ලයිටර්වලින් පුච්චලා මට දස වධ දුන්නා – රොස්‌මිඩ් මෙහෙයුම ගැන සෝමවංශ කියපු කතාව

0
35

1971 අප්‍රේල් 5 කැරැල්ලේදී සෝමවංශ අමරසිංහ වෙත නියමවී තිබුණේ අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය රොස්‌මිඩ් පෙදෙසින් පැහැරගෙන යැමේ කණ්‌ඩායමේ දෙවැනි නායකත්වය සහ අගමැතිනිය පැහැරගෙන යන රිය පැදවීම යන කාරණාය.. බොරැල්ලේ රිට්‌ස්‌ සිනමා ශාලාව අසල වසර 1971 අප්‍රේල් 04 වැනිදා රාත්‍රී 10.30 වන තෙක්‌ රොස්‌මිඩ් ප්‍රහාරයට එක්‌වීමට සෝමවංශ, බෝම්බ බෑගයක්‌ද

රැගෙන සිටියද අන් කිසිදු නායකයකු සහ සාමාජිකයකු එහි නොපැමිණීම හේතුවෙන් කුලී රථයක නැගුණු සෝමවංශ, කොටහේනේ නවාතැන්පළ වෙත පැමිණියේය. අගමැතිනි බණ්‌ඩාරනායක පැහැර ගැනීමේ ප්‍රහාරයට එඩේරමුල්ලේ සරත් සහ රාජා, සෝමවංශ අමරසිංහ, නිමල් ඇතුළු කිහිප දෙනෙක්‌ම සම්බන්ධවී සිටියහ. මේ සියලු දෙනා අප්‍රේල් 5 වැනිදා රාත්‍රියේදී සෝමවංශ අමරසිංහ ද අත්අඩංගුවට ගනු ලැබීය. එම පිරිස තදබල වධ හිංසාවන්ට එහිදී ලක්‌වූහ. 71 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුව සමග තවත් පරීක්‌ෂණ නඩු 140ක්‌ විභාග කළ අතර එහි දෙවැනි නඩුව වූ රොස්‌මිඩ් පෙදෙස නඩුවේ 3 වැනි විත්තිකරු වූයේ සෝමවංශය. ඔහු වැලිකඩ සිරගෙදර එච්. වාට්‌ටුවේ රඳවා තැබිණි. 2013 අප්‍රේල් හත්වැනිදා දිවයින පුවත්පත විසින් ’71 කැරැල්ලේ සෝමවංශ අමරසිංහගේ භූමිකාව පිළිබඳව සාකච්ඡාවක්‌ සිදුකළේය. එඩිසන් ගුණතිලක මහතා විසින් දිගහරින මතකයේ අනෙක්‌ පැත්තේ එදා සෝමවංශ අමරසිංහ විසින් හෙළි කර තිබුණේ මෙසේය.

ප්‍රශ්නය – හැත්තෑ එකේ නැඟිටීම නැත්නම් කැරැල්ලේ අරමුණ වූයේ කුමක්‌ද?

පිළිතුර – එහි මුඛ්‍යාර්ථය මම ඉතාම කෙටියෙන් කියන්නම්. ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය ස්‌ථාපිත නොවූ ශ්‍රී ලංකාව තුළ එය තහවුරු කිරීමයි අරමුණ වුණේ. ඒ හැර වෙනත් කිසිදු පුද්ගලික අරමුණක්‌ හෝ බලය පිළිබඳ අරමුණක්‌ තිබුණේ නෑ.

ප්‍රශ්නය – එදා පක්‌ෂ නායක රෝහණ විඡේවීර විසින් ඔබටත් භාරදූර වගකීමක්‌ පැවරුවා.

පිළිතුර – ඔව්. භාරදුන්නා. ඒක අහපු එක හොඳයි. ඇත්තටම මම දැනන් හිටියේ නෑ මට කරන්න තිබූ කාර්යභාරය. එය ප්‍රශ්න කරන්න අපිට බැහැ. විප්ලවවාදියකුට එහෙම ප්‍රශ්නයක්‌ නෑ. මේ දේ කළ යුතුයි කීවාම එය කළ හැකිය යන්න සහතික කිරීමට අපි බැඳී ඉන්නවා. පසුව තමයි දැනගත්තේ එවක අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මිය අත්අඩංගුවට ගැනීමයි මට පැවරී තිබූ කාර්යය කියා. එය දැන ගත්තා නම් මම ඊට සහභාගි නොවන බව නොවේ මේ කියන්නේ. අරමුණ වෙනුවෙන් අපට කුමන වැඩ කොටසක්‌ පැවරුවත් අපි එය ඉටුකරන්න බැඳී සිටිනවා.

ප්‍රශ්නය – හැත්තෑ එක වකවානුවේදී එවක අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියගේ හොඳක්‌ ඔබ දැක්‌කෙ නැද්ද?

පිළිතුර – අපෝ දැක්‌ක. ඒ නිසා තමයි ඉතිහාසය හරියට කතා කළ යුතුයි කියන්නේ. එතුමියව අත්අඩංගුවට ගැනීමට සිටි කණ්‌ඩාමේ කෙනෙක්‌ මම. බණ්‌ඩාරනායක මහතාගේ දේශපාලන දැනුම සහ එතුමියගේ දේශපාලන දැනුම වෙනස්‌. ගෘහණියක්‌ එකපාරටම අගමැතිනිය වුණා. ඒ දේශපාලනය ඉගෙන ගෙන නොවේ. එතුමිය තමන් නොදන්න පැත්ත ගැන දැන හිටියා. එතුමිය ඉගෙනගත් දේ තුළ තිබුණා තමන් දන්නා තරම ගැන. එම නිසා එතුමිය උපදේශකයන් තබා ගත්තා. සමහර උපදේශකවරු රටට ආදරය කරන අය. ඒ උපදේශයන් අමතක කළ සෑම අවස්‌ථාවකදීම ඇය පරාජයට පත්වුණා. හොඳ විදේශ ප්‍රතිපත්තියක්‌ එතුමියට තිබුණා. එන්. කිව්. ඩයස්‌ මහතා එතුමියට උපදෙස්‌ දුන් එක්‌ අයෙක්‌. ඒ වගේම රටට ආදරය කරන උපදේශකවරු හිටියා. සිරිමා ශාස්‌ත්‍රි ගිවිසුමට අදාළ සාකච්ඡාවේදී අද වගේම ඉන්දියාව ආධිපත්‍යය පතුරුවන්න ගත්තා. මේ අය එක්‌ක සාකච්ඡා කරලා වැඩක්‌ නෑ කියලා එතුමිය සාකච්ඡා මේසයෙන් නැගිට ගියා. ඒවා අපේ රටට ගෙන ආ ජයග්‍රහණ. ජ. වි. පෙ මර්දනය කළා. ඇත්ත. ඒ ගැන අපි එතුමියට දෝෂාරෝපණය කරන ගමන්ම කියනවා ජවිපෙ නැගිටීම හේතුකරගෙන තමයි ඉඩම් ප්‍රතිසංස්‌කරණ ගෙන ආවේ කියා. එතුමියගේ කෘෂිකර්ම ඇමැති ඒ බව කිව්වා. අපිට ත්‍රස්‌තවාදීන් කියා කියූ කටින්ම එතුමිය කිව්වා. ජ. වි. පෙ මේ ළමයි රටටම ආදරය කරන අය. ඔවුන් නිදහස්‌ වී ආවාම පිළිගන්න කළ යුතු සැලකිලි කරන්න කියලා. ඒ වගේම ජ. වි. පෙ. සමග සාකච්ඡා කර එ. ජා. ප දුර්දාන්ත පාලනය නැති කළ යුතුයි කියා එතුමිය යෝජනා කළා. ඒ එකඟවීම හොඳ පැත්තක්‌. හැත්තෑ එකේ අප්‍රේල් 05 මාව අත්අඩංගුවට අරගෙන දවස්‌ දාහතරක්‌ පොලිසියේ තියාගෙන පහර දුන්නා. ඇඳුම් ඉරා දමා දිය යුතු වධ තිස්‌දෙකම දීලා ලයිටර්වලින් පුච්චලා මාව අරලියගහ මැඳුරට රැගෙන ගියා. එදා ඇමැතිවරු ගණනාවක්‌ සමග අගමැතිනිය සාකච්ඡාවක්‌. ජ. වි. පෙ අය හිතන පතන ආකාරය තේරුම් ගැනීමට මේ සාකච්ඡාව පැවැත් වූ බව පසුව මම තේරුම් ගත්තා. පහර දී වධ දුන් සැකකරුවකු ලේ පෙරාගෙන තමන් ඉදිරියට ගෙන්වා ගැනීම රටේ පාලකයෙක්‌ නොකළ යුතු දෙයක්‌. ඒක වරදක්‌. ඉන් තම තත්ත්වය රැකෙන්නේ නෑ. මෙය මම අපරාධ යුක්‌ති විනිශ්චය කොමිසමේ සාක්‌කි දෙමින් කියද්දී සම්භාවනීය පිරිසක්‌ පිළිබඳ ඉතා නරක අදහස්‌ ඇති වන නිසා එහි සභාපති එච්. එන්. ජී. ප්‍රනාන්දු මහතා මට එය කියන්න ඉඩ දුන්නේ නෑ. අගමැති ප්‍රමුඛ ඇමැතිවරු හමුදාපතිවරු, පොලිස්‌පති එතැන හිටියා. එදා අරලියගහ මැඳුරට මාව ගෙන්වූ අවස්‌ථාවේදී මට යමක්‌ බොන්න ගෙනැවිත් තිබුණා.

ඒ මට ගෙනා භාජනවලම තමයි අගමැති සහ ඇමැතිවරුන්ටත් ඒ පානය ගෙන ආවේ. ඒක හොඳ දෙයක්‌. හිරකාරයටත් එසේ සැලකීම. මම ලේ පෙරමින් ඉතා අපහසුවෙන් හිටියේ. ඒ වගේම අප්‍රසාදයෙන් හිටියේ. මම බිව්වේ නෑ. අගමැතිනි ඇහුවා ‘ඕක බොන්නෙ නැත්තේ. ඔය තේ නොවේ. ඔයාලා විරුද්ධ තේ වලටනේ ඕක කෝපි එකක්‌. බොන්න. බොන්න. කියලා. කටට පයින් ගහලා කට හැම තැනම තුවාල වෙලා. මට කන්නත් බෑ. බොන්නත් බෑ. අනෙක මම ආවේ තේ පැන් සංග්‍රහයකට නොවේ කියා මම කිව්වා. ඉතිහාසය වෙනස්‌ වෙන හැටි බලන්න. ඊළඟට දුර්දාන්ත ආණ්‌ඩු පෙරළන්න සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට අප සමඟ එකට සාකච්ඡා කරන්න සිද්ධ වුණා. එහෙම සාකච්ඡා කරන්න එකඟවීමම ඇගේ වටිනා තීන්දුවක්‌. ඉතිං තවත් ඕනෑ තරම් කියන්න දේ තියෙනවා. දිග වැඩි වේවි. අනාගතයේ දවසක ලියමු. ඒ අපේ ලොකුකම කියන්න නොවේ. ඉතිහාසය නිවැරදි කළ යුතු නිසා. මම ඔක්‌කොම ඉදිරි දවසක කියන්නම්. යළිත් කිව යුතුයි මැතිනිය තමන්ගේ දේශපාලන දැනීමේ අඩුපාඩුව හොඳින් තේරුම් අරගෙන උපදෙස්‌ ගත් කෙනෙක්‌. ඇයව අමාරුවේ දැමූ උපදේශකවරුත් හිටියා. ඒක ධනේෂ්වර ක්‍රමයේ ප්‍රතිඵලයක්‌

උපුටා ගැනීම දිවයින.කොම්

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here