ගෙදර ගියොත් අඹු නසී, මඟ හිටියොත් තා නසී – සිරියාවට පහර දෙනවා ද? සටන හකුළා ගන්නවා ද? වොෂිංටනය උභතෝකෝටියකට මැදිවේ

“වැරදි කිරීම මනුෂ්‍ය ගතියක්, සමාව දිම දේව ගතියක්“ කියල කියමනක් තියෙනවා. ඒත් එකම වැරැද්ද පුන පුනා කරනවා නම් දෙවියන්ගෙන් සමාවක් බලාපොරොත්තු විය නොහැකියි. ජෝන් බෝල්ටන්, මයික් පොම්පියෝ සහ ජිම් මැට්ටිස් ඇතුළු යුදකාමීන් පිරිසකගෙන් සමන්විත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලය සිරියාවට එරෙහි යුදමය ක්‍රියාමාර්ගයකට ලකලෑස්ති වෙමින් සිටින  බව පැහැදිලියි. මේ වන විටත් අමෙරිකානු-නේටෝ යුද බල ඇණි නැගෙනහිර මධ්‍යධරණී සාගර කලාපයේ ස්ථානගත වෙමින් සිටිනවා. බ්‍රිතාන්‍යයේ රාජකීය ගුවන් හමුදාවට අයත් බෝම්බ ප්‍රහාරක යානා ද සීරුවෙන් තබා ඇති බවක් වාර්තා වනවා. යූඑස්එස් ටෘමන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවත් නැගෙනහිර මධ්‍යධරණී සාගර කලාපය දෙසට ගමන් කරමින් සිටින බව ඊයේ වාර්තා වුනා.

බටහිර බලවත් රාජ්‍යයන් සිරියාවට එරෙහිව කුමන ක්‍රියාමාර්ගයකට එළඹෙයි ද යන්න තවමත් නිශ්චිතව ප්‍රකාශ කිරීම අපහසුයි. එහෙත් සිදුව ඇතැයි කියන රසායනික අවි ප්‍රහාරයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩිව අවධාරණය කළා.

ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල අවධානයට යොමු නොවන, එහෙත්, බෂර් අල් අසාද්ගේ පාලනය පෙරළ දැමීම සඳහා යුදමය විකල්පයකට එළඹීමෙන් වැළකී සිටීමට වොෂිංටනය පොළඹවන කාරණා කිහිපයක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කිරීම වැදගත්.

පළමුකොටම, අමෙරිකානු මිසයිල ප්‍රහාරයකට එරෙහිව දැඩි ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බවට රුසියාව කළ ප්‍රකාශය කෙරෙහිද මෙහිලා අවධානය යොමුවිය යුතුයි. මැද පෙරදිග සංග්‍රාම භූමිය මත ලෝකයේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු අතර සටනක් ඇති වුනොත්, මුළුමහත් ලෝකයටම විනාශකාරී බලපෑමක් සිදුවන්නට පිළිවන්.

අමෙරිකානු යුද සන්ධානය තුල බෙදීමක් උද්ගතව ඇති අවස්ථාවක මෙවැනි යුදමය ක්‍රියාමාර්ගයකට එළැඹීමට කෙතෙක් දුරට නුවණට හුරුද කියන කාරණය දෙවැන්න යි. මෙය නේටෝව තුල ඉතා බරපතල අර්බුදයක් පවතින අවස්ථාවක්. නේටෝවේ සාමාජික රටවල් ගණනාවක්, මේ වන විට සිරියාව සමඟ පමනක් නොව තම යුද සන්ධානයේම සාමාජික රටක් වන තුර්කිය සමඟ මතභේදයක පැටළී සිටිනවා. විශේෂයෙන්ම,  තුර්කි හමුදාවන්ට උතුරුදිග සිරියාවේ අමෙරිකාවේ අනුග්‍රහය ලත් කුර්දි කැරළිකරුවන්ට එරෙහිව සටන් කිරීමට සිදුව තිබෙනවා.

තුර්කිය, අනෙක් අතට, සාම්ප්‍රදායික ගොඩබිම් සේනාංක අනුව නේටෝ යුද සන්ධානයේ බලවතෙකු වන අතරම රුසියාව සහ ඉරානය සමඟ සන්ධානයගතව සිටින බවක් දක්නට පිළිවන්. අර්බුදයේ දි මොස්කව් පාලනය සහ ටෙහෙරානය සිරියානු ජනාධිපති බෂර් අල්-අසාද්ට සහාය පළ කරනවා.  වර්ධනය වෙමින් පවතින චින-තුර්කි සබඳතාවන් හමුවේ, බෙයිජිං පාලනය නේටෝවට විකල්පයක් ලෙස බොහෝ දුරට සළකනු ලබන ෂැංහයි සහයෝගිතාව සංවිධානය හා එක්වන ලෙසට අන්කාරා පාලනයට තම දොරටු විවර කොට තිබීම දෛවයේ සරදමකට සමානයි (තුර්කිය නේටෝ සාමාජිකයෙකුව සිටියදී).

නේටෝව තුළ ගැටුම වොෂිංටනය සහ අන්කාර පාලනය අතරට පමනක් සීමාවී නෑ. අත්ලාන්තික සංවිධානයේ සෙසු සාමාජිකයන් අතර වන ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය යන රටවල් මෙන්ම, නේටෝවේ නිල නොලත් සාමාජිකයෙකු සහ තුර්කියේ හිතවතෙකු වන ඊශ්‍රායලයත් ඉරාකයේ සහ සිරියාවේ කුර්දි බෙදුම්වාදී ව්‍යාපාරයට සහාය පළ කිරීම කැපී පෙනනවා. ප්‍රංශ විශේෂ බළකා ජනාධිපති මැක්‍රොන්ගේ නියෝගය පරිදි කුර්දි කැරළිකරුවන්ට සහාය පිණිස උතුරුදිග සිරියාව බලා පිටත් කෙරුණා. ඒ අනුව ප්‍රංශය, නේටෝවේම සාමාජිකයෙකු වන තුර්කිය සමඟ යුද වැදීමේ අවදානමක් පවතිනවා.

ට්‍රම්ප්ගේ පූර්වප්‍රාප්තිකයා වන බැරැක් ඔබාමා සිරියාවට එරෙහි සෘජු යුද සංග්‍රාමයක් දියත් කරනු වෙනුවට ජිහාඩි කුළී හේවායන් යොදාගනිමින් ඩමස්කස් පාලනය පෙරළා දැමීමේ හෝ අවම වශයෙන් සිරියානු ජාතික රාජ්‍යය කැබලි කිරීමේ උපාය මාර්ගයක් අනුගමණය කළත්, අමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයා සෘජු ගැටුම් මාවතකට එළැඹ ඇති බැව් පැහැදිලියි.

සිරියාවේ හිතවතුන් වන ඉරානය සහ රුසියාව වසර 7 කට වැඩි කාලයක් සිරියාවේ පාලන තන්ත්‍රය රැක ගැනීමට ක්‍රියා කළා. වොෂිංටනයට සිරියාව ආක්‍රමණය කිරීමට ඉඩදීම ඔවුනට අනුව සටනේ පරාජය බාරගැනීමක්. යම් හෙයකින් එවැන්නක් සිදුවුවහොත්, මුළුමහත් ලෝකයා හමුවේ අමෙරිකාව තම ස්වාමියා බව පිළිගැනීමට මොස්කව් පාලනයට සහ ටෙහෙරාන පාලනයට ද  සිදුවනවා.

ඒ අනුව ලොව අනෙක් න්‍යෂ්ටික බලවතා වන රුසියාව ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය වැනි එහි හිතවතුන් සමඟ එක්ව ආක්‍රමණික හමුදාවන්ට එරෙහිව සාම්ප්‍රදායික සංග්‍රාමයක් දියත් කරන්නට ඉඩ තිබෙනවා. යේමනයට එරෙහිව සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් දියත් කොට ඇති ගුවන් සංග්‍රාමයත් ප්‍රතිවාදී කඳවුර දුර්වල කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නක් බැව් පැහැදිලියි.

මේ සාම්ප්‍රදායික හමුදා එක්ව සිරියාවට එරෙහිව සිදුකරන හානි ප්‍රමාණයට වැඩි හානියක් අමෙරිකාව සහ ඊට හිතවත් රටවල හමුදාවන්ට සිදු කළහොත් එය අමෙරිකා එක්සත් ජනපදය ලබන යුද පරාජයක් වනු නිසැකයි.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයට අර්බදයේදී ඉතිරිව ඇත්තේ විකල්ප දෙකක් පමණයි :  එක්කෝ රුසියාව තවත් න්‍යෂ්ටික සුපිරි බලවතෙකු ලෙස ඔවුන් පිළිගනිමින් (අමෙරිකානු පාලනය තන්ත්‍රය මෙය පිළිගැනීමට සූදානම් නෑ) මේ යුද මෙහෙයුම නතර කළ යුතුයි. නැතහොත්, න්‍යෂ්ටික යුද්ධයකින් ජයගත හැකි  පරිදි රුසියාව සතු ප්‍රතිප්‍රහාරක අවි සැළකිය යුතු පරිදි විනාශ කළ යුතුයි. එහෙත් එවැනි තත්වයක් තුළ පවා රුසියාව තමන් සතු  ඉතිරි අවි වලින් අමෙරිකාවට පහර දෙනවාට සැකයක් නෑ

විජය දිසානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here