මෙසීගේ සුපිරි දස්කම් හමුවේ ආජන්ටිනාව 16 දෙනාගේ වටයට යයි – අවසන් මොහොතේ කිසිවෙකු නොසිතූ අයුරින් ජය ලැබූ හැටි මෙන්න (VIDEO)

ඉතා තියුණු තරඟයකින් පසු ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට ආජන්ටිනා කණ්ඩායම ඊයේ (26) සමත්විය.

ලොව බිහිවූ අග්‍රගණ්‍ය පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැළකෙන ලියොනල් මෙසීගේ අවසන් පාපන්දු ලෝක කුසලානය මෙය විය හැකි නිසා බොහෝ දෙනාගේ අවධානය ආජන්ටිනා කණ්ඩායම වෙත යොමුවී තිබේ.

කෙසේ වෙතත් තරඟාවලියේ ඔවුන් අයිස්ලන්තය සමග පැවති තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබීම නිසාත්, ක්‍රොඒෂියාව සමග ගෝල 3 – 0ක් සමග පරාජය වීම නිසාත් අවසන් 16 වටයට පිවිසීමට නම් මෙම තරඟය ජය ගැනීම අනිවාර්ය වී තිබුණි.

පසුගිය තරඟ දෙකේදීම ගෝල වාර්තා නොකළ ලියොනල් මෙසී තරඟයේ 14 වන මිනිත්තුවේදී ආජන්ටිනාව වෙනුවෙන් සුපිරි ගෝලයක් වාර්තා කළ අතර තරඟයේ පළමු අර්ධය නිමවූයේ ගෝල 1 – 0 ලෙස ඉදිරියෙන් පසුවෙමිනි.

කෙසේ වෙතත් තරඟයේ 51 වන මිනිත්තුවේදී නයිජීරියානු කණ්ඩායමට දඬුවම් පහරක් ලබාදුන් අතර වික්ටර් මෝසස් එය සාර්ථක කර ගනිමින් ගෝල 1 – 1 ලෙස තරඟය සම කළේය.

තරඟය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබියදී ක්‍රියාත්මක වූ ආජන්ටිනා කණ්ඩායමේ මාකෝස් රෝජෝ ගෝලයක් වාර්තා කරමින් ආජන්ටිනා කණ්ඩායම අවසන් 16 දෙනාගේ වටයට රැගෙන ගියේය.

තරඟයේ වීරයා සම්මානය හිමිවූයේ ආජන්ටිනා කණ්ඩායමේ නායක ලියොනල් මෙසී හටයි.ඔවුන් 16 දෙනාගේ වටයේදී ප්‍රබල ප්‍රංශ කණ්ඩායමත් සමග තරඟ කිරීමට නියමිත අතර ලියොනල් මෙසීගේ ප්‍රබලම ප්‍රතිවාදී ක්‍රීඩකයා වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නියෝජනය කරන පෘතුගාල කණ්ඩායම හා උරුගුවේ කණ්ඩයාම 16 දෙනාගේ වටයේදී තරඟ කරනු ඇති.

මෙම තරඟ දෙකේදී ආජන්ටිනාව හා පෘතුගාලය ජයග්‍රහණය කළහොත් අර්ධ අවසන් පූර්ව වටයේ තරඟය එම කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට නියමිතව තිබේ.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

නෙත් නිව්ස්