විදුලිය කරන සුපිරි යන්ත්‍රයක් සෑදු ලංකාවේ අපේ විස්මිත නිමැයුම්කරුවා

මුහුදු රළ උපයෝගී කරගෙන විදුලිය ලබා ගැනීමේ යන්ත්‍රයක් සාර්ථකව අත්හදා බැලීමට ශ්‍රී ලාංකිකයෙක් සමත් වූ පුවතක් වාර්තා වෙනවා. මෙම යන්ත්‍රය නිපදවා ඇත්ත්ව්ව් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර‍යි.

මුහුදු වෙරළේ සිට මීටර විස්සක් (20m) පමණ දුරින් මෙම විශේෂ ඇටවුම සවිකර, මුහුදු රළ මගින් ඇතිකරනු ලබන චලනය, කේබල් මගින් ගොඩබිම පිහිටි විදුලි බලාගාරයක් වෙත සම්ප්‍රේෂණය කොට එහි ඇති ඩයිනමොවක් කරකවා, චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට හරවා උත්පාදනය කරනු ලබන විදුලිය, ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදුලිබල පද්ධතියට එක්කල හැකි බව සිය නිපැයුම පිළිබදව මාධ්‍යයට අදහස් දක්වමින් වෛද්‍යවරයා පවසා තිබුණා.

එම පර්යේෂණයෙන් බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත් බව පවසන වෛද්‍ය දුලාන් අනුමාන කරන්නේ, මුහුදු වෙරළේ කිලෝමීටර් දහයක් (10Km ) තුල එවැනි යන්ත්‍ර ස්ථාපිත කළ හොත් මුළු රටටම අවශ්‍ය දෛණික විදුලිය, ජාතික විදුලිබල පද්ධතියට එකතු කරගත හැකි බවයි.

මෙම සැලසුමට සමාන යන්ත්‍රයක් පසුගිය සතියේ අඟුලාන මුහුදු තීරයේ අටවා පර්යේෂණය සිදුකළ බවත් වෛද්‍ය දුලාන් පවසනවා. ඔහු වසර දෙකක් තිස්සේ මෙම පර්යේෂණය සැලසුම් කර ඇත. අනතුරුව මාසයක් වැනි කෙටි කාලයක් තුලදී මෙම යන්ත්‍රය නිෂ්පාදනය කර තිබේ. ඒ සඳහා මෝටර් රථ වලින් ඉවත් කරන කොටස් සහ තවත් ලෝහ දඬු කැබලි එකතුකරගෙන මෙය නිර්මාණය කර තිබෙන බව සදහන්. ඊට වැය කර ඇති මුදල රුපියල් 30,000 කි.

සමස්ත ලෝකයම පුනර්ජනනීය බලශක්ති කෙරේ අවධානය යොමු කර ඇති යුගයක පෙට්‍රෝලියම් සහ ගල් අඟුරු මගින් විදුලිය නිපදවීමේදී පරිසර ගැටලු පැන නගින බවත්, එමගින් ගෝලීය උෂ්ණත්වය ඉහළයාම හා අහිතකර කාලගුණ විපර්යාස ඇතිවීම සිදුවන බවත් වෛද්‍ය දුලාන් වැඩිදුරටත් පවසනවා..

සූර්යයාගෙන් සූර්ය විදුලිය (solar energy ) ලබා ගැනීමද අධික වියදම් සහිත බවත්, ජල විදුලිය නිපදවීම පුනර්ජනනීය ක්‍රමවේදයක් වුවද එහි මූලික ඉදිකිරීම් සඳහා ස්වභාවික පරිසරය දැඩි ලෙස වෙනස් කිරීම් වලට භාජනය කිරීමෙන්, එනම් කඳු කැපීම, ගස් ගල් කඩා ඉවත් කිරීම, උමං හෑරීම, ගංගා හරස් කිරීම වැනි විශාල වෙනස්කම් නිසා ස්වභාවික සම්පත් ඉවත්වී සෝදාපාළු, ගිලා බැසීම්, උල්පත් සිදීයාම වැනි භූමි විනාශයන්ද, වර්ෂා පතනය වෙනස්කම්, ගංවතුර, නායයාම් සහ නියගය වැනි ස්වභාවික ආපදා වලට මුහුණ දීමට සිදුවන බවත් ඔහු පවසනවා.

මෙම පර්යේෂණයේදී සිදුකර ඇත්තේ මුහුදු රැළි වල ඇති චාලක ශක්තිය ලීවර මගින් යාන්ත්‍රිකව ගොඩබිමට සම්ප්‍රේෂණය කර විදුලි ජනකයක් කරකවා විදුලි ශක්තිය බවට පරිවර්තනය කිරීමයි. මෙහි මූලික විද්‍යාත්මක සංකල්පය මෙය වෙන අතර අඩු වියදමකින් යුතුව ශ්‍රී ලංකාව සතු තාක්ෂණය භාවිතා කර විදුලිය නිපදවා ගත හැකිය.

මෙම පර්යේෂණයේ මුලික සැලසුම් හා යෝජනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද එහි නිර්මාතෘවරයා පවසනවා. මෙම ව්‍යාපෘතිය, රජය මගින් ක්‍රියාවට නංවන්නේ නම් ඊට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීමට තමා කැමැත්තෙන් සිටින බවද වෛද්‍ය දුලාන් කියා සිටිනවා,.

වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වුවද දුලාන් සමරවීර‍ සිය ඉංජිනේරුමය හැකියාවන් තුලින් 2008 වසරේදී තණකොළ මගින් ඉන්ධන නිෂ්පාදනය කිරීමේ යන්ත්‍රයක් නිපදවා පේටන්ට් බලපත්‍රය ද ලබාගෙන ඇත. ඊට අමතරව රෝහල්වල ප්‍රයෝජනය සඳහා කෘත්‍රිම ස්වසන යන්ත්‍රයක්ද නිෂ්පාදනය කර සාර්තකව අත්හදා බලා ඉදිරිපත් කර ඇති බවත් සදහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here