ජනතාව පොළොවේ බඩුමිල අහසේ

බඩු මිල ඉහළයාම පිළිබඳ ආණ්ඩුව සහ විවිධ බලධරයන් නිදහසට කෙනෙක් කරුණු ඉදිරිපත් කළද, ආණ්ඩුව විවිධ පැළැස්තර ඇලවුවද ඒ එකකින්වත් ඉහළයන භාණ්ඩ මිල පහළ හැරෙන ලකුණක්වත් දක්නට නොමැත. මේ නිසා එදිනෙදා කුලියක් මලියක් කර ජීවත්වීමට යම් මුදලක් උපයන අය මෙන්ම මාසිකව ස්ථාවර වැටුපක් ලබන්නෝද, ස්වාධීනව සුළු ව්‍යාපාරවල යෙදී සිටින්නෝද බලවත් දුෂ්කරතාවකට පත්ව සිටිති. ඔවුන්ගේ ආදායම් අත්‍යවශ්‍ය ආහාර මිලට ගැනීමට තරම්වත් නොසරිලන නිසා පරිභෝජන අවශ්‍යතා සඳහා ණය ලබාගැනීමට සිදුව තිබීම රහසක් නොවේ.

ආහාර ද්‍රව්‍ය සඳහා පමණක් නොව වෙනත් අත්‍යවශ්‍ය විවිධ දේවල් සඳහාද මුදල් වැය කළයුතුය. ඇඳුම් පැළඳුම්, බෙහෙත් ද්‍රව්‍ය, දරුවන්ගේ අධ්‍යාපනය, යුතුකම් ඉටුකිරීම්, ගමනාගමනය ආදී බොහෝ අවශ්‍යතා සඳහා මුදල් නැතිවම බැරිය. සතියකට අවශ්‍ය මුදල සතියේ මුල් දින දෙකේදී වාෂ්පවී යන තත්ත්වයට පත්ව තිබේ. බඩු මිල අඩු නොවන්නේ නම් මේ තත්ත්වයට පිළියම වන්නේ අතට ලැබෙන ආදායම් වැඩිකර ගැනීමය. එහෙත් අවාසනාවකට මෙන් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන වැටුප් ස්ථාවරව පවතී. එදිනෙදා කුලී වැඩ කරන අයගේද ස්වයං රැකියා කරන්නන්ගේ ද ආදායම වැඩිවන පාටක් නැත. මෙම තත්ත්වය තුළ පොදු ජනතාව කබලෙන් ළිපට වැටී ඇති සැටියෙකි. මා දන්නා හඳුනන පෞද්ගලික අංශයේ සේවකයකු මා සමඟ පැවසුවේ තමාගේ සහ බිරියගේ රන් භාණ්ඩ සියල්ලම මේ වනවිට උගස් කර ඇති බවය.

ආහාර ද්‍රව්‍ය හැරුණුවිට අද වනවිට කවුරුවත් පාවිච්චි කරන සබන් වර්ග, දත් බෙහෙත්, බුරුසු, රෙදි සෝදන කුඩු, රේසර් සහ බ්ලේඩ්, පියරු, හිස් ආලේපන ආදි බොහෝ දේවල් මිල මාසිකව වැඩිවන ප්‍රවණතාවක් පවතී. එසේම කෙටිකෑම, බනිස්, පැණිබීම, කිරිපිටි, පැණිරස කෑම, බිස්කට්, කේක් ආදියේ ගුණාත්මකභාවයද, බර සහ ප්‍රමාණයද අඩුවෙමින් මිල වැඩිවන තත්ත්වයක් උද්ගතව ඇති නිසා පාරිභෝගිකයන් හැම පැත්තෙන්ම සූරා කන තත්ත්වයක් ඇතිවී තිබේ.

පාරිභෝගික සේවා අධිකාරිය නමට විතරයි

සහල්, එළවළු, මස්, මාළු, කුළුබඩු, කරවල, පොල් සහ පොල්තෙල් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළයාම සාමාන්‍ය මහජනතාවට විශාල පීඩාවක් බවට පත්ව ඇත. එළවළුවල මිල මේ දිනවල උපරිමයට ඉහළ ගොස් ඇති අතර, එළවළු ආහාරයට එකතු කරගැනීම නවත්වන තත්ත්වයට පත්ව තිබේ. වෙනදාට එළවළු කිලෝවක් ගත් මුදලෙන් අද ග්‍රෑම් 250ක් හෝ මිලටගත නොහැකිය. වෙළෙඳපොළට එන ගෘහණියන් එළවළු මිල අසා සුසුම් හෙලමින් හිස් අතින් යනු දක්නට ඇත. මාළු මිලද ඉතාම විශාල ලෙස වැඩිවී ඇත. වෙනදාට රුපියල් 100ක තරමේ තිබූ සාලයා කිලෝවක සිල්ලර මිල රුපියල් 270කට පමණ පත්ව තිබේ. තෝරා මාළු වෙළෙඳ පොළේ දක්නට නොමැති අතර වෙනදා කිලෝව රුපියල් 800ක මට්ටමේ තිබූ තලපත්, කිලෝව රුපියල් 1200 ඉක්මවා ඇත. පෑලියගොඩ මාළු වෙළෙඳ සැලේ වෙළෙන්දෙකු පැවසුවේ වෙනදාට මාළු ලොරි 45 – 50ක් පමණ වෙළෙඳ සලට පැමිණියද මේ වනවිට එන්නේ ලොරි 20 – 25 පමණ බවය. එසේම මිල වැඩිනිසා වෙළෙඳාම ද අඩුව තිබේ. දිනකට තම කුටියේ විවිධ මසුන් වර්ග කිලෝ 50 – 60 අලෙවි කළත් මේ දිනවල එම ප්‍රමාණය කිලෝ 20කට පමණ අඩුව ඇතැයි ඔහු කියයි. පසුගියදා පැවැති අයහපත් කාලගුණය නිසා මුහුදු යාම අඩුවීමද මාළු මිල වැඩිවීමට හේතුවී තිබේ.

එසේම පසුගිය උත්සව සමය ආරම්භයේදීම කුකුළු මස් පාලන මිල ඉවත් කිරීම නිසා මේ වනවිට කුකුළු මස් කිලෝවක මිල රැපියල් 500 ඉක්මවා ඇත.

පසුගිය 07 දා සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුව ආනයනය කරන මාළු කිලෝවක ආනයන බද්ද කිලෝවකට රුපියල් 25ක් බැගින් අඩුකර තිබේ. එයින් බලාපොරොත්තුවන්නේ ආනයනික මාළු සුලබ කිරීම බව පෙනෙන්නට තිබේ. එහෙත් අද පවතින මිල අනුව සලකාබැලීමේ ආනයනික මාළු කිලෝව රුපියල් 25කින් මිල අඩුකිරීම එතරම් ප්‍රතිඵලදායි වේදැයි සැකසහිත වන්නේ දැනටමත් ආනයනික මාළු සහ මෙරට මාළු අතර පවතින මිල පරතරය ඉහළ බැවිනි.

සහල්වල මිල ඉහළ යාමද විශාල ලෙස පාරිභෝගිකයාට බලපායි. ආණ්ඩුව සහල්වලට පාලන මිලක් නියමකර ඇති නමුත් එය පොතට පමණක් වන්නේ කිසිවිටෙකත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි නිසාය. දැනට දේශීය සහ ආනයනික සහල්වලට පවතින පාලන මිල මෙසේය. (කිලෝවක මිල සඳහන් වේ.)

දේශීය සහල්    – සම්බා රුපියල්   90/-
– නාඩු රුපියල්     80/-
– කැකුළු රුපියල්  78/-

ආනයනික සහල්    – සම්බා රුපියල්   80/-
– නාඩු රුපියල්     70/-
– කැකුළු රුපියල්  72/-

මෙලෙස සහල් මිල පාලනය කළද විවෘත වෙළෙඳ පොළේ සහල් මිල පාලනයක් නොමැති බව අප වෙළෙඳ පොළේ කළ සමීක්ෂණයකයේදී පැහැදිලි විය. නාඩු සහල් පාලන මිලට දීමට නොහැකි නිසා වෙළෙඳුන් නාඩු සහල් ආනයනය නොකරන බව තොග වෙළෙන්දෝ කියති. සම්බා සහ නාඩු සහල් පාලන මිලට අලෙවි වන නමුත් එලෙස අලෙවියට ඇති සහල් ඉතා බාල වර්ගයේ බව පෙනීගිය අතර වෙළෙඳුන් පැවසුවේ ආනයනික සහල්වලට එතරම් ඉල්ලුමක් නැති බවයි. එයට හේතුව ඒවාට විශාල ලෙස රසායනික අඩංගු බවට මාධ්‍ය මගින් කරන ලද ප්‍රචාරය බව පැවසූ ඔහු ආණ්ඩුව මේ පිළිබඳ ජනතාව දැනුම්වත් කර නොමැති බව කියයි.

දේශීය සහල් සඳහා ඒකාධිකාරය ප්‍රධාන පෙළේ මෝල් හිමියන් හා තොග වෙළෙඳුන් කිපදෙනකු අතර පවතින නිසා ඔවුන් සීමාසහිතව තොග නිකුත් කිරීම හේතුවෙන් සහල් මිල වැඩිවී තිබේ. ඔවුන් සිල්ලර වෙළෙඳුන්ට සහල් විකිණීමේදී පාලන මිලට බිල්දමා ප්‍රවාහන ගාස්තු ලෙස විශාල මුදලක් එකතු කරන නිසා දේශීය සහල් පාලන මිලට දිය නොහැකි බව වෙළෙන්ඳෝ පවසති. සමූපකාර අලෙවි සැල්වල මෙන්ම සහල් වෙළෙඳ සැල්වල සහල් පාලන මිලට වැඩියෙන් අලෙවිකරනු දැකගත හැකිවිය. ඇතැම් සමූපකාර වෙළෙඳසල්වලද වැඩි මිල සඳහන් කර මිල ප්‍රදර්ශනය කරනු ද දැකගත හැකිය. වෙළෙඳුන් පවසන්නේ තමන්ට නඩු වැටුණත් සහල් පාලන මිලට අලෙවි කළ නොහැකි බවය.

මරඳගහමුල හාල් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් පවසන්නේ වැඩි මිලට මිලදී ගෙන වී තොග රැස්කිරීම වහා පාලනය නොකළහොත් පාලන මිල කෙසේවෙතත් තව සුළු කාලයකින් විවෘත වෙළෙඳපොළේ සහල් මිල කිලෝව රුපියල් 120ක් වීම වැළැක්විය නොහැකි බවයි. මේ ආකාරයට වී තොග රැස්කිරීමට ඉඩ ලබාදුනහොත් සහල් කිලෝව රුපියල් 100 ඉක්මවන බව තම සංගමය වරින් වර බලධාරීන්ට දැනුම් දුන් නමුත් එයට පියවර නොගැනීම නිසා මේ වනවිට සහල් කිලෝව රුපියල් 100 ඉක්මවා ගොස් ඇති බව ඔහු පැවසීය. වී අලෙවි මණ්ඩලය නීතිය නිසිලෙස ක්‍රියාවට නැංවූවා නම් තත්ත්වය වළක්වා ගතහැකිව තිබුණි.

එසේම ඔහු පෙන්වා දෙන්නේ පාලන මිල ඉක්මවා සහල් අලෙවිකරන බව කියමින් සිල්ලර වෙළෙඳුන් වැටලීම අසාර්ථක වෑයමක් වන අතර, මහා පරිමාණ වී තොග අලෙවිකරන අය සමඟ ඇති පුද්ගලික හිතවත්කම් නිසා මේ කනගාටුදායත තත්ත්වය ඇතිව තිබෙන බවයි. හොඳ සහල් රජය ආනයනය කළානම් ඉදිරි කන්නයේදී සහල් මිල ඉහළ යාම පාලනය කළහැකි වන අතර, මුලදීම හොඳ සහල් ගෙනාවානම් මෙම තත්ත්වය ඇති නොවන බව සභාපති කියයි. එසේම ඔහු පවසන්නේ තම සංගමය සහල් ආනයනයට එරෙහි නොවන බවයි.

වෙළෙඳපොළ විශ්‍ලේෂකයන් පවසන්නේ රටේ මේ වනවිට වසරකට සහල් මෙට්‍රික් ටොන් 65ක් නිෂ්පාදනය කරන අතර එය යල්කන්නයට ටොන් 35ක් හා මහා කන්නයට ටොන් 35ක් වශයෙන් බෙදීයන බවය. සමස්ත නිෂ්පාදනයෙන් රජය මිලට ගන්නේ සියයට 5 – 6ක් පමණක් වන අතර ඉතිරි සියල්ල පෞද්ගලික අංශය මිලට ගනියි. රජය සතු සියලුම වී ගබඩා පිරවීමට වී ගත්තද එම ප්‍රමාණය නිෂ්පාදනයෙන් සියයට 10 නොඉක්මවයි. එහෙත් වී අලෙවි මණ්ඩලය සතු ගබඩා රැසක් පෞද්ගලික අංශයට බදු දී ඇති නිසා ප්‍රමාණවත් ගබඩා පහසුකම් නැත. තවමත් ඇතැම් ගබඩාවල කන්න දෙක තුනකට පෙර ගත් සහල් තබාගෙන ඇති අතර, ඒවා හිස් කිරීමට පියවර ගෙන නැත. සහල් නිෂ්පාදනය කළ කුඩා මෝල් වැසී ඇති අතර සියයට 20ක් පමණ තවමත් ඉතිරිව තිබේ. විශාල මෝල් හිමියන්ගේ බලපෑම මත ඒවාද නුදුරු අනාගතයේදී වැසීයනු ඇත.

පාරිභෝගික සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන වැටලීම් වලින් එතරම් ප්‍රතිඵල ලබාගත නොහැකි බව එම අධිකාරියේ වැටලීම් අංශය භාර නිලධාරියෙක් පැවසුවේය. ඔහු පැවසුවේ හසුවූ අය දඩ ගෙවා යළි පැමිණ එයම කරන බවය. මෙය හරියට කසිප්පු විකුණනවා වගේ වැඩක් ඔහු කියයි. ලැබෙන මිල අනුව සහල් පාලන මිලට විකිණිය නොහැකි බව තමාද පිළිගන්නා නමුත් වැටලීම් නවත්වා නොමැති බව ඔහු කීවේය. ඇතිව ඇති තත්ත්වය පිළිබඳ ජීවන වියදම් කමිටුවටද වාර්තා කර ඇතැයි පවසන ඔහු ප්‍රතිචාරයක් ලැබී නැතැයි කීවේය.

දැනට ආහාර ද්‍රව්‍ය 10ක් පාලන මිලට නතුකර ඇති අතර, විශාලම ප්‍රශ්නය උද්ගතව ඇත්තේ සහල් අලෙවිය පිළිබඳව යැයි ඔහු කීය. එසේම මිල පාලනය විවෘත වෙළෙඳපොළ ආර්ථිකයට නොගැලපෙන බව තමා පෞද්ගලිකව පිළිගන්නා බවද ඔහු කියයි.

සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමේය සභාපති අසේල සම්පත් පවසන්නේ හෝටල්වල ආහාරපාන මිල පාලනය කිරීමට හැකි නමුත් ආණ්ඩුව එයට කටයුතු නොකිරීම නිසා ආපනශාලාවල විවිධ මිල ගණන් යටතේ බත් පැකට් සහ කෙටිකෑම වර්ග අලෙවි කරන බවය.

අද ආහාරපාන පිළිබඳ තීරණ ගැනීමට කිසිදු රාජ්‍ය ආයතනයක් නැහැ. තියෙන ආයතනත් අකාර්යක්ෂමයි. පාරිභෝගික සේවා අධිකාරිය නමට පමණයි. කිසිම තීරණයක් ගන්න බැහැ. අපි කියන්නේ බත් පාර්සලයේ මිල කෙටි කෑමවල මිල, ආප්ප, බනිස්, කිරි තේ, තේ ආදියේ මිල පිළිබඳ පාලනයක් කිරීමට අපහසු නොවන බවයි. ආණ්ඩුව ඒ සඳහා මැදිහත් වෙනවා නම් අපට පුළුවන් සහය දෙන්න. එසේම කෑමවල ප්‍රමිතියද උසස් කළ යුතුයි. උදාහරණයක් වශයෙන් කිවහොත් බත් පැකට්ටුවක බර කොපමණ විය යුතුද එයට එකතු කළ යුතු එළවළු වර්ග කීයද? මස් මාළුවල ප්‍රමාණය බර කොතෙක් විය යුතුද ආදිය පිළිබඳ ප්‍රමිතියක් පැනවිය යුතුය. එසේම ආප්පු තේ ආදිය පිළිබඳවද එලෙස නියමයන් ඇති කළ හැකියි. පිටි කිලෝවකින් ආප්ප 35-40 පමණද, තේ කොළ කිලෝවකින් තේ 350 පමණද, සීනි කිලෝවකින් තේ 100-150 අතර ප්‍රමාණයක්ද තැනීමට පුළුවන්. එහෙම අලෙවි කරලා සෑහෙන ලාභයක් ලබන්නත් වෙළෙන්දාට හැකියි. නමුත් මේ පිළිබඳයම් නියාමනයක් තිබිය යුතුයි. එහෙම නැතුව අපේ සාමාජිකයන්ට මිල නියම රකින්න යැයි නීති දමන්න බැහැ.

ඔහු පවසන්නේ තම සංගමයේ ඍජු මැදිහත්වීමෙන් කරගෙන යන ඇස් වාට්ටු මංසන්ධිය, මොරටුව කොට්ටාව ආදී ආපන ශාලාවල සාධාරණ මිලට අලෙවි කරන බවයි. ගිරිඋල්ලේ පවත්වාගෙන එන දුර ගමන් ආපන ශාලාවේද සාධාරණ මිලට කෙටි කෑම වර්ග සහ බත් ආදිය තිබේ.

සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ල ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න

ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යන්නේ ප්‍රධාන වශයෙන්ම ඒවා ගෙන්වන රටවල ආහාර නිෂ්පාදනය  අඩුවී තිබෙන බැවිනි. අද ලෝකයේ සෑම පැත්තෙන්ම ආහාර හිඟයක් තියෙනවා. අනාගතයේදී මේ තත්ත්වය උග්‍ර විය හැකියි. ඉන්දියානු රුපියල ශක්තිමත් වී ඇති අතර අපේ රුපියල දුර්වල වෙලා. මේ තත්ත්වයද ආනයන කරන භාණ්ඩවල මිල වැඩිවීමට හේතු වෙනවා.

එහෙම අවස්ථාවක මේ රටේ මිල පාලනය කිරීමෙන් සිදුවන්නේ සියල්ල අවුල්වීමක්. හාල් ගැන කතා කළොත් ආනයනික සහල් මෙන්ම දේශීය සහල්ද පාලන මිලට දෙන්නට බැහැ. මෙරටට ගෙන්වන නාඩු සහල් 72ට සහ සම්බා 80ට පාලනය කර තිබුණත් ඒ මිලට දීමට නොහැකියි. ආණ්ඩුව පසුගියදා සහල් ආනයනය කිරීමට විවෘතව අවසර දුන්නත් වෙළෙඳුන් සහල් ගෙන්වන්නේ නැහැ. එයට හේතුව ගෙනත් පාලන මිලට දෙන්නට බැරිවීමයි. දේශීය සහල්වල මිලට කෘත්‍රිම ඉහළ තැබීමේ වැඩපිළිවෙළක් ඇතිවෙලා තියෙනවා. කුඩා සහල් මෝල් සියල්ලම පාහේ වැසීගොස් මේ වනවිට මහා පරිමාණ තොග වෙළෙඳුන් කිහිප දෙනෙකු පමණක් මතුවී තිබෙනවා. ආණ්ඩුවේ පාලන මිල නොසලකා සහල් විකුණන්න තමයි වෙළෙඳුන්ට සිදුව ඇත්තේ. සහල් මෝල් හිමියන්ගේ තොග මිල පාලනය නොකර සිල්ලර මිල පාලනය කිරීමට කොතරම් උත්සහ කළත් වැඩක් වෙන්නේ නැහැ.

පරිප්පු, කඩල, මුං ඇට ආදී වියළි ආහාරවලත් මිල ක්‍රමයෙන් ඉහළ නගිනවා. එයට හේතුව විදේශ රටවල මිල ඉහළ යාම සහ අනිකුත් වියදම් සමඟ ගෙන්වන ඇටවර්ග පාලන මිලට දෙන්නට බැරිවීමයි. ඒ නිසා කොතරම් මිල පාලනය කළත් ප්‍රතිඵලයක් නැහැ. අන්තිමට සිද්ධ වෙන්නේ වෙළෙඳුන් පාලන මිල ගැන යම්තම්වත් නොසලකා ක්‍රියා කිරීමයි.

ඔහු පවසන්නේ ස.තො.ස. ද මේ වනවිට ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමෙන් වැළකී පිටකොටුවේ විවෘත වෙළෙඳපොළෙන් මිලට ගෙන අඩුමිලට විකිණීමට පටන් ගෙන තිබෙන බවයි. මෙම වෙළෙඳාමෙන් ලක් සතොස පාඩු ලබන විට ජනතාවගේ බදු මුදල් වැයකර එම පාඩුව පියවා ගනී. මෙය රඟපෑමක් පමණක් බව සභාපතිවරයා කියයි. මෙලෙස වෙළෙඳපොළෙන් රැගෙන විකුණනවා නම් ස.තො.ස. පවත්වාගෙන යාමේ ප්‍රතිඵලයක් නැත. එය රටට බරක් පමණි. පාරිභෝගික සේවා අධිකාරිය මෙම තත්ත්වය දැනගෙන එය නොසලකා වැටලීම් කරනවා. මෙයින් සිදුවන්නේ විශාල ව්‍යාපාරිකයන් ඉතිරි වෙද්දී සුළු ප්‍රමාණ වෙළෙඳුන් නැත්තටම නැතිව යාමකි. පාලන මිලට සහල් විකිණිය නොහැකි බව පාරිභෝගික සේවා අධිකාරියට ඔප්පු කර පෙන්වූ පසුව වැටලීම් අඩුකළ නමුත් දැන් යළිත් ආරම්භ කර තිබෙන බව පෙනේ. ඔහු මෙසේද කියයි.

අප මේ පිළිබඳ ආණ්ඩුවේ අදාළ පාර්ශ්වවලට අවස්ථා ගණනාවකදී පෙන්වා දී තිබෙනවා. ලියුමක් යැවුවත් පිළිතුරක්වත් එවන්නේ නැහැ. බීරි අලින් වගෙයි හැසිරෙන්නේ. විවෘත ආර්ථිකයක් ඇති රටකට පාලන මිලක් අවශ්‍ය නැති අතර කළයුත්තේ අවශ්‍ය කෙනෙකුට ආනයනය කිරීමට සහ වෙළෙඳපොළට මැදිහත්වීමට ඉඩදීමයි. සතොසටද පිටරටින් භාණ්ඩ රැගෙන විකිණීමට අවස්ථාව දිය යුතුයි. ස.තො.ස. වැඩි ලාභයක් තබා නොගෙන සහන මිලකට විකුණන්නේ නම් දේශීය වෙළෙඳ පොළේ මිල පහළයාමට එය හේතුවෙනවා.

පාලන මිල විහිළුවක්

කොළඹ මැනිං වෙළෙඳපොළ වෙ‍ළෙඳ සංගමයේ සභාපති ගාමිණී හඳුන්ගේ පවසන්නේ එළවළු මිලේ ස්ථාවර බවක් නැති අතර දේශගුණය නිෂ්පාදනය, ඉල්ලුම ආදී විවිධ කරැණු මත මිල තීරණය වන බවයි. දිනෙන් දින මිල වෙනස්වන  බවද කියයි. උදාහරණයක් ලෙස පැවසුවහොත් කැරට් තොග මිල ඊයේ (6) කිලෝව රුපියල් 160-170 අතර පැවැති අතර අද (7) වනවිට කිලෝව රුපියල් 200 දක්වා ඉහළ නැග තිබේ.

මාර්කට් එක කියන්නේ වෙන්දේසි පොළක්. ඉල්ලුම සැපයුම අනුව දිනපතා මිල තීරණය වෙනවා. වැඩිපුර ලැබුණු වර්ගවල මිල පහළයාම සිදුවෙනවා. කොහොම වුණත් මේ දිනවල සමස්ත එළවළු වර්ගවල මිල වැඩියි. මෙයට දේශගුණයම බලපෑවා යැයි කියන්න බැහැ. පසුගිය අවුරුදුවලත් මැයි අවසානය හා ජූනි මුලදී එළවළු මිල ඉහළ ගියා. මේ වර්ෂයේ පමණක් සිදුවූ දෙයක් නොවෙයි. මැනිං මාර්කට් එකට වෙනදාට දිනකට එළවළු  ලොරි 150ක් පමණ පැමිණෙන නමුත් මේ දිනවල 80ක් පමණයි පැමිණෙන්නේ. ඒ නිසා සැපයුමද අඩුව තිබෙනවා. පසුගිය අධික වර්ෂාව හා ගංවතුර සමයේදීද පැමිණෙන ලොරි සංඛ්‍යාව අඩුවුණා. එයට නිෂ්පාදන සාධකද බලපෑවා.

ඔහු පවසන්නේ කෙසේ වුවද ක්‍රමයෙන් පාරිභෝගිකයන්ගේ ආහාර රටාව වෙනස් වෙමින් පැවතීම එළවළු මිලට බලපෑමට පටන්ගෙන ඇති බවයි. අද ජනතාව එළවළු සමඟ බත්කෑම අඩුකරලා තියෙනවා. ක්ෂණික ආහාරවලට, කෙටිකෑමවලට, නූඩ්ල්ස් වැනි කෘත්‍රිම ආහාරවලට පෙළඹී ඇති බව ඔහු කියයි. වෙනදා මෙන් එළවළු කිහිපයක් මැල්ලුමක් සමග බත් කන අය අද අඩුවී තිබේ. ඒ නිසා එළවළු ඉල්ලුම අඩුව ඇත. ජනතාව සරල ආහාර භුක්තිවිඳ කාලය, වියදම සහ ශ්‍රමය අවම කර ගැනීමට උත්සාහ කරන අතර එය මිලට වඩා එළවළු අලෙවියට බලපා තිබේ. අද පවතින තරගකාරී වෙළෙඳපොළද, ප්‍රචාරණයද මෙයට හේතුව වේ. ලේකම්වරයා පවසන්නේ මේ වනවිට එළවළු වැඩිපුර අලෙවි කෙරෙන්නේ රජයේ ආයතනවල ආපන ශාලා, හෝටල්, ආරෝග්‍ය ශාලා ආදී ආයතනවලට බවයි.

ලේකම්වරයා පෙන්වා දෙන්නේ ලොව වෙළෙඳපොළ මිල ගණන් නිතර වෙනස් වෙද්දී එළවළුවල මිල පමණක් ස්ථාවරව තබාගැනීම දුෂ්කර බවයි. එසේම සිල්ලර මිලද විවිධ ස්ථානවල වෙනස් වෙයි. ඒවා ප්‍රාදේශීය වශයෙන් නියමවන මිලය. එයට තොග වෙළෙඳපළ සම්බන්ධ නොවේ.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසන්නේ අද වනවිට ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක්ව ඇත්තේ බලයට පැමිණි ආණ්ඩු දේශීය ආහාර නිෂ්පාදකයා අධෛර්යමත් කරන ප්‍රතිපත්තියක සිටීම බවයි. මෙය බාහිරින් සිදුවූ බලපෑමකට වඩා අප විසින්ම සිදුකරනු ලැබූ වරදකි. පසුගිය වසරේ ආණ්ඩුව පාන්පිටි ආනයනය කරන සමාගම්වලට මෙට්‍රික් ටොන් ලක්ෂ 13කට රුපියල් මිලියන දහතුන්දාහක් බදු සහන දී තිබේ. මෙම වාසිය පාවිච්චි කළ සමාගම් 2016 වසරේදී තිරිඟු පිටි අලෙවිය ටොන් ලක්ෂ 4කින් වැඩි කිරීමට සමත් විය. මුලින් ලක්ෂ 13ක් වූ අලෙවිය ටොන් ලක්ෂ 17 දක්වා වැඩිකර ඇත.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වී නිෂ්පාදනය පහළ වැටුණු බව ඔහු පෙන්වා දෙයි. පසුගිය යල් කන්නයේ හෙක්ට්යාර ලක්ෂ 5ක් වූ වී වගාව ලක්ෂ 2 දක්වා අඩුව ගියේය. ඒ වෙනුවට සෝයා බෝංචි වගාවට උනන්දු කළ අතර දේශීය වෙළෙඳපොළට එන ආහාර මහා පරිමාණ සමාගම්වලට යාමේ ප්‍රවණතාවක් ඇතිවිය.

විදේශීය කිරිපිටි සමාගම්වලට බදු සහන දීම නිසා දේශීය කිරි ගොවියා අමාරුවේ වැටුණා. දේශීය නිෂ්පාදනය අඩුවූ අතර එය ප්‍රයෝජනයට ගත් විදේශ සමාගම් අසීමාන්තික ලෙස මිල වැඩි කළා. බදු සහන ලබාගෙන මිල අඩුකළ යුතු නමුත් සිදුවූයේ මිල වැඩිකිරීමයි. අද වනවිටද කිරිපිටි මිල වැඩිවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. විවිධ නම්වලින් විශේෂිත නිෂ්පාදන හඳුන්වා දෙමින් මිල වැඩිකර විකුණනවා. එසේම ෆාම් තෙල් මිලට සහන දීම හේතුවෙන් පොත්තෙල් මිල අඩුවුණා. කෘත්‍රිම කිරි ෆාම් තෙල්වලින් නිෂ්පාදන කළා. අද වනවිට පොල් වගාව අඩුවීමෙන් පොල් මිල මෙන්ම පොල්තෙල් මිලද ඉහළ ගොස් තිබෙනවා.

ආහාර මිල වැඩිවීමට ප්‍රධාන හේතුව වන්නේ දේශීය කර්මාන්ත දුර්වල කිරීමයි. පැවැති හැම ආණ්ඩුවක්ම මෙයට වගකිව යුතුය. මිනිසාට පාරිභෝජනය කළ හැකි ආහාර විවිධ වාසි තකා සත්ත්ව ආහාරවලට අඩු මිලට අලෙවි කිරීම නිසා එම ආහාරවල හිඟ ඇතිවී තිබෙනවා. පසුගිය දිනවල මත්තල ගබඩාකර තිබූ වී ටොන් ලක්ෂ ගණනක් සත්ත්ව ආහාරවලට විකිණූ බවට අපට මතකයි. අද හාල් මිල ඉහළ යාමට මෙවැනි අමනෝඥ තීරණ බලපානවා. ආණ්ඩුවට ආහාර නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳ නිසි ක්‍රමවේදයක් හා නිසි කළමනාකරණයක් නැතිවීමෙන් දේශීය කර්මාන්ත කඩා වැටීමද මිල ඉහළයාමට බලපාන බව පැහැදිලියි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ කාරක සභිකයකු පැවසුවේ,
එළවළු මිල ඉහළයාම නිසා අල, ලූණු, පරිප්පු, කවුපි, මුං ඇට ආදී ආහාර ද්‍රව්‍යවල ඉල්ලුම ඉහළ ගොස් ඇති බවය. මේවායේ මිල වැඩිවී ඇත්තේ සුළු වශයෙන් නිසා ජනතාවට යම් පමණක සහනයක් සැලසී ඇත. අල – ලූනු දෙවර්ගයටම ආණ්ඩුව කිලෝවට රුපියල් 40ක ආනයන බද්දක් අය කරයි. මෙම බදුද ගෙවා බී ලූනු කිලෝව රුපියල් 70 බැගින් තොග මිලට සැපයිය හැකි බව ඔහු කියයි. එසේම අර්තාපල්වලටද රුපියල් 40ක් වූ ආනයන බද්ද දරාගෙන කිලෝව රුපියල් 90-95 ක තොග මිලට අලෙවි කරයි.

එසේම වියළි මිරිස් කිලෝව රුපියල් 250කි. ආනයනික සහල් කිලෝවට ගෙවිය යුතු බද්ද රුපියල් 5ක් වන අතර කැකුළු සහල් කිලෝවක තොග මිල රුපියල් 63ක්ද ඉන්දීය සම්බා කිලෝවක තොග මිල රුපියල් 78ක්ද වේ. නාඩු රජයේ පාලන මිලට ගෙන්වා විකිණීමට නොහැකි නිසා දැන් නාඩු සහල් ආනයනය නොකෙරේ. ඔහු පවසන්නේ ආණ්ඩුව අල, ලූණු, පරිප්පු ආදියට අයකරන විශාල බද්ද යම් පමණකට හෝ අඩුකළහොත් ජනතාවට මෙයට වඩා අඩු මිලට විකිණිය හැකි බවය. සහල් ආනයනය කිරීමට වැඩිදෙනා මැදිහත් නොවන්නේ ආනයනය කර පාලන මිලට අලෙවි කිරීමට නොහැකි බැවින්ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here