අවුරුද්දට බූන්දල ළඳුන් මී පැණියෙන් හැදූ පැණි බේරෙන කැවුම්

අවුරුදු උළෙල හෙළයේ මහා සංස්‌කෘතික මංගල්‍යය ලෙස ජන විඥනය තුළ තදින් මුල් බැස තිබේ. එබැවින් එය ඉහළින් සැමරීම එදා සිටම ඔවුන්ගේ අභිප්‍රාය වෙයි. ගෙපැලේ සිට මහ මැඳුර දක්‌වා පරාසයේ සියලුම ගේ දොර අවුරුද්දට අලුත් වෙයි. අඳින, පළඳින, කන, බොන ආදී වශයෙන් වූ සෑම අංශයකම නැවුම් බවක්‌, අලුත් බවක්‌ අවුරුද්ද විසින් ගෙන එනු ලබයි. එය කාගේවත් අණ කිරීමක්‌ හෝ නියමයක්‌ නිසා නොව, ඔවුනොවුන් විසින්ම වැළඳගනු ලැබීම අවුරුද්දේ ඇති සුවිශේෂත්ව යයි.

එහෙත් එක්‌ එක්‌ පළාත් වල ජනී ජනයා අවුරුද්ද වෙනුවෙන් කරන කියන දේ තුළ සුවිශේෂ වෙනස්‌කම් ද පවත්නේය. එය කවරේදැයි සොයා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ඉපැරණි ගම්මානයක්‌ වූ බූන්දල ගමේ කළ සංචාරයේදී අපූරු කෑමක්‌ පිළිබඳ තොරතුරු හමුවිය. බුන්දල ගම ගැනද මෙහි යමක්‌ සඳහන් නොකළ හොත් ඌණතාවයකි. එය වසර දහස්‌ ගණනක ඉපැරණි මානව වංශ කතාවේ එක්‌ සන්ධිස්‌ථානයක්‌ සනිටුහන් කරන ගමකි. වසර පන්දහසකට පමණ එපිට විසූ මානව ඇටසැකිල්ලක්‌ මානව විද්‍යාඥයන් විසින් එම ගමේ කළ කැණීම්වලදී සොයා ගන්නා ලදී. ලංකාවේ සුවිශේෂී කෙත් බිමක්‌ වූ බූන්දල කලපුව එම ගමේ පමණක්‌ නොව, ජාත්‍යන්තරව ද ප්‍රසිද්ධිය ලැබූ සම්පතකි. සංචාරක කුරුල්ලන්ගේ පාරාදීසයක්‌ වූ බූන්දල ගම ජාතික වනෝද්‍යානය නිසාද ලෝක ප්‍රකටව ඇත.

bundala1මෙම ගමේ කාන්තාවන් හෙළිකළ අපූරු අවුරුදු කෑම “කැවුම්” ය. කැවුම් හි ඇති අපූර්වත්වය කුමක්‌ද? එය අවුරුද්දට හැම නිවසකම කෑම මේසයේ මුල් තැන ගන්නා රසකැවිල්ලකි. ඒ ගැන නොදන්නා පොඩි ළමයෙකවත් ත්‍රිසිංහලයේ නොවේ යෑයි සිතිය හැකිද? එසේ වුවත් කියන්නට යන කැවුම්හි අපූර්වත්වයක්‌ රැඳී ඇත. එම කතුන් පැවසුවේ අද කඩෙන් ගෙනවිත් අවුරුදු කෑම මේසයේ දිදුලන නවීකරණය වූ කැවුම් ගැන නොවේ. මීට වසර 60-70 කට පමණ පෙර එම ගමේ කතුන් විසින් පිස ගන්නා ලද මුළුමණින් දේශීය වූත්, ඔවුනට ම අනන්‍ය වූත් අපූරු කැවුම් ගැනය.

එදා බූන්දල ළඳුන් අවුරුද්දට සැරසෙන්නේ මැදින් මස මුල් සතියේ පටන්ය. පළමුව රංචු ගැසී කැලෑවදින ඔවුන් දර ගෙනවිත් රැස්‌ කරයි. හිස මත තබාගෙන එන දර මිටි පිළිවෙළකට තැන්පත් කරයි. එය “දර පන්දල දැමීම” යනුවෙන් හඳුන්වයි. එම දර වලින් කොටසක්‌ කුඩා කැබලි වලට පලා වෙනම රැස්‌කර තබයි. ඒ සුවිශේෂී කාර්යයක්‌ සඳහාය.

ගම්මානයේ සෑම නිවසක්‌ම පොල් අතු සෙවිලි කළ වහලින් ද, කටු මැටි ගැසූ බිත්තියෙන්ද ගොම පිරිබඩ ගෑ ගෙබිමෙන්ද හෙබියේ වෙයි. එබැවින් බක්‌මහ මුල් සතියේ නිවසේ බිත්තිවල ජලයෙන් අනාගත් මැටි අතින් ගා හැඩ කරයි. එය “පෑ මැටිගෑම” නම් වේ. දිරාගිය පොල් අතු ඉවත් කර අලුතින් වහළ සෙවිලි කරයි. ගෙබිම ගොම හා මැටි ජලයෙන් මිශ්‍ර කර අතින් උලයි. එය “ගොම පිරිබඩ ගෑම” යි. මේ සියල්ලෙන් නිවසට නව එළියක්‌ මෙන්ම, නිවස තුළ නැවුම් සුවඳක්‌ද එක්‌වෙයි. එදා මේගම් වැසියෝ බහුල වශයෙන් පිත්තල භාණ්‌ඩ පරිහරණය කළෝය. ගෘහ මූලිකයා අහර බුදින පිඟානේ සිට බුලත් ඉලත්තට්‌ටුව, පඩික්‌කම, පහන ආදී උපකරණ රාශියක්‌ පිත්තලෙන් නිමවූ ඒවා ය. අවුරුද්දට ප්‍රථම මේ සියලුම උපකරණ ගෘහණිය විසින් ඔපදමනු ලබන්නීය. අද මෙන් ඊට යන්ත්‍ර සූත්‍ර භාවිතයක්‌ හෝ රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමක්‌ නැත. ඇය ඊට යොදා ගන්නේ රතු පාට ගඩොල් කෑල්ලක්‌ තලා හලාගත් ගඩොල් කුඩු ස්‌වල්පයක්‌ හා ගඩාදෙහි යුෂ පමණි. ලැබෙන ඵලය ඉතා අනර්ඝයි. යන්ත්‍ර මගින් කළ ඔපයට දෙවනි නොවේ.

මේ කටයුතු වලින් ඉක්‌බිති එම කතුන් අවුරුදු කෑම මේසය සරසන කැවුම් හැදීමට අවධානය යොමු කරයි. එහි පළමු පියවර වන්නේ වී කොටා සහල් සකස්‌ කර ගැනීමයි. එම කටයුත්තේද යම් අපූර්වත්වයක්‌ තැවරී ඇත. කාන්තාවන් කීපදෙනෙක්‌ එක්‌වී තම තමන්ගේ වී මලු ගමේ එක්‌ ස්‌ථානයට රැස්‌ වෙති. එය නිවසකි. එහි ගසක්‌ යට සෙවනේ ගෝන හම් හෝ මුව හම් බිම එළා ගනිති. කතුන් ගෙනා වී ඊට හලති. එම නිවසේ මෝල් ගස්‌ කුලු හා සෙසු උපකරණ ප්‍රමාණවත් තරම් ඇති සියලු කතුන් පංගු පේරුවකින් තොරව, සාමූහිකව වී කොටති. කුල්ලෙන් පොලා වෙන්කර ගත් සහල් එක ගෝනියකට දමති.

කැවුම් හැදීමේ දෙවන පියවර එළඹෙන්නේ හාල් දියේ දැමීමෙනි. දිනක්‌ පමණ පෙගුණු හාල් කිරි ගොටුවල දමා ජලය බේරෙන්නට ඉඩ හරියි. ඊළඟට ඇත්තේ හාල් පිටි කර ගැනීමයි. අද මෙන් යන්ත්‍ර සූත්‍ර නැත. බාහු බලය පමණකි. එම කතුන් තුළ එදා ඕනෑවටත් වඩා එම ශක්‌තිය පිහිටියේය.

නියම කර ගත් දින උදෙන්ම නියමිත නිවසට රැස්‌වෙති. එම නිවසේ වංගෙඩි හත අටක්‌ මෝල් ගස්‌, පෙනේර ආදී උපකරණ වෙයි. ජලය බේරුනු පසු හාල් ටික ටික වංගෙඩි වලට දමා කතුන් පිටි කොටති. එක වංගෙඩියකට දමන හාල් ටික කතුන් දෙදෙනෙක්‌ හෝ තිදෙනෙක්‌ මෝල් ගස්‌ වලින් එකවර කොටති. මෙය අපූරු ක්‍රීඩාවක්‌ මෙනි. පුරුද්දක්‌ සහිතව කළ යුක්‌තකි. ඔවුන් ඊට කොතරම් නිපුණද යත්, මෝල් ගස්‌ එකට වදින්නේ නැත. එක වරකට වංගෙඩිය තුළට පතිත වන්නේ එක්‌ මෝල් ගස්‌ පහරකි. මෙසේ කොටා ගත් සහල් පිටි පෙනේරයට දමා දෙඅත්හි ලෙලදෙමින් රැස්‌වන්නේ වෙහෙරක්‌ සිහිගන්වමිනි. ඉන් පසු පිටි බෙදා ගනිති. පිටි සේරු දෙක තුන ආදී වශයෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ගෙන යති. ඔවුන් තුළ පවත්නා සමගිය, එකමුතුකම හා සමුපකාරික බව එහි ගැබ්වී ඇති අයුරු අපූරුය.

පිටි “එදා තැබීම” එදිනම කරයි. සීනි බැද දිය මිශ්‍ර කර පැණි සාදා ගන්නා කතුන් ඉන් හාල් පිටි “ඒදයි”. සාමූහික බව කැවුම් පිසීමේදී ද දිස්‌වෙයි. එක්‌ ගෙදරකට අවශ්‍ය කැවුම් පිසීමට කතුන් කීපදෙනෙක්‌ එක්‌වෙති. සෙසු නිවෙස්‌ වෙත යන ඔවුන් එම නිවෙස්‌ වලට ද කැවුම් පිස දෙති. කලින් “එදා” තිබූ මිශ්‍රණය හැන්දකට ගෙන තාච්චුවට වත්කර එක ප්‍රමාණයට කැවුම් පිසීමට එම කතුන්ට ඇත්තේ විසල් කුසලතාවයකි. තාච්චු හත අටකින් කතුන් හත් හට දෙනෙක්‌ කැවුම් පිසති. පැය කීපයකින් ඔවුන්ට එක නිවසකට අවශ්‍ය කැවුම් පිස නිමකළ හැකිය. කුඩා ලෙස කපා කලින් සකසා තිබූ දර ලිප් ගිනි ඇවිල්ලීමට යොදා ගනී. තාච්චුවෙන් බාගත් කැවුම් පළමුව කිරි ගොට්‌ටට දමයි. ඒ තෙල් බේරීයාම සඳහාය. පසුව ඒවා අසල ඇති බටපතුරු වලින් තැනූ ලොකු වට්‌ටියකට දමයි. කැවුම් පිස අවසානයේ ඒවා ලොකු මුට්‌ටි වල අසුරා මුට්‌ටියේ කට රෙදි කඩකින් වසා බැඳ අවුරුදු කෑම මේසයට තැබීම සඳහා වෙන් කර තබයි.

කැවුම් පිසීම ගමේ හැම කාන්තාවකටම කරන්න බැහැ. ඒකට අත්ගුණය පිහිටන්න ඕන. දැන් ගමෙන් කැවුම් හදන්න පුළුවන් පරපුර වඳ වෙමින් යනවා. තව ටික කලක්‌ යනකොට අපේ ගමේ ගෙවල් වලටත් කඩෙන් කැවුම් ගේන්නයි වෙන්නේ. අපි අවුරුද්දට හදන කැවුම් මාසයක්‌ විතර නරක්‌ නොවී තබා ගන්න පුළුවන්. වෙසක්‌ පෝයට අපි කන්නෙත් අවුරුද්දට හදන කැවුම්. එච්චර කාලයක්‌ ගියත් ඒවායේ බුරුල් ගතිය තියෙනවා. පුස්‌ අල්ලන්නෙ නෑ. වෙන අමිහිරි රසයක්‌ ඇති වෙන්නෙත් නෑ. මේ කතාව ඇත්ත කියල පිළිගන්න සමහරු මැලිවේවි. මාස ගණන් තියා ගන්න පුළුවන් විදියට අපි රසායනික බෙහෙත් දාන්නෙ නෑ. ඒකෙ රහස තියෙන්නෙ පිටි “ඒදන” කාන්තාව අතේ. එයා ඒක හරියට පදම ගන්නවා. ඊළඟ කාරණය කැවුම් ගෙඩිය පදමට තෙලේ තම්බා ගන්න ඕන. ඒ සඳහා ගින්දර පාලනය කරනවා. ඒ කියන්නෙ ගින්දර වැඩි වුණොත් කැවුමේ මැද අමුයි. වටේ කළු වෙනවා. ගින්දර අඩු වුණොත් තැම්බෙන්න යන කාලය වැඩියි. ඒ නිසා එක කැවුමක්‌ හැදෙන්න යන කාලය අපතේ නොහැර හොඳට තැම්බුනු කැවුමක්‌ එහි රසය රැකෙන විදියට හදන එක පළපුරුදු කාන්තාවකට මිසක්‌ හැමෝටම කරන්න බැහැ යනුවෙන් “දිවයින” හමුවේ කරුණු පැහැදිලි කළේ කැවුම් හැදීමේ ශාස්‌ත්‍රයෙහි කෙළ පැමිණි, වයස අවුරුදු 60 ඉක්‌මවූ විශ්‍රාමික පාසල් ගුරුවරියක වූ ඒ. ජී. විමලාවතී මහත්මියයි.

බුන්දල කැවුම් වල රස රහස්‌ සොයා ගම්ගොඩේ ඇවිද ගිය විට ශාස්‌ත්‍රය මැනවින් දත් කතුන් කීපදෙනක්‌ සමඟ තොරතුරු කතා කිරීමට අවස්‌ථාව ලැබුණි. ඩබ්ලිව්. එල්. ආරියවතී, නාලනී හෙවත් අනෝමා ඉන් කීපදෙනෙකි. ආරියවතී මහත්මිය වයස 70 පසු කර බොහෝ කල්ය. ඇය ඔවුන් කැවුම් පිසීමේදී අනුගමනය කරන සිරිත් ගැනද කැවුම්වල ඖෂධීය ගුණය ගැනද කරුණු පැහැදිලි කළාය.

කැවුම් හොරාට ඒ කියන්නෙ ගමට දැන නොගන්න පිසින්න බැහැ. අවුරුදු කාලෙට හැම ගෙදරම කැවුම් හදන නිසා මුළු ගමේම තෙල් තාච්චු වැසෙන සුවඳ හමනවා. ඒ නිසයි කැවුම් හොරාට හදන්න බැහැ කිව්වෙ. මේ සුවඳින් ගමේ අය දන්නව කැවුම් හදන බව.

කැවුම් පිසින විට කුඩා ළමුන් ලිප වටේ ඉන්නවා. ලිප මතින් බා ගත්ත තැටිය කැවුම් හරිම රසයි. ළමයි බලා සිටියට කන්න දෙන්නෙ නැහැ. අපේ ගමේ පාරම්පරික සිරිතක්‌ තියෙනවා. බුද්ධ පූජාවට පූජා නොකර කැවුම් අනුභව කරන්නෙ නැහැ. ඒ නිසා කැවුම් පිස, අවසන් වී පසුවදා උදේම පන්සලට ගිහින් බුද්ධ පූජාවට කැවුම් පූජා කරල තමා අපි කන්නෙ.

ඊළඟට කැවුම් කල් තබා ගැනීමේ රහස ඇහුව නොවැ? ඇත්තටම එහෙම රහසක්‌ නැහැ. කැවුම් රස වීමට මී පැණි ස්‌වල්පයක්‌ පිටි මිශ්‍රණයට එක්‌ කරනවා ඇරෙන්න වෙන කිසිම අමුතු දෙයක්‌ මිශ්‍ර කරන්නෙ නැහැ.

කැවුම්වල ලොකු ඖෂධීය ගුණයක්‌ තියෙනවා. ඒවා එක එක විස්‌තර කරන්න මගේ දැනුම මදි. නමුත් කැවුම් කෑවාම බඩගින්න නැති වෙනවා. තව දෙයක්‌ මම දැකල තියෙනව. අපේ ආච්චිල අපේ අම්ම බෙහෙතක්‌ විදියට කැවුම් යොදා ගත්ත අවස්‌ථා. මොකක්‌ හරි හේතුවක්‌ නිසා ඇඟේ ඉදිමීමක්‌ ආවාම කැවුමක්‌ “කඩ උන්න” හි බහා තම්බා උණුවෙන්ම ඒ ස්‌ථානයේ බඳිනවා. ඉදිමීම නැති වෙනවා.

රසවත් කැවුම් තවත් රසවත් කරගන්නා රහසක්‌ නාලනී හෙවත් අනෝමා මහත්මිය හෙළි කළාය. “අවුරුද්ද පහුවෙලා සතියක්‌ හමාරක්‌ යනකොට ගෙවල්වල තිබුණු කෑම ජාති ඉවරයි. නමුත් කුස්‌සියෙ මුල්ලෙ කැවුම් මුට්‌ටිය බාගයක්‌ විතර පිරිල තියෙනවා. එයින් කැවුම් ටිකක්‌ එළියට ගන්නවා. කට ලොකු හට්‌ටියක්‌ අරගෙන ජලය ටිකක්‌ පුරවලා රෙදි කඩකින් එහි කට වසා බඳිනවා. එහි රෙදි කෑල්ලට අර කැවුම් ටික දමා ලොකු හට්‌ටියකින් වහනවා. ඊට පස්‌සෙ හට්‌ටිය ළිප මත තියල දර දමා ගිනි අවුලනවා. ටික වෙලාවකින් වතුර උණු වී ඒ වාෂ්පවලින් කැවුම් තැම්බෙනවා. ළිපෙන් බාගෙන නිවුණාට පස්‌සෙ කාල බලන්න. ඒ රසය අද ඔය කඩවල තියෙන විච්චූරන කෑම ජාතිවල රසායනික ද්‍රව්‍ය කෑම ජාති වල නැහැ. මෙය හඳුන්වන්නෙ කැවුම් “කඩ උන්නෙ තම්බනව” කියල.

මෙම කතුන් හෙළිකළේ මුළුමනින් වැසී යාමට ආසන්න අපේ අතීත හෙළ උරුමයන් ගෙන් බිඳකි. හෙළ බොජුන්හි අග්‍රස්‌ථානයේ වැජඹෙන කැවුම්, පාන් පිටි හා රසායනික ද්‍රව්‍ය යොදා නිපදවන විවිධ රස කැවිලිවලට වඩා කොතරම් දේශීයද යන්නත් හෙළ කතුන් පරපුරෙන් පරපුරට එය උරුම කරදී සිය අනන්‍යතාව රැකගත් අන්දමත් මෙයින් පැහැදිලි විය.


උපුටා ගැනීම දිවයින.කොම්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here