මහ පොළොව කම්පාවට පත් කළ සැරියුත් මහ රහතන් වහන්සේගේ පිරිනිවීම ගැන මේ දේවල් ඔබ දැනසිටියාද?

බුද්ධත්වයෙන් හතළිස්‌පස්‌වැනි වස්‌ කාලය හෙවත් බුදුන් වහන්සේගේ අන්තිම වස්‌ කාලය බේලුව ගමෙහි වස්‌ වැස වස්‌ පවාරණය කිරීමෙන් පසු උන්වහන්සේ වැඩම කළේ සැවත්නුවර ඡේතවනාරාමයට ය. මේ කාලය අතරතුර ධර්ම සේනාධිපති හා ප්‍රඥාවන්ත භික්‍ෂුන් අතරින් අග තනතුර ලැබූ අග්‍ර්‍රශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේට යම් විතර්කයක්‌ (අදහසක්‌) පහළ විය. පළමුවෙන් පිරිනිවන් පාන්නේ බුදුරජාණන් වහන්සේ ද, නැතහොත් අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනමදැයි යන අදහසයි. මෙහිදී අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනම ප්‍රථමයෙන් පිරිනිවන් පානා බව උන්වහන්සේ අවබෝධ කරගත්හ. ඉන්පසු තමන් වහන්සේම තව කොපමණ කළක්‌ ආයුෂ ඇතිදැයි බලනුයේ තව සතියක්‌ පමණක්‌ ආයුෂ තිබෙන බව දැන ගත්හ.

ඒ බව දැනගත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්‌කාර කර පිරිනිවන් පෑමට අවසර පැතූහ. මෙතෙක්‌ තෙරුවන් කෙරෙහි නොපැහැදී සිටින මහා බ්‍රහ්මයා කෙරෙහි පමණක්‌ විශ්වාසය තබා සිටින තම මවට ධර්මය දේශනාකර එතුමිය මඟඵලවලට යොමු කිරීමට අදහස්‌ කර ඇති බැවින් මවගේ නිවසට වැඩමකර පිරිනිවන් පෑමට ද අවසර පැතූහ. බුදුන් වහන්සේ එම අවසරය ලබා දුන්හ.

ඉන්පසු සැරියුත් මහරහතන් වහන්සේ බුදුන් වහන්සේට අවසාන වැඳීම සිදුකර බුදුන් වහන්සේගේ ඉල්ලීම පරිදි රැස්‌ව සිටි භික්‍ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කර ප්‍රාතිහාර්ය දක්‌වා ඡේතවනාරාමයෙන් සමුගෙන පිටත් වූහ. අනතුරුව සත්දිනක්‌ තිස්‌සේ පා ගමනින් තම මවුතුමියගේ නිවසට වැඩම කරනුයේ අතරමඟදී හමු වූ ජනයා කෙරෙහි කරුණාවෙන් ධර්මය දේශනා කරමින් සත්වැනි දිනය යෙදී තිබූ ඉල් පුර පසළොස්‌වක පොහොය දින සවස්‌ භාගයේ නාලක ගමට වැඩියහ. සැරියුත් හිමියන්ගේ මවුතුමිය වන සාරි බැමිණිය තම පුතුගේ පැමිණීමෙන් ඉතා සතුටට පත්ව ඉතා ආදරයෙන් පිළිගෙන ගිහිකළ උන්වහන්සේ විසූ කාමරය සකස්‌ කර අවශ්‍ය පහසුකම් සලසා දුනි.

මේ අතරතුර බුදුන් වහන්සෙගේ අග්‍රශ්‍රාවක ධර්ම සේනාධිපති සැරියුත් මහ රහතන් වහන්සේ නාලක ගම තම මෑණියන්ගේ නිවසේදී අද රාත්‍රි පිරිනිවන් පාන්නේය යන ආරංචිය සදෙව් ලොව හා බ්‍රහ්ම ලෝකවලද ක්‍ෂණයෙන් පැතිර ගියහ. ඒ අනුව දෙවියන් හා බ්‍රාහ්මයින් වරින්වර පැමිණ උන්වහන්සේට ඇප උපස්‌ථාන කර වන්දනා කර පිටත්ව ගියහ. මේ ආලෝක ධාරාවන් විහිදුවාගෙන වරින්වර පැමිණෙන පිරිස්‌ දැක සාරි බැමිණිය මහත් පුදුමයට පත්ව ඒ ගැන සැරියුත් හිමියන්ගෙන් විමසුවාය. ඒ ආලෝක ධාරාවන් විහිදුවාගෙන පැමිණෙන්නේ දෙවියන් බව මවට විස්‌තර කර දුන්හ.

වරක්‌ දීප්තිමත් ආලෝක ධාරාවන් හතරක්‌ විහිදුවාගෙන පැමිණියේ කවුරුන්දැයි විමසූ විට ඒ සතර වරම් දෙව්රදුන් බවත්, ඉන්පසු ඊටත් වඩා දීප්තිමත් අලෝක ධාරාවක්‌ විහිදුවාගෙන පැමිණියේ දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේJද්‍රයා බවත් මෑණියන්ට පැවැසූහ. සක්‌ දෙවිඳුන් සැරියුත් මහ රහතන් වහන්සේට ඇප උපස්‌ථානකර වන්දනා කර ආපසු වඩිත්ම පැමිණියේ මවුතුමිය අදහන, ගරු කරන වන්දනාමාන කරන මහා බ්‍රහ්මයා බව පවසත්ම සාරි පැමිණිය ඉමහත් පුදුමයට පත් වූවාය.

අනේ මම දිනපතා වැඳුම් පිදුම් කරන අදහන මහා බ්‍රහ්ම රාජයාණන් මගේ පුතාට වඳිනවා නම් බුදුන් වහන්සේ කොතරම් ගෞරවයක්‌, සැලකිල්ලක්‌ දක්‌වනවා ඇත්දැයි සාරි බැමිණියට සිතුවිල්ලක්‌ පහළ වී තමන් මෙතෙක්‌ කලක්‌ මුළා වී සිටි බව මෙනෙහි කළාය. ඇයගේ සිතුවිල්ල දැනගත් සැරියුත් මහ රහතන් වහන්සේ එම අවස්‌ථාව ප්‍රයෝජනයට ගෙන බුදුගුණ වර්ණනා කළහ. එතුමිය එයට නිසොල්මන්ව වැඳගෙන අසා සිටියෙන් නව අරහාදී බුදුගුණ හා අනන්ත තෙරුවන් ගුණ වර්ණනා කරමින් මැණියන්ට ධර්මය දේශනා කළහ. ඒ කෙරෙහි සිත පහදවා ගත් සාරි බැමිණිය සෝවාන් ඵලයට පත් වූවාය. මෙතෙක්‌ මිසදිටුව සිටි තම මෑණියන් සමිදිටු බවට පත් වූ බව අවබෝධ කර ගත් සැරියුත් මහ රහතන් වහන්සේ තමන් ඇතිදැඩි කළ, පෝෂණය කළ තම මෑණියන්ට කිරි ණය ගෙවූයේ යෑයි සතුටට පත්ව මහපොළොව කම්පා කරවමින් සදෙව් ලොව දෙවියන් හා බ්‍රහ්මයන් සංවේගයට පත් කරවමින් ඉල් පුර පසළොස්‌වක පොහෝදා පිරිනිවන් පා වදාළහ.

අනතුරුව බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරවා ධාතූන් වහන්සේ රැගෙන චෛත්‍යයක්‌ ඉදිකළහ. ඉන් අඩ මසකට පසු මුගලන් මහ රහතන් වහන්සේ ද පිරිනිවන් පා වදාළහ.

සැරියුත් මහ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම නිසා ඉල් පුර පසළොස්‌වක පොහෝ දිනය වැදගත් වන්නා සේ ම තවත් වැදගත් කරුණු කීපයක්‌ නිසාද වැදගත් වේ. මෛත්‍රි බෝසතාණන් වහන්සේ අවසන් නියත විවරණය ලැබීම, ප්‍රථම ධර්මදුත සැටනම ධර්ම ප්‍රචාරය සඳහා ගමන් ආරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා උරුවෙල දනව්වට වැඩීම, පසුවස්‌ පවාරණ දිනය වීම, චීවර මාසයේ අවසාන දිනය වීම, කඨිනාස්‌නරණ විනය කර්මය කළ හැකි අවසන් දිනය වීම යන කාරණා නිසාද ඉල් පුර පසළොස්‌වක පොහොය දිනය වැදගත් වේ.