්ධය ම පෙළන බව නොදැනීමයි. මේ නොදැනීම නිසා පංචස්කන්ධය නිත්‍ය ය , සුබය , සුඛය ආදී වශයෙන් ගනී. එහෙත් ඇති තතු නම් අනිත්‍ය ය, දුක්ඛය, අනාත්මය ය.

දුක් වේදනා ඇතිවීමට නොයෙක් කරුණු හේතු වේ . ශරීරයෙහි වා , පිත් , සෙම් කිපීම දුක් වේදනා ඇතිවීමට හේතුවෙකි. කැපීම, වැටීම, පහරකෑම ආදිය ද දුක් වේදනා ඇති වීමට හේතුවෙයි. එහෙත් ධර්මානුකූලව දුක් ඇතිවීමට හේතුව නො දැනීම යැයි කීවේ පංචස්කන්ධය පංචස්කන්ධයක් වශයෙන් නො ගෙන මම මව පියා සහෝදරයා සහෝදරිය යහළුවා යෙහෙළිය ආදී වශයෙන් සංකල්ප වශයෙන් ගෙන ඒවාට ඇලුම් කිරීම නිසා ඇතිවන දුක නො දැනීමයි.

පංචස්කන්ධය මම යැයි සලකා එයට ඇලුම් කොට සැමදා පවත්වා ගැනීමට ඇති ආශාව නිසා මරණයෙන් පසුව ද නැවත භවයක උපදී. එසේ උපදිනුයේ කළ කම් අනුව ය. සතර අපායෙහි උපදී. මිනිස් ලොව උපදී. දෙව්ලොව උපදී. බඹලොව උපදී. ඒ උපදින සෑම තැනක්ම අනිත්‍යතාවයට යටත් වෙයි. යමක් අනිත්‍ය නම් එතැන ඇත්තේ දුකෙකි. (යදනිච්චං තං දුක්ඛං ) යමක් දුක නම් එහි ආත්මය යැයි ගත යුතු දෙයක් නැත. (යං දුක්ඛං තදනත්තා)

අනිත්‍ය ස්වභාවය වඩාත් පැහැදිලිව පෙනෙන්නේ මනුෂ්‍යයා සම්බන්ධව කල්පනා කර බැලීමේ දී ය. මිනිසා ජීවත්වන කාල සීමාව , මාරාණාන්තික රෝගය , මැරෙන වෙලාව, මෘත ශරීරය දමන ස්ථානය , නැවත උපදින තැන යන කරුණු පස චුතූපපාත ඤාණය වැනි ශ්‍රේෂ්ඨ ඤාණයක් උපදවා ගත්තකුට හැර අනෙකකුට නො දත හැකි බව බුද්ධ දේශනාවයි.

පරිසරයේ ඇති සෑම දෙයකින්ම මිනිස් ජීවිත විනාශ විය හැකිය. මිනිස්සු ජීවත්වීමට ගෙවල් දොරවල් තනාගනිති. ගෙවලින් වැටී, ගෙවල් දොරවල් කඩා වැටී අනන්තවත් මිනිස් ජීවිත විනාශ වන බව අපට අසන්නට ලැබේ. මිනිස්සු පහසුවෙන් හා ඉක්මනින් යාමට යාන වාහනවල යති. ගුවන් යානා කඩා වැටී සිය ගණන් මිනිසුන් මළ බව අපි දනිමු. වාහන ඝට්ටනය වී, වාහන පෙරළී අනන්තවත් මිනිස්සු මැරෙති. ජලගැලීම් මුහුද ගොඩගැලීම් ආදියෙන් කී දෙනෙක් වැනසී යෙත්ද?

එසේම යුද කෝලාහලවලින්, ඇන කොටා ගැනීමෙන් මැරෙන මිනිස් සංඛ්‍යාව ද ප්‍රමාණයක් නැත. කුසගින්න නිවා ගැනීමට කන ආහාර විෂ වීමෙන්ද ඳඬස්සු මැරෙති. ඉහළට ගත් හුස්ම පහළට හෙළාගත නොහැකි වුවහොත්, පහළට හෙළූ හුස්ම ඉහළට ඇදගත නො හැකි වුවහොත් මිනිසාගේ ජීවිතය අවසාන වෙයි. අප හතර වටින් ම ඇත්තේ ජීවිත විනාශය විය හැකි කරුණු ය. එසේ බලන විට ජීවිතය දත් තිස් දෙකකට මැදි වූ දිව හා සමාන ය.

භික්‍ෂූන් අට නමක් මරණ සතිය වැඩූ ආකාරය අංගුත්තර නිකායෙහි අට්ඨක වග්ගයේ නාදික සූත්‍රයෙන් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ වදාළේ “මහණෙනි , වඩන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලද මරණ සතිය මහත් ඵල මහානිශංස වෙයි. එය නිවනම ගැලී නිවන ම කෙළවර කොට සිටී. මහණෙනි, නුඹලා මරණ සතිය වඩන්නාහු ද? එසේ යයි පිළිතුරු දුන් භික්ෂූන් අට නම තම තමන් මරණ සතිය වඩන ආකාරය මෙසේ පැහැදිලි කළහ.

පළවැනි භික්ෂූන් වහන්සේ, ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මට එක් රැයක් හා දවාලක් බුද්ධානුශාසනාව අනුව ජීවත් වන්නට ලැබෙනවා නම් හොඳ යැයි සිතෙයි.

දෙ වැනි භික්ෂුව ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, මට එක් දවාලක් බුද්ධානුශාසනාව අනුව ජීවත්වීමට ලැබෙයි නම් වාසනාවකැයි සිතෙයි.

තුන් වැනි භික්ෂුව ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මට අඩ දවාලක් ජීවත්වන්නට ඇත්නම් බුද්ධානුශාසනාව අනුව එය යහපතැයි සිතෙයි.

සතර වැනි භික්ෂුව ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මට බුද්ධානුශාසනාව අනුව එක පිණ්ඩපාතයක් වළඳන වෙලාවක් සිටීමට හැකි නම් හොඳ යැයි සිතෙයි.

පස් වැනි භික්ෂුව ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මට බුද්ධානුශාසනාව අනුව පිණ්ඩපාතයෙන් අඩක් වළඳන තුරු ජීවත් වුවහොත් හොඳ යැයි සිතේ.

සවන භික්ෂුව ස්වාමීනි බුදුරජාණන් වහන්ස මට බුද්ධානුශාසනාව අනුව බත් පිඩු හතරක් පහක් වළඳන තුරු සිටියොත් හොඳ යැයි සිතෙයි.

සත් වන භික්ෂුව ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, මට බුද්ධානුශාසනාව අනුව එක බත් පිඩක් වළඳන තුරු සිටියොත් හොඳ යැයි සිතෙයි.

අට වන භික්ෂුව ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, මට බුද්ධානුශාසනාව අනුව එක හුස්මක කාලයක් ජීවත් වුවහොත් හොඳ යැයි සිතෙයි.

මෙසේ මේ භික්ෂූන් අට නම මරණ සතිය වඩන ආකාරය පැහැදිලි කළ විට බුදුරජාණන් වහන්සේ මුල් ස නමගේ මරණ සතිය නිවන් දැකීමට ප්‍රමාණවත් නොවන බවත් සත් වන අට වන දෙනම අප්‍රමාදීව වසන බවත් ප්‍රකාශ කර වදාළ සේක.

බොහෝ විට මනුෂ්‍යයන්ට ඇතිවන යෞවන මදය, ආරෝග්‍ය මදය හා ජීවන මදය නිසා ජරා ව්‍යාධි මරණ නොපෙනී යයි. තරුණ බව නිසා ඇතිවන මාන්නය යෞවන මදය යි. නිරෝග බව නිසා ඇතිවන මාන්නය ආරෝග්‍ය මදයයි. තමා ජීවත්වනවාය යන අදහස නිසා ඇතිවන මාන්නය ජීවන මදයයි. මේ මද වලින් මත් වූ විට ජීවිතයේ යථාර්ථය නො පෙනීයයි. ඒ නිසා ම දුක් දොම්නස් පීඩා වැඩිවෙයි. මරණය ගැන මෙනෙහි කිරීමෙන් ඉහත සඳහන් මද යටපත් වී සහනය, ඉවසීම, උපේක්ෂාව වර්ධනය වී තමාද වයසට පත්වන බව, ලෙඩ රෝග වලට ගොදුරු වන බව මැරෙන බව අවබෝධ වී උපේක්‍ෂාවෙන් ජීවිතය දෙස බැලීමට හැකි වෛයි.

මිනිසාට ඇතිවන ජරා ව්‍යාධි මරණ යන ධර්මතා තුන දේව දූතයන් ලෙස දහමෙහි සඳහන් ව ඇත. ඇතිවන විපත් කල් ඇතිව දන්වා ඒවායින් ගැලවෙන ක්‍රමය කියා දෙන්නෝ දේවදූතයෝය. එහෙයින් මෙම දේවදූතයන්ගේ පිහිට ලබාගත හොත් ජරා, ව්‍යාධි, මරණ යන ස්වාභාවික විපත් වල දී නො සැලී මුහුණ දීමට හැකිවෙයි.

දිරිම් ස්වභාව ඇති දේ නො දිරාවා ! යි පැතීම, ලෙඩ වෙන ස්වභාවය ඇති දේ ලෙඩ නො වේවා! යි පැතීම , මැරෙන ස්වභාවය ඇති දේ නො මැරේවා ! යි පැතීම ගෙවී යන ස්වභාවය ඇති දේ නො ගෙවේවා ! යි පැතීම නැසෙන ස්වභාවය ඇති දේ නො නැසේවා ! යි පැතීම කිසිදාක නො සිදුවන්නක් බවත් එය ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ දෙවියකුට හෝ මාරයකුට හෝ බ්‍රහ්මයකුට හෝ නො ලැබෙන දෙයක් බවත් බුදුරදුන් වදාරා ඇත.

අශ්‍රැතවත් පෘථග්ජනයා දිරන දේ දිරන විට ශෝක වෙයි. වැලපෙයි. මාගේ පමණක්ම මේ දිරණ දේ දිරණවා නොව ලොව සෑම දෙනකුගේ ම දිරණ දේ දිරයි යනුවෙන් කල්පනා නො කරයි. ඤාණවන්තයා එසේ කල්පනා කර ඇතිවන දුක ශෝකය නැති කර ගනී. දිනක් බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට පැමිණි කොසොල් රජතුමා බුදුන් වැඳ එකත් පසෙකි හිඳ ගත්තා පමණි.

පණිවුඩ කරුවෙක් පැමිණ රජතුමාගේ කනට කර මල්ලිකා දේවිය කලුරිය කළ බව කීය. එය ඇසූ රජතුමා බලවත් ශෝකයට පත්ව හිස පහතට හෙළාගෙන බිම බලාගෙන සිටියේය. එවිට බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත සකල සත්වයන් ම මැරෙන බවත් මල්ලිකාවට පමණක් මරණය උරුම වූ දෙයක් නො වන බවත් පවසා රජතුමාගේ සෝකය තුනී කළ සේක.

අපි රටේ ලෝකයේ සිදුවන සෑම මරණයකදීම ශෝක නො වෙමු. තමන්ගේය යන හැඟීම ඇති පමණට ය මරණයකින් ශෝකය ඇතිවන්නේ. ජීවත්වීමේ දී අපට මුහුණ පාන්නට සිදුවන ජරාව, ව්‍යාධිය, මරණයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයම අවබෝධ කරගත හැකිය. එයින් අනිත්‍ය සංඥාව , දුක්ඛ, සංඥාව අනාත්ම සංඥාව අසුබ සංඥාව ආදීනව සංඥාව සිතෙහි වඩා වර්ධනය කරගත හැකිය. අනිත්‍යය අවබෝධ කර ගැනීම දුක්ඛ, අනාත්ම අවබෝධයට පාදක වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here