හුඟාක් දෙනෙක් මගෙන් අහනවා ඇයි බඳින්නේ නැත්තේ කියලා

මම ලංකාවේ තියෙන ලස්සනම ඇඳුම් ටික ඇඳලා තියෙනවා. සල්ලි හුඟක් වියදම් කරල වටිනා කියන ඇඳුම්, ජුවලරි ඕනම තරම් ඇඳලා පැළඳලා තියෙනවා. දේශදේශාන් තරවල සංචාරය කරලා ඒ ඒ රටවල ඇඳුම් පැලඳුම්වලිනුත් හැඩ වෙලා තියෙනවා. ඒත් මම දන්නවා, තාමත් මම ලෝකේ තියෙන වටිනාම ඇඳුම් ඇඳලා නෑ කියලා.

කසිවුර . . . මං හිතන්නේ ඒක තමයි ලෝකේ තියෙන වටිනාම අනර්ඝතම ඇඳුම. අපි කොච්චර වටින අනර්ඝතම සළු පිළියෙන් සැරසුණත් මේ ලොව වටිනාම ඇඳුම ඇන්දෙ නැත්නම් අපේ මේ ශරීරයේ ඇති වටිනාකම මොකක්ද? මම අපේ අම්මටත් හැම වෙලේම කියන්නේ මැරෙන්න මොහොතකට කලින් හරි ඒ වටිනාම ඇඳුම ඇන්දෙ නැත්නම් මේ ශරිරයෙන් වැඩක් නැති වෙයි කියලයි.

මගේ මේ අදහස්වලට අපේ අම්මලගේ ඒ තරම් කැමැත්තක් නෑ. අම්ම කෙනෙක් විදියට එයා මගෙන් බලාපොරොත්තු වෙන දේවල් බොහොමයක් තිබෙනවා කියලා මම දන්නවා. නව යොවුන් විය පසු කරන දියණියක් ඉන්න කොට ඈ අපේක්ෂා කරන්නේ විවාහයක්, බිරිඳක්, මවක්, දරු මුනුපුරෝ. ඈ එහෙම සිතන එක සාධාරණයි. විශ්වයේ සියලු අම්මාවරුන්ගේ පැතුම ඒක.

ඒත් වෙලාවකට මට හිතෙනවා මේ ලෝකෙට එන හැම කෙනෙක්ම විවාහ විය යුතුමද? කියලා. අපි කොයි දේ ප්‍රාර්ථනා කළත් අපේ ජීවිතේ ඉදිරිය තීරණය වෙන්නේ සංසාරේ පුරා අපි පතාගෙන ආ විදියට තමයි කියල නම් මම විශ්වාස කරනවා.

හුඟාක් දෙනෙක් මගෙන් අහනවා ඇයි අනූෂා තාම බඳින්නේ නැත්තේ කියලා. මේ ප්‍රශ්නෙට පසුගිය ටිකේම මම විවිධ පුවත්පත්වලට උත්තර දුන්නා. මම විවාහ වෙන්න සූදානමින් ඉන්නවා. යොවුන් වියට ආදරය, විවාහය කියන්නේ සොඳුරු අත්දැකීමක්. ඒත් මගේ කාර්යබහුල ජීවිතේ දිනෙන් දින ඒක පමා කරනවා. විශේෂයෙන් මගේ අම්මා, තාත්තා, අයියා, පවුලේ හිතවතුන් හැම දෙනාම ඒ සුවිශේෂී මොහොත වෙනුවෙන් ආදරයෙන් බලාගෙන ඉන්නවා.

විවාහය කියන එක එක දවසින් සිදු වී එක දවසින් අතහරින දෙයක් නොවේ. ජීවිත කාලයම දුක සැප බෙදාගෙන අවබෝධයෙන් යන ගමනක්. ඒ ගමන හැමෝගෙම ආශිර්වාදය පිට සැලසුම්සහගතව යා යුතු ගමනක්. ඉතිං ඒ ගමන යන්න සැලසුම් සහගතව කටයුතු කරමින් ඉන්නවා.

මගේ මුළු ජීවිත කාලේ දිහා බලත්දී මගේ ජීවිතේ වුණේ සිනමාව, රංගනය සහ නර්තනයයි. එයින් තොර ලෝකයක් මට තිබුණේ නෑ. ඒ වගේම ජීවිතේ තීන්දු තීරණ ගනිත්දිත් මම හරිම සාධාරණේට හිතන කෙනෙක්. මම අසාධාරණයට හරි අකමැති චරිතයක්. මනුෂ්‍යකමට මම හරි ආදරෙයි. මම හැම තිස්සෙම කියන්නේ මනුෂ්‍ය සිතුවිලි දරන්න ඕන. මනුෂ්‍ය අදහස් දරන්න ඕන. එහෙම නොවන තැනකදී මගෙන් කාටවත්ම ඉඩ හම්බ වෙන්නේ නෑ කාටවත්ම කොයිම වෙලාවකවත්.

මගේ ඇඟේ තියෙන පාර්ට්ස්, මගේ ලයිෆ් එක, මගේ හදවතත් ගන්න පුළුවන් හොඳට විතරයි. එවැනි මානුෂීය ගුණාංග තියෙන ලස්සන හදවතකට මං ආදරේ කරාවි. ජීවිතේ දිගු ගමනක් යාවි. ආදරේ හරි සුන්දර, ලස්සන අත්දැකීමක්.

සමාජේ දිහා බලනකොට හුඟාක් වෙලාවට මේ දෙදෙනෙක් අතර වන නොගැළපීම් දකින්නට තිබෙනවා. තව සමහර අවස්ථාවල අපි දකිනවා තමන්ගේ අතීතය ගැනම හිත හිත දුක් වෙවී ජීවත්වන අය. මගේ දැක්මේ හැටියට නම් මම කවදාවත් මගේ අතීතය ගැන පසුතැවෙන්නෙ නෑ. අතීතය කියන්නේ කෙනෙකුට පසුතැවිලි වෙන්නවත්, හිත හිතා ඉන්නවත් කල්පනා කරන්නවත්, අඬ අඬා ඉන්නවත් දෙයක් නොවේ. අතීතය කියන්නේ හැම තිස්සෙම ජීවිතේට හොඳ අත්දැකීමක්.

මගේ ජීවිතේ ගතවුණු කාලය ගෙවුණේ වෘත්තීය එක්කමයි. රංගනය, නර්තනය, කොස්ටියුම් රියැලිටි එක්ක. ඒ කාලය කොයිතරම් ඉක්මනින් ගෙවුණද කියලා මටවත් දැනුණේ නෑ. මට ආදරය ඕනෑ. ආදරේ කරන්න ඕනෑ කියලා හිතෙන්නවත් කාලයක්, ඉස්පාසුවක් තිබුණේ නෑ.

සමහරු හිතනවා ඇති මම ගත කරන මේ දඟකාර ජීවිතය තුළ අනූෂාට ඕන තරම් බෝයි ප්‍රෙන්ඩ්ස්ලා ඇති කියලා. අනේ නෑ. මගේ ලයිෆ් එකේම එහෙම නෑ. මම ඔක්කොමල එක්කම හරි සුහදශීලීයි. කතා බහ කරනවා. මට ගොඩාක් අය යෝජනා ගෙනත් තියෙනවා මට හරි ආදරෙන්. ඒ වුණාට අහන්ඩ බය කට්ටිය ඉඳලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම මම එකට දැක්කේ. ටිකක් වැඩිපුර කෝල් කරලා මෙයා එන්නේ අනිත් පැත්තට කියලා දැනෙන කොට කට් කරනවා.

මම හිටියෙම වෘත්තියේ නැටුම්. රංගනය, කොස්ටියුම්, ජුවලරි ඒවා තමයි මගේ ජීවිතේ වුණේ. මට ආදරේ ඕන. විවාහ වෙන්න ඕන. දරුවෝ හදන්න ඕන කියලා සංකල්පයක් මට දැනුණේ නෑ.

මට හිතෙනවා මම එක්කො බුද්ධාගම දන්නවා වැඩියි. පොත පත කියවලා වැඩියි. ජීවිතේ කියවලා වැඩියි කියලා. මම කියන්නේ මේ ලෝකෙට හැමෝම බඳින්න එන්නේ නෑ. බඳින්න ඕනත් නෑ. සමහර අය මේ ලෝකෙට එක එක කර්තව්‍යයන් සඳහා එනවා. මේ කාරණය මම හරි ලස්සනට ගන්නවා. මගේ සංසාර ගමනේදී මම ඕන තරම් විවාහ වෙන්න ඇති. ඕන තරම් මට ළමයි ඉන්න ඇති. එක ආත්මෙක මම කියන්න ඇති එපා මට ඇති කියලා. මේක මෙතනින් ඉවර කරනවා කියලා. එතකොට සමහර විට මේ ඉවර කරපු ආත්මෙ වෙන්න ඇති. සමහර විට මම පාරමී දම් පුරනවා ඇති වෙන තැනකට. වෙන විදියකට. මම ඒකටත් කැමතියි.

මම පොඩි කාලෙ ඉඳන් වැඩියෙන් බණ ඇහුවා. පොත් කියෙව්වා. මාව දැක්කම කවුරුත් එහෙම හිතන එකක් නෑ. මම අම්මට දැන්ම කියලා ඉවරයි, තව මෙච්චර කාලයයි මේ ටික කරන්නේ, මේවට තිබුණ ආශාව මගේ ඉවරයි. මම ඇති වෙන්න වින්දා. මේ ටික විකුණලා මම පන්සලක් හදයිද දන්නේ නෑ. සියල්ලම සදාකාලික නෑ.

මට හැම තිස්සෙම හිතෙනවා සක්විති රජකම ලබන්න හැකියාව තිබුණු බුදුරජාණන් වහන්සේ සියල්ල අතහැරලා ආව නම් අපි මේ මොනවා අතහරින්න බැරුව ද දඟලන්නේ කියලා.

බුදුහාමුදුරුවන්ට රාහුල ඉපදුණාම එයා රජ කරන්න උත්සාහ කළේ නැහැ. අඬ ගහගෙන ගිහින් මහණ කළා. මිනිස්සුන්ට වහෙන් ඔරෝ කියන්නේ සසර දිනනවා නම් යන්න ඕන මෙතැන්ට කියලයි.

ඉතින් අපි මේ නැතිවෙන සියල්ලකට ආස කර කර දඟලන්නේ මොකටද කියලා හිතෙනවා. මගේ ජීවිතේ ගැන කියන්න බෑ. බැන්දොත් ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. දරුවෝ හිටියොත් වෙනස් වෙන්න පුළුවන්. නොබැඳ හිටියොත් මේ සියල්ලටම හාත්පසින්ම වෙනස් ජීවිතයක් මම ගෙනියන්න පුළුවන්.

දැන් මම මේ කිසි දේකට බැඳිලා ගැලිලා ඇලිලා නෑ. සියල්ල හිස්. කවදහරි නැති වෙනවා. ඒක මට හොඳට තේරෙනවා. හරි සැහැල්ලුයි, සතුටුයි, නිදහසේ ඉන්නවා.

අද අපි අවංකව ගත්තොත් අපි හොයන විවාහයේ සතුට මේ සමාජය තුළ මම දැක්කේ නෑ. මිනිස්සු එක්ක කතා කරත්දි ඒක දැක්කේ නෑ. හැම තැනම තිබුණේ බොරුව. ඉතින් මට බොරු කරන්න ඕන නෑ.

මම බොරුකරන කෙනෙක් නොවෙයි. මම දඟලන්න ඕන තැන දැඟළුවා. කෑවා බිව්වා. යන්න ඕන නම් ගියා. අවංකකමින්, මනුස්සකමින්, නිදහසේ.

මම ගමනක් යන්න ලෑස්ති වෙන්නේ බණ දහම් අහ අහා. නිතර දෙවේලේ ගෙදර පිරිත් ඇහෙනවා. පොඩි කාලේ ඉඳලම බණ පොත් කියෙව්වා. අන්තිමේ ඒවා කියනවා වැඩියි කියලා අම්මලා හැංගුවා. පොඩි කාලේ පන්සල් අතුගාන්න හරි ආසයි.

ඒ බෞද්ධ හැදියාවත් එක්ක ඉතා අඩු වයසින් මට කඨින පිංකම කරන්න අවස්ථාව ලැබුණා. ඉතා ලස්සන පෙරහැරක් කරලා දළදා මාළිගාවේ ඇතා ගෙනත් නැටුම් කණ්ඩායම් 22 ක් දාලා පෙරහැර කරා. ඒ මගේ තෘප්තියට. මම ගොඩාක් පින් කරනවා. හැබැයි ඒ ගැන කියන්න මම කැමැති නෑ.

මම කියන්නේ මනුස්සයෙක් වපුරන දේ තමයි නෙළන්නේ.

සසරෙත් එහෙම ඇති මං. ඒ පුරුද්ද ඇති මට.

මම ජීවත්වෙන්නේ හරිම සතුටෙන්.

සිනමා ජීවිතේ මම ජීවත් වෙන්නෙත් හරි සතුටින්. නර්තනය, රංගනය මගේ ජීවිතේ දෙවියෝ. ඒක මට හරියටම දීලා තියෙනවා. පහුගිය දවස්වල මම ටෙලි නාට්‍යයකට දායක වුණා ‘දංකුඩ බණ්ඩා’ නමින්. වැඩි හරියක් රූගත කිරීම් කළේ පොළොන්නරුවේ. ඒක මට අලුත් අත්දැකීමක්. මාව ඒ ටෙලි නාට්‍යයේ කාටවත් අඳුර ගන්නත් බැරි තරම්. මම ඔසරිය ඇඳගෙන ගැමි චරිතයක් රඟපාන්නේ. ටෙලි නාට්‍ය මම කරලා තියෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. මම හිතන්නේ 6 – 7 ක් විතර ඇති. ඒත් මගේ චිත්‍රපට ජීවිතේ ඊට වැඩිය දුරයි.

සිනමාවට ඇවිත් අවුරුදු 15 කට වඩා කාලයක් ගතවෙලා නෑ. මේ වෙනකොට චිත්‍රපට 60 ට වැඩි රඟපාලා තිබෙනවා.

මම අලුතින්ම චිත්‍රපට දෙකක කටයුතු කරනවා. ඒක මට අලුත් අත්දැකිමක්. මම උපදින්නටත් පෙර ආපු ‘අල්ලපු ගෙදර’ චිත්‍රපටයේ නව නිෂ්පාදනය. පෙර චිත්‍රපටයේ ක්ලැරිස් ද සිල්වා රඟපාපු චරිතය තමයි මම රඟපාන්නේ. ඒ චිත්‍රපටයේ අද ජීවතුන් අතර ඉන්නේ ක්ලැරිස් ද සිල්වා විතරලු. මේ චිත්‍රපටයට මාත් එක්ක නිරෝෂන් විජේසිංහ, විිජේරත්න වරකාගොඩ, ගයාත්‍රි ඩයස්, ගිවන්ත අර්ථසාද් වැන්නෝ සම්බන්ධ වෙනවා.

කීර්ති බණ්ඩාරගේ ‘සීතල යුද්ධය’, ‘අයියයි නංගියි’ වැනි චිත්‍රපටවලට පසුගිය කාලයේ දායක වුණා.

ඇලකන්දේ මාකස්, ෆේස් ටු ෆේස්, නිල් මුවැත්ති, ඇතුළු චිත්‍රපට 07 ක් ඉදිරියට තිරගත වෙන්න තිබෙනවා.

සිනමාවත් නර්තනයත් මගේ ජීවිතෙන් කිසි කලකත් ඈත් නොවේවි කියලා මට විශ්වාසයි. පසුගිය දිනවල දිගු ඕස්ෙට්‍රිලියානු සංචාරයක නිරත වුණා. ආචාර්ය චන්න විජේවර්ධනයන් සමඟ ‘සිහින රැයක්’ නර්තන ප්‍රසංගය රැගෙන ඕස්ට්‍රේලියාවේ ස්ථාන දෙකක සාර්ථක ප්‍රසංගයක් අපි පැවැත්වූවා. ඉදිරි මාස කීපය ඇතුළත තවත් නර්තන ප්‍රසංගයක් වෙනුවෙන් විදේශගත වීමට සූදානමින් සිටිනවා.ජීවිතේ සුන්දරයි, සරලයි, සතුටුයි, සැහැල්ලුයි. මගේ වෘත්තීය ජීවිතයත් එක්ක කාර්ය බහුලයි. ඒත් මේ ලැබුණු ජීවිතේ අර්ථාන්විතව, ආදරයෙන් මම විඳිනවා.

ගොසිප් සි ලංකා