රසායනික අවි වලින් බැට කන සිරියානු දරුවෝ

හිටි ගමන් වෙඩි වරුසාවක්, බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙන්නට පුලුවන. සිරියාවේ ගම්මාන වලට එය අලුත් අත්දැකීමක් නොවේ. ගම් වැසියෝ කොයි මොහොතේ හෝ එල්ල වන්නට හැකි එවන් ප්‍රහාරයකින් ආරක්ෂා වෙන්නට සූදානම්ව සිටිති. තමන් නොරැකුණත් පුංචි දරුවන්ව ඒ ප්‍රහාර වලින් ගලවා ගන්නට ඔවුහු අවධානයෙන් සිටිති.
එහෙත් මේ ඉරිදා සිරියාවේ නැගෙනහිර ගොවුතාවේ අල් ෂිෆුනියා ගම්මානයට එල්ල වූයේ වැඩිහිටියන්ටවත් කුඩා දරුවන්ටවත් එතරම් ලේසියෙන් ආරක්ෂා වෙන්නට බැරි වර්ගයේ ප්‍රහාරයකි.
හිටි ගමන් අදුරු මීදුමකින් හාත්පස වැසී ගියේය. ඊලග තත්පරයේ මිනිසුන් හුස්ම පොදක් ගන්නට අසීරුවෙන් වෑයම් කරද්දී කුඩා දරුවෝ හුස්ම ගන්නට නොහැකිව දුක් වින්දහ.
නැගෙනහිර ගොවුතා කලාපයේ අල් ෂිෆුනියා ගම්මානයට එල්ල වූ මේ ප්‍රහාරයෙන් එක් දරුවෙකු මිය ගොස් ඇති අතර තවත් කාන්තාවක් අසාධ්‍ය තත්වයෙන් පසු වන බවද, කුඩා දරුවන් ඇතුළු 14 දෙනෙක් මේ වන විට බරපතල ලෙස රෝගීව රෝහල් ගත කොට ඇති බව බ්‍රිතාන්‍ය සංවිධානයක් වන Syrian Observatory for Human Rights පවසයි.
ප්‍රහාරයට ලක්ව රෝගී වූවන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු වූ යාකුබ් පවසන්නේ මෙය රසායනික අවි ප්‍රහාරයක් බවත්, බොහෝ දුරට ක්ලෝරීන් වායු ප්‍රහාරයක් විය හැකි බවත්ය.
මේ වායු ප්‍රහාරයට ලක් වූවන් ප්‍රතිකාර ලබන රෝහලේ ස්වේච්ඡා සේවා සිදු කරන ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයක් වන Syrian American Medical Society හි සාමාජිකයින් විසින් රසායනික වායු ප්‍රහාරයට ලක්ව හුස්ම ගන්නට දුක් විදින කුඩා දරුවන්ගේ ඡායාරූප ට්විටර් වෙබ් අඩවියේ පල කොට තිබිණ. මේ රසායනික ප්‍රහාරය ගැන ලෝකයම කතා බහ කරන්නට පටන් ගත්තේ මේ ඡායාරූප පෙල පලවීමත් සමගය.
අල් ෂිෆුනියා ගම්මානය සිරියානු කැරලිකරුවන්ගේ පාලනය යටතේ ඇති ප්‍රදේශයකි. කැරලිකරුවන් වෙත නිරන්තරව එල්ල වන සිරියානු රජයේ හමුදාවන්ගේ ප්‍රහාර මේ ප්‍රදේශයට ආගන්තුක නැත.
රුසියානු ආරක්ෂක ඇමති සර්ගේයි ෂොයිගු පවසන්නේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශ වලට දිනපතා සටන් විරාම පැය ගණනක් ලබා දෙන ලෙස රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඉල්ලා ඇති බවයි. අගහරුවාදා සිට බල පැවැත්වෙන පරිදි උදේ නවයත් හවස දෙකත් අතර කාලය තුළ ඩැමස්කස් හා ඒ අවට නගර සදහා සටන් විරාම පැය කිහිපයක් ලබා දෙන්නට සිරියානු රජයෙන් ඉල්ලා සිටින බවද, ඒ කාලය තුළ ඒ නගර වල සිවිල් වැසියන්ට පලා යන්නට මාර්ග සලසා දෙන බවද ඔහු විසින් ප්‍රකාශයට පත් කළේ සදුදා දිනයේදීය. ඔහුගේ මේ ප්‍රකාශය සිදු කරන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් සිරියාවේ යුධ කලාප සදහා දින තිහක සටන් විරාම කාලයක් යෝජනා වී තිබියදීය.
තත්වය එසේ තිබියදීත් නැගෙනහිර ගොවුතාව රජයේ හමුදාවන්ගේ නිරන්තර බෝම්බ ප්‍රහාර වලට ලක් වූ බව ප්‍රදේශයේ යුධ වාර්තාකරුවෝ පවසති.
සිය දහස් ගණනින් සිවිල් වැසියන් මරා දැමූ ප්‍රහාර එල්ල කරමින් වසර අටක කාලයක් ගත කළ සිරියානු රජය දිගින් දිගටම තම හමුදාවන් විසින් රසායනික ප්‍රහාර එල්ල නොකළ බව කියා සිටී.
ඔවුන් එම රසායනික ප්‍රහාරය ප්‍රතික්ෂේප කළද සිරියානු රජය විසින් මේ දක්වා කළ රසායනික ප්‍රහාර ගණනාවක් වෙයි. 2017 අප්‍රේල් මාසයේදී කාන් ෂේක්හවුන් වෙත බෂාර් අල් අසාද්ගේ හමුදාවෙන් එල්ල කළ රසායනික අවි ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 86 දෙනෙක් මිය ගොස් සිය ගණනක් ගම් වැසියන් රෝගී විය.
2015 වසරේ සිටම සිරියානු රජයට සහය දක්වන රුසියානු රජය පවසන ආකාරයට නම් මේ රසායනික ප්‍රහාරය එල්ල කොට ඇත්තේ සිරියානු කැරලිකරුවන් විසිනි. ඔවුන් විසින් ජනතාව පීඩාවට පත් කොට එහි වගකීම සිරියානු රජයට පවරනු වස් මෙම රසායනික ප්‍රහාරය එල්ල කොට ඇති බව ක්‍රෙම්ලින් මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙෂ්කොව් පවසයි.
“කැරලිකරුවන් අවි බිම තියන්න සූදානම් නැහැ. ඔවුන් සිවිල් වැසියන්ව ප්‍රාණ ඇපකරුවන් විදිහට තියාගෙන ඉන්නවා. මෙය ඉතාමත් සීරුවෙන් කටයුතු කරන්න ඕන අවස්ථාවක්..” ඔහු තම ප්‍රකාශයේදී වැඩිදුරටත් සදහන් කළේය.
සිරියානු කැරලිකරුවන් එම ප්‍රදේශ වල සිවිල් වැසියන් පලිහක් ලෙසින් පාවිච්චි කරන බවද අසත්‍යයක් නොවේ. මේ ප්‍රදේශ වල සිටින සිවිල් වැසියන් මේ දෙපාර්ශවය අතරට මැදිවී සිරියානු යුද්ධයේ බිහිසුණුම හිංසනයන්ට ලක් වෙමින් සිටිති. සිරියානු කැරලි කරුවන්ට එරෙහිව බෂාර් අල් අසාද්ගේ රජයේ හමුදාවන්ගෙන් එල්ල කෙරෙන බෝම්බ ප්‍රහාර වලින්ද, රජයේ හමුදාවන් වෙත එල්ල කෙරෙන කැරලි කරුවන්ගේ ප්‍රහාර වලින්ද සිවිල් වැසියෝ එක ලෙසින් මිය යති.
Syrian Observatory for Human Rights සංවිධානය පවසන ආකාරයට සතියක කාලයක් තුළදී මෙම ප්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 530ක් වන අතර එයින් 130ක්ම කුඩා දරුවන්ය. බෝම්බ ප්‍රහාර වලින් ආරක්ෂා වීමට නිවෙස් වල භූගත මහල් වලට වී සැගවී සිටින මිනිසුන්ද බොහෝ සෙයින් දුක් විදින බව සහන සේවා කණ්ඩායම් පවසති. බොහෝ මිනිසුන් කුඩා දරුවන්ද සමග දින ගනන් නිරාහාරව මේ භූගත මහල් තුල ගත කරන බව එම සහන සේවකයෝ මාධ්‍ය වලට පවසති.
මේ යුද්ධයට මැදිව වඩාත්ම දුක් විදින්නේ සිරියානු දරුවන්ය. මේ වන විට කෙලි දෙලෙන් ගෙවන ලමා කාලයක අයිතිය, අධ්‍යාපනය ලැබීමේ අයිතිය පමණක් නොව ජීවත් වීමේ අයිතියද හුස්ම ගැනීමේ අයිතියද ඔවුන්ගෙන් උදුරාගෙනය.

නිම්මි මුදිතා හේරත්
ඉරිදා දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here