මරණය එනතුරු පෙට්‌ටියක සිර කළ සිරකාරිය

0
84

ආන්දෝලනයකට ලක්‌ වූ මෙම ඡායාරූපය ගනු ලැබුවේ ප්‍රංශ ජාතික ඡායාරූප ශිල්පියකු වූ ඇල්බර්ට්‌ කාන් විසිනි. කෝටිපති බැංකුකරුවකු වූ ඔහු 1913 ජූලි මස මොංගෝලියාවේ සංචාරයක යෙදෙන්නේ තම ප්‍රියතම විනෝදාංශය වූ ඡායාරූපකරණයට තවත් අත්දැකීම් කිහිපයක්‌ එක්‌ කරගනු පිණිසය. ලුමියර් සහෝදරයන් විසින් වර්ණ ඡායාරූපකරණය ලොවට හඳුන්වා දුන් මුල් කාලය වූ ඒ වකවානුවේ වර්ණ ඡායාරූප ශිල්පයේ යෙදෙන්නට හැකියාව තිබුණේ කාන් වැනි කෝටිපතියන්ට පමණි. එය එකල මිල අධික විනෝදාංශයක්‌ විය. රටවල් කිහිපයක සංචාරයෙන් පසු කාන් මොංගෝලියානු දේශ සීමාවට ඇතුළු වන්නේ විශාල කාන්තාරයක්‌ හරහාය. එහිදී ඔහුට අහම්බෙන් ඇස ගැසෙන්නේ හුදකලා කාන්තාරයේ පැත්තක දමා තිබූ දැව පෙට්‌ටියකි. එය පරීක්‌ෂා කළ කාන් ට දැන ගන්නට ලැබුණු කතාව අනුවේදනීය හා අමානුෂික එකක්‌ විය.

පෙට්‌ටිය තුළ සිරවී සිටියේ මොංගෝලියානු ජාතික ගැහැනියකි. පෙට්‌ටියේ තිබූ කුඩා විවරයකින් ඇය හිස එළියට දමා ගෙන නොසිටින්නට එම අනුවේදනීය කතාව කාන්ට හසු නොවන්නට ඉඩ තිබුණි. කාන්තාව එම පෙට්‌ටියේ සිර කොට ඇයට වේදනාකාරි දීර්ඝ කාලීන මරණයක්‌ නියම කොට තිබුණි. හාමතේ මියයන්නට පෙට්‌ටියක සිර කොට දැඩි අව් රශ්මියක්‌ හා අධික උෂ්ණත්වයක්‌ ඇති හුදකලා කාන්තාරයේ අත් හැර දමා තිබූ ඇගේ සොහොන් ගැබ වූ දැව පෙට්‌ටිය විවර කොට කාන් ඇය මුදා ගන්නා විට දින ගණනක්‌ හාමතේ සිට ඇය දැඩි අසාධ්‍ය තත්ත්වයක සිටියාය. පෙට්‌ටියෙහි පිටතින් විවරය ඇති පැත්තේ බිම කුඩා බඳුනක්‌ තිබිණි. ඇය එහි සිර කළ දිනයේ එහි ජලය ස්‌වල්පයක්‌ දමා තිබුණ බව පෙනුනද එයට නැවත ජලය පිරවීමක්‌ සිදුව තිබුණේ නැත. අහම්බෙන් මෙන් මඟ යන එන්නන්ගෙන් ආහාර සිඟාකෑමට කාන්තාවට අවසර තිබූ අතර එසේ කර තිබුණේ ඇගේ මරණයේ වේදනාව දීර්ඝ කිරීමක්‌ ලෙසිනි. හාමත අධික වන විට ආහාර ස්‌වල්පයක්‌ ලැබීම ඇගේ වේදනාකාරී ජීවිතය දීර්ඝ කොට තවදුරටත් විඳවීමක්‌ විය. ඇරත් එම කාන්තාරයේ ගමන් යන්නකු දැකීම ඉතා අහම්බයක්‌ම විය. ඡායාරූප ශිල්පියා විසින් ඇය පෙට්‌ටියෙන් ඉවතට ගනු ලැබුවද දඬුවමෙන් මුදා ගැනීම නීති විරෝධී ක්‍රියාවක්‌ විය. වෙනත් සංස්‌කෘතියක නීති පද්ධතියට හා ඔවුන්ගේ සමාජ සම්මතයනට මැදිහත් වීම ඔවුන්ගේ නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක්‌ විය. ඔවුන්ගේ නීතියට අත පෙවීමේ වරදට ඔවුන් නියම කළ දඬුවමෙන් කාන් ඉතා අපහසුවෙන් ගැලවුණ ද කාන්තාව එවැනි සමාවක්‌ නොලද අතර ඉරණම පිළිගෙන නැවත සිය දැව සොහොනෙහි සැතපීමට ඇයට සිදු විය. පසුව අනාවරණය වූ පරිදි කාන්තාව එම දඬුවම ලබා තිබුණේ ඇය අනාචාරයේ යෙදුණු වරදටය. ඔවුන්ගේ නීතියට අනුව අනාචාරය මහා අපරාධයක්‌ ලෙස සැළකූ අතර එයට ලැබෙන්නා වූ දඬුවම එය විය. එම දඬුවම බොහෝ පුරාණයේ සිට පැවත එන්නක්‌ වූ අතර ඔවුන්ගේ නීතියට අභියෝග කිරීමට කිසිවකුට අවසර තිබුණේ නැත.

කාන් විසින් ගන්නා ලද එම ඡායාරූපය, සිද්ධියෙන් අවුරුදු ගණනකට පසු එනම් 1922 දී පළමු වරට ප්‍රසිද්ධියට පත් විය. ඒ National Geographic සඟරාවේය. එයට යොදා තිබූ උදෘතය ‘පෙට්‌ටියේ සිටි මොංගෝලියානු සිරකාරිය’ නම් විය. අනාචාරයේ හැසිරුණු වරදට දඬුවම ලෙස මේ කාන්තාවට හාමතේ මියයැමට හැර දමා ඇති බවද එහි සඳහන් විය. මේ ප්‍රවෘත්තියෙන් බොහෝ පාඨකයෝ කැළඹී ගිය අතර එය බොරුවක්‌ බව තවත් බොහෝ දෙනාගේ මතය විය. නමුත් ඡායාරූපයේ සත්‍යතාව පිළිබඳ සඟරාවේ ප්‍රකාශකයෝ සහතික වූහ. මේ ඡායාරූපය සමාජය තුළ කාන්තාවට හිමි තත්ත්වය පිළිබඳ කතිකාවතක්‌ ඇති වූ අතර කාන්තා සංවිධාන මොංගෝලියානු රජයට මේ පිළිබඳව බලපෑම් කරන තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය විය. මොංගෝලියානු බලධාරීන් ඒ පිළිබඳ විමතිය පළ කළ අතර එය අවුරුදු ගණනාවක්‌ පැරණි ඡායාරූපයක්‌ බව එහිදී හෙළිදරව් විය. එවර විරෝධය එල්ල වූයේ ප්‍රකාශකයන් හා ඡායාරූප ශිල්පියා වෙතය. ඒ, එම ඡායාරූපය ප්‍රමාද කොට පළ කිරීමෙන් එම කාන්තාවට යුක්‌තිය ඉටු කිරීමට තිබූ අවස්‌ථාව ගිලිහී ගිය බව චෝදනාව විය. එය ප්‍රවෘත්තිමය ඡායාරූපයක්‌ බවත් ඒ පිළිබඳ වන ඉන් එහා ක්‍රියාදාමයන් ගැන ඔවුන්ගේ වගකීමක්‌ නොමැති බවත් ප්‍රකාශකයන්ගේ ප්‍රතිචාරය විය. එම ඡායාරූපය ගත් ඡායාරූප ශිල්පියා තම සඟරාවේ ස්‌ථිර වෘත්තිකයකු නොවන බවත් විනෝදාංශය පිණිස ඡායාරූපකරණයේ යෙදෙන කාන් සිය ඡායාරූප ප්‍රසිද්ධ කිරීම හෝ නොකිරීම ඔහුගේ අයිතිය බවද ඒ පිළිබඳව බලපෑම් කිරීමට තමනට නොහැකි බවද ප්‍රකාශකයෝ තවදුරටත් පවසා සිටියහ. ඉන්පසු එම කාන්තාව පිළිබඳ කතිකාව ඊට වඩා දුර පැවතුණේ නැත. ඉන්පසු ප්‍රචලිත වූ මතය වූයේ එම ඡායාරූපය සත්‍ය එකක්‌ නොවිය හැකි බවය.

මිනිසකු සිරගත කිරීම යනු පිටවීමක්‌ නොමැති අවකාශයක රැඳවීම යනුවෙන් අර්ථ දැක්‌වේ. එම අර්ථ දැක්‌වීම විවිධ සංස්‌කෘතීන් තුළ විවිධ ස්‌වරූපයෙන් භාවිත වන්නකි. ඔවුන්ගේ සිරමැදිරි සොහොන් ගැබ ලෙසම පාවිච්චි කළ මෙවැනි අවස්‌ථා ඉතිහාසයේ දුලබ නොවේ. සිරකරුවන් හාමතෙන් හෝ විජලනයෙන් මරණයට පත් කිරීම මෙහිදී සිදු වන්නා වූ ඝාතන ක්‍රමයයි. 20 වන සියවසේ මුල් භාගය දක්‌වාම මොන්ගෝලියාවේ මෙම දඬුවම ක්‍රියාත්මක විය. මෙවැනි දඬුවම් ක්‍රියාත්මක වන තවත් රටවල් පිළිබඳව 1914 දී පළ වූ පුවත්පත් වාර්තාවක මෙසේ සඳහන් විය. ‘ඈත පෙරදිග සමහර රටවල සිරගෙවල් තුළ ඇඳිරි මැදිරි නම් සිර කුටි විශේෂයක්‌ වෙයි. වරක්‌ මෙහි සිරකර තැබූ චීන ජාතික සිරකරුවන් පිරිසක්‌ පිළිබඳව වාර්තා විය. ඔවුන් යකඩ මිනී පෙට්‌ටි තුළ සිර කරන ලද්දාහ. එහි ඔවුන් ජීවිතාන්තය දක්‌වාම සිටින ලද්දේ වකුටු වී සිටින ඉරියව්වකය. කෙළින් සිට ගැනීම හෝ වැතිරී සිටීම තහනම් විය. මෙම සිරකරුවන්ට හිරු එළිය දැකගත හැකි වූයේ දිනකට තත්පර කීපයක්‌ පමණි. ඒ මිනී පෙට්‌ටිය තුළට ආහාර ස්‌වල්පයක්‌ වීසි කිරීම සඳහා එහි වූ කුඩා සිදුර විවෘත කරන අවස්‌ථාවේදීය.’

උපුටා ගැනීම දිවයින.කොම්

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here